ඉදි කොට පුර පොළොන්නරූ
අප පැරකුම් රජ කුමරූ
දඹදිව ජයගත් අයුරූ
උඹට පුතේ වෙයි මියරූ

“අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා “
ඉටමින් මහ වැව් කණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බුදුදහමේ සත්‍යය දකින්නේ කෙසේද?

අද ලංකාවේ බුදුදහම පවතිනවා යයි කියන්නේ “ථෙරවාදී” දහමක් ලෙසිනි. එය සත්‍යයක්ය. තෙරුන්ගෙන් ලැබූ වාදයක් නිසා මෙසේ හැදින්වනවා විය හැකිය. බුදු දහම කිසිම වාදයකට අයත් නොවේ. ප්‍රත්‍යක්ක්ෂය නියම පිළිවෙතයි. නමුත් බුදුන්වහන්සේගේ පිවිතුරු ධර්මය සදහා සොයා යන්නකුට අද, නොයෙක් මතවාදී ආකල්ප (මත සාගරයක ගිලී ) සහිත දේ දැකිය හැකිය.

1) ත්‍රිපිටකය, සිංහලින් පාළියට නගා, සිංහල පොත්පත් (පුස්කොළපත්) ගිණිතබා තිබෙන බව පවසයි. එයට හේතුව ලෙස විවිධ අර්ථ කථන දිය හැකිය. ධර්මය විකෘති වියහැකි නිසා මෙය බුදුගොස් හිමියන්කළ බව පැවසේ. තවත් අයුරකින් මහින්ද රහතන්වහන්සේ ගේ ඒ පිවිතුරු ධර්මයට හින්දු ආකල්ප රිංගවීමට මෙයකළ බව පැවසේ. මේවා අප නුවනින් විමසිය යුතු කරුණුය.

2) සමහර මහා සංඝයා වහන්සේලාගේ විවිධ මති මතාන්තර තිබේ., අභිධර්මය බුද්ධ දේශනාවක් නොවන නිසා යයි පවසා, එය තමන්ගේ දේශනා වලට ඇතුලත් නොවේ. මෙහිදී පවතින ප්‍රශ්නය බුදුන්වහන්සේ දෙවියන්ට දෙසු, ධර්මය (දේවතා සංයුක්තය) පිළිගැනීමත් අභිධර්මය නොපිලිගනිමත්ය. තවද විවිධ නිකායන්ට බෙදී ඇති ශාසනය, විවිධ මතවාද දක්වයි. මාංශ ප්‍රශ්නයද එසේමය.

3) තවත් සමහරුන්ට බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණ බව පැවසීම තරම් දෙයක් නොමැත. එය පරම නිෂ්ඨාව ලෙස සිතයි. අද වනවිට මේ ගැන කියමින් යන පිස්සන්ට එකතු වන පිරිසෙන්ද අඩුවක් නොමැත.

4) සමහරක්, ධර්මය අසන්නට සිටින්නේ මෙත්‍රී බුදුන්ගෙන්ය. මෙත්‍රී බෝසතාණන් ඉපදී සිටින බවද දැකිය හැකිය. මෙවැනි දේවල් තිබියදී මහා සංඝයා වහන්සේගේ කරුණාව තමත් අඩු නැත. එයද හොඳය. නොයෙක් මතිමතාන්තර පවතින්නේද බුදුදහමේ වීමද විශ්මයකි. වෙනත් ආගම (බුදු දහම ආගමක් නොවන නමුත් එසේ සිතමු) වල මේවා තිබෙන්නේද මටනම් කනට ඇසී නැත.

5) සත්‍ය සෙවීමට ගිහියෙක් වී සිටියදීම පුළුවන් බව සත්‍යකි. නමුත් ඒ එක්තරා මට්ටමකටය. ගිහියන් වී සත්‍ය දැකීම වරදක් නැත. නමුත් ඒ සත්‍යය තමා විසින් දැකිය යුතු නමුත්, විවිධ මත දැක්වීම හානිකරය. බුදුන් වහන්සේ පවා සත්‍යය සෙවීමට අවසාන මොහොතේ ගිහි ගෙයින් නික්මී ගියහ (අභිණිශ්ක්‍රමණය). මේ අභිණිශ්ක්‍රමණය බුදුන්වහන්සේගේ නික්මයාමට පමණක් බාවිතා වී තිබෙන්නේ, මීට පළමු වෙනත් පිරිස්ද නික්මී ගියමුත් සැබෑ සත්‍යය නොදැකපු නිසාය. කෙසේ හෝ උන්වහන්සේගේ ජිවන කතාවද, සත්‍ය සෙවීමේ, සිත් විනිවිද දැකිය හැකි ලෙස ගොතා තිබේ. විවිධ බුද්ධීන්ට අනුව ඒවා ගලපා ගත යුතුය. (ඉපදීම සිට පිරිනිවන දක්වා කතාන්තරය)

මේ අප පෙන්වා සිටියේ විවිධ මතිමතාන්තර වේ. බොහෝ පිරිසක් මේ යුගයේදී බුදුදහමද “උපතින් ලැබී ” තිබෙන වරප්‍රසාදයක් නිසා තිබෙන්නට හරියි. ලංකාවේ සංගණනයක් කළොත් පන්සිල් (නිත්‍ය සීලය) රකින 5% වත් නොමැත. කෙසේ හෝ බුදු දහම, පන්සල, දුස්සීල අයගේ බඩවියත රකිමින් හෝ රැකෙන එක හොඳය. ලෝකයේ බොහෝ පිරිසක් පංච කාමයට ගැලී තිබෙන එකද බුදුදහමෙන් පෙන්වා දී තිබේ. තවද ලාභ සත්කාරයන්ට නැමෙන ජනයා (ලෝකෙට වගේම) ලංකාවේ දැකිය හැකිය.

“බුදු දහම නුවණැත්තන්ට පමණක්” යෙයි කියුවද මෝඩයන්ටද මේවන විට “ඇදහිය” හැකිය. වෙනත් ආගමික මතයන්සේම මේ නිර්මල ධර්මය ඇදහීම කරගෙන යයි. ලංකාවේ “අනුන්ගේ හරක් බැලීමට” දක්ෂ පිරිස ඕන තරම්ය. කොහෙන් හෝ දෙන විද්‍යාවක් ද ආගමක් ලෙස සිතන උගත් පිරිසක් අපට සිටි. මේ ලෙස බැලු විට අනිත් දේවල්ද එසේමය.

මෙවැනි දහමේ විකෘති කිරීම් තව දුරටත් කළහොත් ධර්මය කුමක් දැයි “සොයන යකාට” වෙන දේ අපටද විය හැකිය (දහම්සොඬ). බුදුදහම විවෘත වූ විට බබළන බව සැබැය. නමුත් මේ සිදුවන්න්නේ වෙනත් විකුර්ති මතවාද වලින් බුදු දහම වැසීමය.

කෙසේ හෝ මිහිදු හිමියන්ගෙන් පසු ඇති වූ සංස්කෘතික ප්‍රබෝධය, “නුතන ආර්ථික” යන්ගේ මුදල මත සිතන සමාජයෙන් සියලුම ගුණධර්ම මිලක් නියමවෙමින් පවතයි.. මේවාට පන්සලද, රජයද, උගතුන්ද ඍජුව වග කිව යුතුය. (1970 ට පසුව). අද ලංකාවේ මුදලට කල නොහැක්කක් නොමැති බව සිතන පිරිස් ඇතිවී තිබේ. (නිවන සැපක් නිසා සල්ලි දී ගිය හැකිනම් එයද කරනු ඇත.)

එබැවින් සත්‍ය දකින්නේ කෙස්ද? නිර්මල ධර්මය තිබෙන්නේ නම් මාර්ග පල ලැබූ පිරිස් කෝ? බුදු දහමට අනුව හැසිරීම නොකර “කටෙන්” ගොඩවීමට නොහැකිය. සමාජය සැදී තිබෙන, මිනිසුන් සැදීමට බුදුදහම හොදින්ම යොදා ගත හැකිය. අපේ පැරැන්නෝ මේවා එසේ යොදාගෙන තිබේ.

ඒ පෝය දිනට, පන්සලට සිමා නොවී හැම මොහොතකම සිහිනුවනින් අඩු පමණින් පන්සිල් රකින මිනිසකු හැදීමට, ධර්මය නියම ලෙස දේශනා කිරීමද, ඒ අනුව හැසිරීමද භික්ෂූන් වහන්සේ නමකගේ යුතුකමකි. එසේම එම සිතුවිළි බුද්ධිමත් මිනිසුන්ට පහළවේවායි පතමි.

- චාමික කරුණාරත්න -

4616
Thanks!
An error occurred!

පරම නිෂ්ඨාව වශයෙන් දේව සහතාව ප්‍රතික්ෂේප කරන නිර්වාණයෙහි ස්වීයත්වය

බුදු රජාණන් වහන්සේගේ ශාස්තෘත්වය දිව්‍යමය ලෙස විනිශ්චය වූවක් නො වේ. උන්වහන්සේගේ ධර්මය දෙවියන් වෙතින් ආ පණිවිඩයක් මනුෂ්‍යා වෙත ශුභාරංචියක් ලෙස ප්‍රකාශ වූවක් ද නො වේ. ලෝකයේ දේවවාදී ආගම් වල දක්නට ලැබෙන කිසිවක් බුදු සමයට සාධාරණ නැත. බුදු දහමේ ස්වාධීනත්වය මෙය යි. එසේම, එහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණය ද අනන්‍ය ලක්ෂණ ප්‍රකට කරයි. නිර්වාණය දේවවාදී ආගම් වල මෙන් විනිශ්චිත බාහිරාධිකාරයක් තුළින් පිරිනමන්නක් නො වේ.

“ලොව සියලු ආගම් වල අවසාන අපේක්ෂාව ශුද්ධත්වය යි. එය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්‍ග වල වෙනස් කම් බොහෝ බව අප වටහාගත යුතු ප්‍රධානතම සාධකය යි.”

මේ බෞද්ධ නිර්වාණධාතුවේත්, ඒ සඳහා උපයුක්ත මාර්ගයේත් ස්වාධීනත්වය අදෘෂ්ට ප්‍රකාශයකි. නිවන වනාහි, සෝවාන්, සකෘදාගාමී, යනාදි මඟ පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කට යුත්තක් විනා අන්‍ය ප්‍රතිපදා මාර්ගයකින් ප්‍රත්‍යක්ෂ කළ නො හැකි බව කිව යුතු ය. බෞද්ධ පාරිශුද්ධත්වය ආරම්මණය කොට ගත් මාර්ගයෙහි ක්‍රමිකාවස්ථා චතුරාකාර ය. ඒවා සංසිද්ධ වනුයේ දස සංයෝජන අනවශේෂාකාරයෙන් මූලෝත්පාටනය කිරීමෙනි. මෞලික ත්‍රිත්වය වන සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන ප්‍රහාණය කිරීමෙන් ක්‍රමික නිර්වාණ ලාබයෙහි මූලාවස්ථාව වන සෝතාපත්ති ලාභය හිමි වේ. සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන අන්තර්ගතව කාම රාග, ප්‍රතීඝ අර්‍ධ වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ක්‍රමික නිර්වාණ ලාබයෙහි ද්විතීයාවස්ථාව වන ලෞකික දුක්ඛයනට පුනරාගමනය එක් වාරයකට සීමිත වන සකෘදාගාමී ලාභය හිමි වේ. සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන, කාම රාග, ප්‍රතීඝ පූර්‍ණ වශයෙන් නටුවා වූ බවට පත් කිරීමෙන් කාම ලෞකික දුක්ඛයකට පුනරාගමනයක් නොවන අනාගාමීත්වය හිමි වේ. එසේම, සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන, කාම රාග, ප්‍රතීඝාන්තර්ගතව රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා පූර්‍ණ වශයෙන් නටුවා වූ බවට පත් කිරීමෙන් ලෞකික දුක්ඛයකට පුනරාගමනයක් නො වන අර්හත්භාවයට පිළිපන්න වූවේ වෙයි. (This purification or liberation has many stages. The well-known four stages, namely, sothāpanna (stream-entrant), sakadāgāmi (once retuner), anāgāmi (non-returner) and arahanta (worty-one) characterize the gradual process of purification or liberation. The texts elaborate bonds (saññojana) as ten. They are : personality belief, skeptical doubt, clinging to mere rules and ritual, sensuous craving, ill-will, craving for fine-material existence, craving for immaterial existence, conceit, restlessness and ignorance. The first five are called lower feeters and the other five higher feeter. Of them the first three are eradicated at the first stage of liberation; in the second stage the next two are softend; these two are completely eradicated at the third stage)

පරම නිෂ්ඨාවක් උදෙසා වූ මෙවැනි ක්‍රමික මානසික සංශෝධන ක්‍රියාවලියක් අන්‍යාගම්හි අදෘෂ්‍යමාන ය. බෞද්ධ දර්ශනය තුළ ප්‍රකට වන මෙම ස්වාධීන වූ ක්‍රමික මානසික සංශෝධන ක්‍රියාවලියේ සමාන්තය ද බුද්ධ ධර්මය තුළ පමණක් ප්‍රකට වන ස්වීය ලක්ෂණයකි. එයට නිර්දිෂ්ට වෙනත් මාර්‍ග තිබිය නො හැකි ය. දෘෂ්ටි ප්‍රතිග්‍රහණයෙන් වියුක්ත වී ප්‍රතීත්‍යසමුත්පන්න (Dependent Origination) දර්ශනයෙන් යුක්ත ව (දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ) , ශීලව්‍රතපරාමර්ශනයෙන් වියුක්ත වී ආර්යාෂ්ඨාංගික මාර්‍ගාභිවෘද්ධියෙන් පමණක් අධිගමනය කළ යුත්ත කි. තත් භාවය දිව්‍යමයාධිකාරානුකූලව එනම් දිව්‍යමය විනිශ්චයකින් ලැබෙන ශුද්ධත්වය (purification)ක් නො වේ. නියත්‍යනුකූලව, අහේතුකව හෝ අප්‍රත්‍යව හෝ ලැබෙන්නක් ද නො වේ. මානව කේන්ද්‍රී (Anthropocentric) ධර්මයක් වන බුද්ධ ධර්මය දේව කේන්ද්‍රීය (Theocentric) ආකල්පයන්ට සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂ වේ. (අත්තාණෝ අයං ලෝකෝ අනභිස්සරෝ) නිර්වාණාවබෝධය පූර්‍වාශ්‍රුත ධර්‍මයක චක්ෂුරාමනය, ඥානාධිගමනය, ප්‍රඥාධිගමනය, විද්‍යාධිගමනය, ආලෝකාධිගමනය යි. (පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි) එයට තුල්‍ය ධර්මයක් පූර්වයෙහි අවිද්‍යාමාන වූවේ ය. වර්‍තමානයෙහි ද නො වේ. අනාගතයෙහි ද නොවන්නේය. එයට පුනරූනපූර්‍ණානාවශ්‍යක ය. සංශෝධනානාවශ්‍යක ය. ලොව ඒකීය සත්‍යයක් විනා ද්විත්වයක් ප්‍රවෘත්ත නො වන බව දත යුතු ය.

නිර්වාණය වනාහි කරජ ශරීරයෙහි සංසිද්ධ පරිණාමයක් නොව මානසිකාභිවාද්ධියේ අග්‍රාවස්ථාව යි. එම නිසා බුදු සමය තුළ වෙනත් දර්ශනයක නො දැක්වෙන පරිදි මනෝවිද්‍යානුකූල පාරිභාෂික වචන ප්‍රචුරාකාරයෙන් ප්‍රභාවිත බව “Rune Johaison” සඳහන් කරයි.

“Anybody with a good knowledge of psychology and its history who reads the Pali nikāyas must be struck by the fact that the psychological terminology is richer in this than in any other ancient literature and that more space is devoted to psychological analyses and explanations in this than in any other religious literature”

රාග, ද්වේෂ, මෝහ, අවිද්‍යා, ප්‍රතීඝ, ප්‍රපංච, ව්‍යපාද ඒ සඳහා දෘෂ්ටාන්ත කිහිපයකි. ඒවා මනෝක්ෂේත්‍රගත පාරිභාෂික වචනයෝ වෙත්. සංසාර ප්‍රවර්තනයට ප්‍රතිෂ්ඨාධාර වනුයේ මනෝක්ෂේත්‍රගත එම තත්වයන් බවත්, ඒවායෙහි මූලෝත්පාටනය ම සංසාර නිවෘත්තියට මාර්‍ගය බවත් බුදු දහමෙහි දර්ශිත ය. ඇතැම් අවස්ථාවන්හි නිවන ‛නිශ්ප්‍රපංච’ නමින් හැඳින්වෙනාතර නිවන සඳහා වූ මාර්ගය ‛නිශ්ප්‍රපංච පථ’ නමින් හැඳින්වේ. ප්‍රපංචාවස්ථාව යනු ආරම්මණයක නිමග්න පුද්ගල චින්තනයෙහි කල්පනයෙන් සංස්කෘත විස්තෘත ගාම්භීරාවස්ථාවකි. බාහ්‍යාරම්මණයක් ලැබුණු විට පුද්ගලයා වේදනා තත්වයෙන් නො නැවතී, ”යං වේදේති තං සඤ්ජානාති” යනාකාරයෙන් තදාරම්මණයෙහි සංජානනය, විතර්කනය, ප්‍රපංචනය ආදියෙහි ස්වකීය චින්තනය හසුරුවා තදාරම්මණයෙහි සකර්තෘක වී අවසානයෙහි හෙතෙම තත් කාර්යාවලියෙහි අනුක්ත වී ප්‍රපංචකරණයෙහි නිමග්න චිත්තයෙහි වේතනික භාවයට ප්‍රාප්ත වේ. තදාකාරයෙන් මධුපිණ්ඩික සූත්‍රයෙහි සංසාර ප්‍රවර්තනයට ප්‍රතිෂ්ඨාධාර වන සංස්කාරෝද්ගමනය තෙක් සිදුවන මානසික විකෘතියෙහි සංසිද්ධාකාරය ප්‍රවිචයට ලක් කරනු පෙනේ.් ස්වාභාවිකව සිදුවන “ඵස්ස පච්චයා වේදනා” යන තත්වයෙන් ඉදිරියට කල්පනය නො කිරීම නිෂ්ප්‍රපංචත්වය යි. එවිට සංස්කාරෝද්ගමනය සඳහා වූ ප්‍රස්ථාවන් පුද්ගල මනස තුළ අභව්‍ය ය. මෙයින් නිර්වාණය කෙතරම් මනෝවිද්‍යානුකූල ද යනු පෙනේ. ප්‍රකට කාරණය නම් විමුක්තිය පුද්ගල මනස තුළ ම ඇති දෙයකි. එය බුදු රජාණන් වහන්සේට පමණක් අනන්‍ය නො වූවකි. බුද්ධ වචනයෙහි ප්‍රායෝගික වීමෙන් චිරාත්කාලාතික්‍රමණයකට පූර්ව ස්වීය ඥානයක් බවට පත්කර ගත හැක්කකි. (අහං ධම්මං දේසේමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො න චිරස්සේව සාමඤ්ඤේව ඤස්සති සාමං දක්ඛිති) එය ඉතා පැහැදිලිය වෙනත් ඉගැන්වීවල මෙන් භෞතික ශරීරය මෙහෙයවා ආගමික ශාස්තෘවරයා තෘප්ත කිරීමට කළ යුත්තකින් හෝ ආගම්සමෘද්ධෝද්දේශිකත්වය සඳහා වූ කළ යුත්තකින් හෝ ලැබිය හැකි විමුක්තියක් ප්‍රතිබද්ධව බුදු දහමෙහි සංලක්ෂණය නො වන බව. එය විදර්ශනා වර්ධිත හෘදයෙහි විදුමන් වන අද්විතීය ප්‍රඥා ලාබය යි. බුදු සමයෙහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණයෙහි නවතාව මෙයින් තීව්‍ර වේ.

වැලිදු, ලොව මෙතෙක් පහළ වූ සියලු ආගම් හා දර්ශනයන්හි මෞලික ලක්ෂණය නම් ඒ කිසිවක් ආත්මවාදයෙන් විනිර්මුක්ත නො වීම ය. සද්ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ නො වූ ඕනෑම පුද්ගලයෙකු තුළ අහංකාරත්වය බලප්‍රවර්තනය වේ. නිර්මාණවාදී ආගමක් වන කිතුනු දහමෙහි දැක්වෙන පරිදි පුද්ගලයා යනු භෞතික ශරීරය සහ ආත්මය යන ද්වෛතයෙහි සුසංයෝගයකි. මරණින් සිදු වනුයේ භෞතික ශරීරය හැර යාම පමණක් වන අතර ආත්මය දෙවියන් වහන්සේගේ විනිශ්චයට ලක් වේ. ආත්ම සංඥාව රූපයකාය තුළ ගොඩ නො නැඟුන ද වේදනා, සංඥා, සංඛාර, විඥාන යන එක් අඞ්ගයක් තුළ ද ගොඩ නැඟෙන්නේ නම් ඒ තුළ ආත්මවාදීත්වය ප්‍රකට වේ. (යේහි කෝචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්මණා වා අනේකවිහිතං අත්තානං සමනුපස්සමානා සමනුපස්සන්ති. සබ්බේ තේ පඤ්චුපාදානක්ඛන්ධෙ සමනුපස්සන්ති ඒතේසං වා අඤ්ඤතරං) මෙසේ පඤ්චස්කන්ධයේ එක්තරාංගයක හෝ අවිපරිනාමීය නිත්‍ය පුද්ගල සාරයක් අපේක්ෂා කරන්නේ ක්‍රිස්තු ධර්මයේ පමණක් නො වේ. මේ හැර ඉස්ලාම් වේවා; සරථුස්ත්‍ර වේවා; යුදෙව් වේවා; හින්දු වේවා; නිගණ්ඨ වේවා; බ්‍රාහ්මණ වේවා; තත් සියල්ලෙහි දක්නට ලැබෙන පොදු ලක්ෂණය නම් ඒවා ආත්මවාදයෙන් බැහැර නොවීම යි. අවධාරණය විය යුත්ත නම් ආත්ම සංඥාව පවතින තුරු ආර්ය ප්‍රතිපදාව ආරම්භ නො වේ යන්න යි. භව ප්‍රතිලාභ සංයෝජන අතර මෞලික වන සත්කායදෘෂ්ටිය ප්‍රහාණය කිරීමෙන් ආර්ය ප්‍රතිපදාව ආරම්භ වේ. එම ආර්ය ප්‍රතිපදාවෙහි සමාන්තය ත්‍රෛලෝකෝත්තර අමරණීයත්වය යි.

බොහෝ අන්‍ය ආගමික සිද්ධාන්තයන්හි දක්වන පාරගූත්වයන් මරණින් පශ්චාත් ව ලැබෙන්නකි. මරණින් පශ්චාත් ව පුද්ගලයාට අත්විඳින්නට සිද්ධ වන දෙය ප්‍රතිබද්ධව ඔහුට ප්‍රත්‍යක්ෂමය වූ අවබෝධක් නොමැත. එහෙයින් එය පුද්ගලයා සාංසාරික වශයෙන් අන්තරමාර්‍ග කරවන සුළු ය. නමුත් බෞද්ධ නිර්වාණ ධාතුව වනාහි මෙලොව දී ම දැන දැක ප්‍රත්‍යක්ෂ කළ හැක්ක කි. එබැවින් බුදු දහම අනුගාමික පරිවාරය තුළ විශ්වාසය මොනවට ජනනය කරන බවට සංකා නැත. අවශ්‍ය වනුයේ සාමාන්‍ය මිනිස් අවබෝධය පමණි. අභිවෘද්ධිය සාධනීය වශයෙන් තමාගෙන් විය යුත්ත කි.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ බෞද්ධ නිර්වාණ ධාතුව අන්‍ය සාමයික පරමනිෂ්ඨාවන්ට තුලනය කොට දක්වන්නේ නම් ඔහු ශාස්තෘද්‍රෝහියෙකි යන්නයි. බෞද්ධ ධර්ම සාරය නිරවද්‍යව වටහා නො ගත්තෙකි.

- පූජ්‍ය උපුල්වෙහෙරේ ධම්මාවාස හිමි විසිනි -

4595
Thanks!
An error occurred!

බුදු සසුන වැනසෙන ආකාරය. (බුද්ධ දේශනාවන් ඇසුරෙන් විග්‍රහය…)

දිනෙන් දින බුදු සසුනට විරුද්ධව එල්ල වෙමින් පවතින බියකරු තර්ජන හමුවේ, මතු පරපුරේ හයපත තකා “බුදු සසුන ‍රැක ගැනීම” කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ. ඒ සඳහා පෙළගැසෙන බොහෝ දෙනා හට දක්වන මතවාදීමය සහයෝගයක් වශයෙන් මෙම ලිපිය දිග හැරෙයි.

… බුදු දහමෙහි ඇති ගුණයක් වන “අකාලික” නැමැති ගුණය …

“අකාලික” දහම් ගුණයට අනුව බුදු දහම සදාකාලිකව ලෝකයේ ‍රැඳේ යැයි සමහර අය අදහන අතර ඔවුන්ට අනුව සදාකාලිකව පවත්නා බුදු දහම අමුතුවෙන් ‍රැක ගැනීමට දෙයක් නැත. නමුත් “අකාලික” යනු “සදාකාලික” යන්න ද? අකාලික ගුණය ගැන සමිද්ධි සූත්‍රයේ මෙලෙස දැක්වෙයි.

[[සූත්‍ර පිටකය, සංයුත්ත නිකාය, සගාථ වර්ගය, දෙවතාසංයුත්තය, නන්දන වර්ගය, සමිද්ධි සූත්‍රයෙන්]]
“මේ ධර්‍මය වනාහී මේ ආත්මයෙහිම තමා ඇස් හමුයෙහි ඵල ඇත්තේය. අකාලිකය (කල් නොයවා පල දෙන්නේය.)”

අකාලික දහම් ගුණ පදය විශුද්ධිමාර්ගයෙහි විග්‍රහ වන්නේ මෙ සේ ය:
“අත්තනො ඵලදානං සන්‍ධාය නාස්ස කාලොති අකාලො, අකාලොයෙව අකාලිකො. න පඤ්චාහසත්තාහාදිහෙදං කාලං ඛෙපෙත්වා ඵලං දෙති, අත්තනො පන පවත්තිසමනන්තරමෙව ඵලං දෙති” -
තමන් ගේ හෙවත් තමන් විසින් කරන ලද කුශල කර්‍මයාගේ ඵලදානය හෙවත් විපාක දීම සඳහා බැලිය යුතු කාලයක් නැත්තේ නු යි අකාල නම් වේ. අකාලය ම අකාලික යි. ලෞකික කුශලයනට මෙන් විපාක දීමට පස් දින සත් දින ආදි හෙද ඇති කාලය ගෙවා පල නො දේ. තමන් ගේ හෙවත් ලොකොන්තර කුශල කර්‍මයාගේ පැවැත්මට අනතුරු වැ ම පල දේ.

ඒ අනුව “අකාලික” පදය ධර්මාර්ථමය වශයෙන් ගත් කල “කිසිදු කාලයක් නොගොස් විපාක දෙයි” යන අරුත ලැබේ. ඉහත නිර්වචන අනුව “අකාලික” යනු “සදාකාලික” හෝ “කාලය රහිත” නොවන බව පැහැදිළි වෙයි.

… බුද්ධ ධර්මය අතුරුදන් වීම …

ධර්මය අතුරුදන් විම යනු, අනිච්ච දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන් තවදුරටත් බලනොපැවැත්වීම ලෙස වරදවා නොගත යුතුය. බුද්ධ ධර්මය යනු නිර්වාණමාර්ගය නිසා, ධර්මය අතුරුදන් වීම යනු නිර්වාණ මාර්ගය අවබෝධ කරගැනීමේ හැකියාව නැති වී යාමක් බව සූත්‍ර දේශනා අනුව පැහැදිළි වෙයි. එනම් ත්‍රිලක්ෂණය හැම කල්හිම තිබුණ පමණට, බුදු දහම අවබෝධ කරගෙන නිර්වාණය ලබාගත නොහැකිනම් බුදු දහම අතුරුදන් වී ඇත. යම් කලකදී බුද්ධ දේශනාව වටහා ගැනීමට නොහැකි වී යාමට හේතු ලිපියේ මැද කොටසේදී විස්තර වෙයි. නමුත් එලෙස අතුරුදන් වු බුදු දහම නැවතත් තවත් බුද්ධෝත්පාද කල්පයකදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්ම විසින් මතු කර ගන්නා බව සංයුත්ත නිකායේ නගර සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් හි දැක්වේ.

… සද්ධර්මය අන්තර්ධාන වෙන ආකාරයන්, සූත්‍ර දේශනා වලට අනුව …
බුදු දහම අන්තර්ධාන වෙන ආකාරය ත්‍රිපිටකයේ දැක්වෙන අතර, අප ණැන පමණින් එම සූත්‍ර දේශනා මෙලෙස පෙළගස්වමු.

[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, පඨම සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.”
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහු සකස්කොට ධර්‍මය නොඅසත්ද, සකස්කොට ධර්‍මය නොපිරිවහත්ද, සකස්කොට ධර්‍මය නොදරත්ද, සකස්කොට දරන ලද ධර්‍මයන්ගේ අත්‍ර්‍ථය පරීක්‍ෂා නොකරත්ද, සකස්කොට අන්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්‍මයට අනු ධර්‍මයෙහි නොපිළිපදිද්ද යන පසයි.”

[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, දුතිය සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්. ”
“කවර පසක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය නොපිරිවහද්ද, මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා නොකෙරෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.”
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොකියවත්ද, මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණස පවතීි.”
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරත්ද, මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.”
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය සිතින් අනුව කල්පනා නොකෙරෙත්ද, අනුව නොසොයත්ද, සිතින් අනුව සළකා නොබලත්ද, මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.”

[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, තතිය සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
´´මහණෙනි, මේ ධර්‍ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණස අතුරුදන්වීම පිණිස පවතිත්.
´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු නොමනා කොට ගන්නා ලද සූත්‍රාන්තය නපුරුකොට බහණලද පද ව්‍යඤ්ජනවලින් යුක්තව පිරවහද්ද, මහණෙනි, අයහපත්කොට බහණලද පද ව්‍යඤ්ජන ඇත්තහුගේ අර්ථයද දුරවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු නපුරු වචන ඇත්තාහු, අකීකරුභාවය කරන්නාවූ ධර්මයන්ගෙන් යුක්තවූවාහු නොඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් නොගන්නාහු වෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්‍මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. බහුශ්‍රුතවූ, පැමිණි ආගම ඇත්තාවූ, ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ, මාතෘකා දරන්නාවූ යම් ඒ භික්‍ෂූහු වෙත්ද, ඒ භික්‍ෂූහු සකස්කොට සූත්‍රාන්තය අනිකාට නොකියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන්වූ මුල් ඇත්තේ පිළිසරණ රහිත වේත මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍ය බහුල කොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරි වූවාහු, උතුම් විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තාහු වෙද්ද, නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණස, වීය්‍ර්‍යය පටන් නොගණිද්ද, ඔවුන්ගේ පශ්චම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී, සස්න ලිහිල් කොට ගැණීම ඇත්තී. නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරිවූවා, උතුම් විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තී වේ. නොපැමිණියහුගේ පැමිණීම පිණිස. නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රතයක්‍ෂ කිරීම පිණිස වීය්‍ර්‍යය පටන් නොගණියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. සංඝතෙම බිඳුනේ වේද, මහණෙනි, භික්‍ෂු සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට නින්‍දා කරන්නාහුද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්. එහි අප්‍රසන්න වූවාහුද නොපහදිත්. ප්‍රසන්නවූද ඇතැම් කෙනෙකුගේ අන් පරිදි බව වේ. මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ
මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන පමාද සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳු අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදය සද්ධම්මයාගේ විනාසය පිණිසද අතුරුදන්වම පිණිසද පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන කොසජ්ජ සූත්‍රසූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණසත් අතුරුදන්වම පිණිසත් පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධානමහිච්ඡතා සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ දැඩි ලෝභී බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත්
පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, දැඩි ලෝභී බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන අසන්තුට්ඨිතා සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන අයෝනිසෝමනසිකාර සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ අනුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, අනුවණින් මෙනෙහි කිරම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තර අසම්පජඤ්ඤ සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.´´

ඉහත සූත්‍රයේ දැක්වෙන පරිදි වර්තමානයේදී සමහරුන් එක් එක් මතවාදයන්ට “මුලා වී” එම මතවාදයන් අන් අය ඉදිරියේ ඔප්පු කිරීමට, වරෙක ශ්‍රී සද්ධර්මයේ එම මතවාදය සමීපව යන කොටසක් පමණක් ගනිමින්ද, තවත් වරෙක එම මතවාදයට විරුද්ධ ධර්ම කොටස් පතික්ෂේප කරමින්ද, තවත් වරෙක එම මතවාදය ඔප්පු කිරීමට බුදු දහම විකෘති කර දක්වමින්ද හැසිරෙයි. එනිසා ද්‍රව්‍යවාදීන්, ස්ත්‍රීවාදීන්, මාක්ස්වාදීන්, විඤ්ඤාණවාදීන්, හේතුවාදීන්, ගෝත්‍රිකවාදීන්, ඉතිහාස අතිශෝක්තිවාදීන් මෙන්ම විද්‍යාගමිකයන්, නිර් ආගමිකයන් ආදීන් බුදු දහම හෝ ශාසනයට බලපාන දෑ විස්තර කිරීමේදී , ඒවා කියවන අය විසින් ත්‍රිපිටක මූලාශ්‍ර අනුව සසඳා බැලිය යුතුය. මන්දයත් ඉහත එක් එක් මිත්‍යාදෘෂ්ඨිකයින්ට අවශ්‍ය තමන් දෘෂ්ඨිගත වූ මතවාදයන් සාධාරණීකරනය කිරීමට මිස බුදු දහම හදාරා නිර්වාණාවබෝධය ඇතිකරගැනීම නොවන නිසාය. “පරස්පර ධර්ම දේශනා සහ ධර්ම ප්‍රතිරූපකයන් අතරින් නිවැරදි ධර්මය හඳුනාගන්නා ආකාරය” ගැන සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ මීට පෙර විස්තර වුණ ලිපිය ඒ සඳහා උපකාර වේවායි පතමි.

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන පාපමිත්තා සූත්‍රයෙන්]]
´´මහණෙනි, එසේම පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන අකුසලානුයොග සූත්‍රයෙන්]]
´´මහණෙනි, එසේම අකුශල ධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් ( ස්වභාවයෝ ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ ) විනාශය පිණිසද, අතුරුදන් වීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, අකුශල ධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් (ස්වභාවයෝ ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ ) විනාශය පිණසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.´´

… සද්ධම්ම ප්‍රතිරූපක …
සංයුත්ත නිකායේ, කස්සප සංයුත්තයේ, සද්ධම්මප්පතිරූපක සූත්‍රය තුළින් ධර්මය අතුරුදන් වෙන ආකාරය ඉතාමත් මැනැවින් විස්තර කෙරී ඇත.

සද්ධම්මප්පතිරූපක සූත්‍රය.

මා විසින් මෙසේ අසසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.

ඉක්බිති, ආයුෂ්මත් මහා ස්සප තේම් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවු ආයුෂමත් මහාකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

ස්වාමීණි, යම් හෙයකින් පෙර ශික්ෂාපදයෝ ඉතා ස්වල්ප වූවාහුද බොහෝවූ භික්ෂුහු රහත් බැව්හි පිහිටියාහුද ඊට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද ස්වාමීනි, යම් හෙයකින් දැන් ශික්ෂාපදයෝ ඉතා බොහෝ වූවාහුද ඉතා ස්වල්පවූ භික්ෂුහු රහත් බැව්හි පිහිටියාහුද ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද කස්සපය, මෙය වනාහි මෙසේ වෙයි. සත්වයන් පිරිහෙන කල්හි සද්ධර්මය අන්තර්ධාන වන කල්හි ශික්ෂාපද ඉතා බොහෝ වෙත්. ඉතා ස්වල්පවූ භික්ෂුහු රහත්බැව්හු පිහිටත්. කස්සපය යම්තාක් ලොකයෙහි සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) නූපදිද, ඒතාක් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය යම් තැනක පටන් ලොකයෙහි සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක් ) උපදීද එකල්හී සද්ධර්මයාගේ අනතර්ධානය වෙයි. කස්සපය, යම්සේ වනාහි යම්තාක් කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලොකයෙහි නූපදීද, ඒ තාක් කල් ජාතරුපයාගේ (රත්රනයේ) අන්තර්ධානය නොවේ. කස්සපය, යම් තැනෙක පටන් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදීද අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය මෙසේම වනාහි යම්තාක් කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදීද ඒතාක් කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය යම් තැනෙක පටන් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලොකායහි උපදීද එකල්හී සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.

කස්සපය , පඨවිධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. අපෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරයි. එතකුදු වුවත් මේ ශාසනයෙිම ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවු මෝඩ (හිස්) පුරුෂයෝ උපදිති. කස්සපය යම්සේ වනාහි නැවක් බඩු පිරවීමෙන් කිඳෙයිද කස්සපය සද්ධර්මය වනාහි එසේ පය්‍ර්‍යප්ති ප්‍රතිපත්ති පිරීමෙන් අන්තර්ධාන නොවේ.

කස්සපය, සද්ධර්මය පිරිහෙන්නාවු සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නාවු මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. කවර පසක්ද? කස්සපය,
[1] මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුනී , උපාසක , උපාසිකාවෝ ශස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද
[2] ධර්මය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද
[3] සංඝයා කෙරෙහි ගෞරව නැතිව , යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද
[4] ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද
[5] සමාධිය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද
කස්සපය මේ කරුණු පස සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නා කරුනු වෙත්.

කස්සපය, සද්ධර්මයාගේ පැවැත්ම පිණස, නැති නොවීම පිණිස, අන්තර්ධන නොවීම පිණිස පවත්නාවූ කරුනු පසක් වෙත්. කවර පසක්ද කස්සපය,
[1] මේ ශාසනයෙහි භික්ෂු භික්ෂුනී ,උපාසක ,උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ආතිව වාසය කෙරෙත්ද
[2] ධර්මය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද
[3] සංඝයා කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරත්ද
[4] ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද
[5] සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද
කස්සපය මේ ධර්මයෝ පස්දෙන වනාහි සද්ධර්මයාගේ පැවැත්ම පිණිස නැති නොවීම පිණිස අන්.ර්ධාන නොවීම පිණිස පවත්නාහුය.

… සද්ධර්මය ‍රැක ගන්නා ආකාරය, සූත්‍ර දේශනා වලට අනුව …
බුදු සසුනේ පැවැත්ම පිණිස ඉවහල් වෙන සූත්‍ර දේශනා වල උදෘතයන්, අප ණැන පමණින් මෙලෙස පෙළගස්වමු.

[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, පඨම සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතිත්. ´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහු සකස්කොට ධර්‍මය අසත්ද, සකස්කොට ධර්‍මය පිරිවහත්ද, සකස්කොට ධර්‍මය දරත්ද, සකස්කොට දරන ලද ධර්‍මයන්ගේ අත්‍ර්‍ථය පරීක්‍ෂා කරත්ද, සකස්කොට අර්ථය දැන, ධර්මය දැන, ධර්මයට අනු ධර්මයෙහි පිළිපදිත්ද යන පසයි.´´

[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, දුතිය සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
´´මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහනොවීම පිණිස අතුරුදන්නොවීම පිණිස පවතිත්.
´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්‍මය පිරිවහද්ද, මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට කියවත්ද, මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණස, අතුරුදන් නොවීම පිණිස පවතී.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කෙරත්ද, මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය සිතින් අනුව කල්පනා කරත්ද, අනුව සොයත්ද, සිතින් අනුව සළකා බලත්ද, මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධම්මයාගේ මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණස පවතියි.

[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, තතිය සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
´´මහණෙනි, මේ ධර්‍ම පසක් සද්ධර්මයාගේ මුවහ නොවීම පිණස අතුරුදන් නොවීම පිණිස පවතිත්.
´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු මනාව ගන්නා ලද සූත්‍රාන්තය මනාව බහණලද පද ව්‍යඤ්ජනවලින් යුක්තව පිරිවහද්ද, මහණෙනි, මනාව බහණලද පද ව්‍යඤ්ජන ඇති සූත්‍රාන්තයාගේ අර්ථයද සුඛාවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු යහපත් වචන ඇත්තාහු, සුවචභාවය කරන්නාවූ ධර්මයන්ගෙන් යුක්තවූවාහු ඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් ගන්නාහු වෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්‍මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. බහුශ්‍රුතවූ, දැනගත් පිටකත්‍රය ඇත්තාවූ, ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ, මාතෘකා දරන්නාවූ යම් ඒ භික්‍ෂූහු වෙත්ද, ඔවුහු සකස්කොට අනිකාට කියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන්වූ මුල් ඇත්තේ නොවේ. පිළිසරණ සහිත වේ. මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු නොවෙද්ද, සස්න ලිහිල් කොට ගත්තාහු නොවෙද්ද, නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබණලද ධුර ඇත්තාහු, උතුම් විවේකයෙහි පෙරදැරි වූවාහු වෙද්ද, නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, වීය්‍ර්‍යය පටන් ගණිත්ද, ඔවුන්ගේ පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී නොවේ, සස්න ලිහිල් කොට ගැන්ම ඇත්තී නොවේ. නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබනලද ධුර ඇත්තී, උතුම් විවේකයෙහි පෙරදැරි වේ. නොපැමිණියහුගේ පැමිණීම පිණිස. නොලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීය්‍ර්‍යය පටන් ගණියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. සංඝතෙම සමගිවූයේ, සතුටුවනු ලබන්නේ, විවාද නොකරන්නේ, එක්ව උදෙසීම් ඇත්තේ, පහසුවෙන් වාසය කෙරේද, මහණෙනි, සංඝයා වනාහි සමගිවූ කල්හි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද නොම වෙත්. ඔවුනොවුන්ට නින්‍දා නොකරන්නාහුද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහුද නොවෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද නොවෙත්. එහි අප්‍රසන්න වූවාහුද පහදිත්. ප්‍රසන්නවූවන්ගේද බහුලතාවය වේ මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිති අප්පමාද සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ අප්‍රමාද බව සද්ධම්මයාගේ පැවැත්ම පිණිසත් නොවිනාසය පිණිසත් අතුරුදන් නොවීම පිණිසත් පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, අප්‍රමාද බව සද්ධම්මයාගේ පැවැත්ම පිණසද නොවිනාසය පිණසද අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිති විරියාරම්භ සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය සද්ධම්මයාගේ පැවැත්ම පිණසද විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය,සද්ධම්මට්ඨිති සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ අලෝභී බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, අලෝභී බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසච, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨති සන්තුට්ඨිතා සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් වීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිතියෝනිසෝමනසිකාර සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ නුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, නුවණින් මෙනෙහි කිරම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිතිසම්පජඤ්ඤ සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ මනා ප්‍රඥා ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, මනා ප්‍රඥා ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිති කල්‍යාණමිත්තතා සූත්‍රයෙන්]]
´´මහණෙනි, එසේම යහපත් මිතුරන් ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, යහපත් මිතුරන් ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිති කුසලානුයෝග සූතයෙන්]]
´´මහණෙනි, එසේම කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

ඉහත සූත්‍ර දේශනාවන් මෙම යොමුවෙන් ඔබට පරිශීලනය කිරීමට පුළුවන්.

… අන්‍යාගමික අන්තවාදයන්ගෙන් බුදු සසුන ‍රැක ගැනීම ඒ අනුව අනවශ්‍යද? …

ඉහත සූත්‍ර දේශනා හුවා දක්වන අන්‍යාගමික අන්තවාදීන්, “ඒ සුත්‍ර අනුව අපගේ ආගමේ අන්තවාදයෙන් බුදු දහම ‍රැක ගැනීමට සමහරුන් කතා කිරීම බොරු වැඩක්” බවත් “එවැන්නක් බුද්ධ දේශනාවේ නොමැති” බවත් කීමට ඉඩ තිබේ. නමුත් ඉහත සූත්‍ර දේශනාවන් විමසා බලද්දී හොඳින් වැටහෙන දේනම් බුදු දහම සු‍රැකෙන්නේ දහමේ යෙදෙන ශ්‍රාවක සංඝයා වහන්සේලා නිසා බවයි. එනම් බුදුරජාණන් වහන්සේ ඉහත සියලුම අවවාදයන් දී ඇත්තේ භික්ෂූන් වහන්සේලාටමය. වර්තමානයේදී සමහර අන්තවාදී ආගමික කොටස් වලින් සසුනට සෘජුව බලපෑම් ඇති වන අතර සමහර ආගම් මෙරට ප්‍රධාන ආගම බවට පත් වුවහොත් එදාට භික්ෂූන් වහන්සේලාට දහමේ යෙදීමට නොහැකි බවට පත් වෙන බව ඔවුන් බහුතරය වී සිටින නමුත් තාමත් බෞද්ධයින් සිටින රටවල්/ප්‍රදේශ වල සිදුවෙන හද කම්පනය වෙන දෑ වලින් පැහැදිළි වෙයි.
ඊට අමතරව “සද්ධම්මන්තරධාන පාපමිත්තා සූත්‍රය” ට අනුව පාප මිත්‍රයින් ඇසුරු කිරීමද සද්ධර්මය අතුරුදන් වීමට හේතුවකි. පාප මිත්‍රයින් ලෙස හැඳින්වෙන අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණී, අපායසහය යන ගති ඇති අන්තවාදී ආගමික කොටස් ගැන අපි හොඳාකාරවම දනිමු. ඔවුන්ව ඇසුරු කිරීම හෙවත් ඔවුන් සමග ගණුදෙනු කිරීමේ සිට ඔවුන් සමග හිතවත්කම් පවත්වාගැනීම දක්වා දෑ වලින් බුදු සසුන අතුරුදන් වීම සිදුවෙන ආකාරය අපට සිතාගැනීමට පුළුවන.
එනිසා අන්‍යාගමික අන්තවාදීන්ගෙන් සසුන ‍රැක ගැනීමත් වැදගත් වෙන අතර, එනමුත් සසුන ‍රැක ගැනීමට යාමේදී කිසිම විටෙකවත් වුවමනාවෙන් බුදුන් වදාල අවවාදයන් කඩ නොකළ යුතුය. ඒ සඳහා, සහස්ස සංයුත්තයේ අ‍ටුවාවන් හි මෙන්ම භරු ජාතකයේ දී බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් දැක්වූ පරිදි රටේ පවත්නා නීතිය උපයෝගී කරගැනීම, සප්ත අපරිහානීය ධර්මයන් භාවිතයට ගැනීම ආදිය යොදා ගත යුතුය. එසේම සසුන අතුරුදන් වෙන ආකාරයන් ගණනාවක් බුද්ධ දේශනා තුළින්ම උපුටා දක්වා ඇති නිසා, අන්‍යාගමික අනතවාදීන්ගෙන් සසුන ‍රැක ගැනීම පමණක් බුදු සසුන ‍රැක ගැනීමේ එකම මාර්ගය නොවන බවත් පැහැදිළි විය යුතුය.

… ලෝකය රහතුන්ගෙන් හිස් නොවීමටනම් …

“මාගේ මේ ශාසනයෙහි භික්ෂුහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වී නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය” ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා ඇති බව දීඝ නිකායේ, මහා පරිනිර්වාන සූත්‍රයේ දැක්වේ. අ‍ටුවාචාරීන් වහන්සේලා විසින් “විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) ලෙස විග්‍ර කරන්නේද මේ දේ විය යුතුය.

… බුද්ධ ශාසනයේ අවසන් ශ්‍රාවකයා වෙන්න එපා! …

ඔබ “මාඛාදේව ජාතකය” අනිවාර්යයෙන්ම අසා ඇතුවාට සැක නැත. සමහරුන් නොදැනුවත් කමින් ජාතක කතා යනු හුදු සාහිත්‍යමය වර්ණනා යැයි කියමින් අපහාස කළද එම විස්තරය මජ්ඣිම නිකායෙ, මාඛාදේව සූත්‍රයේ සඳහන් වෙයි. එම සූත්‍රයේ අවසානයට භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ශාසනයේ පැවැත්මයට ලබාදෙන අවවදය ලොමු ඩැහැගන්වල සුළුයි, එය සියලුම භික්ෂූන් වහන්සේලාට මෙන්ම ධර්ම මාර්ගයේ යමින් බුදු දහම ‍රැක ගැනීමට උනන්දු සියලුම දෙනාට බලවත් වීර්යයක් ඇතිකරවනවා ඒකාන්තයි!
ඒ කුමක්ද යත්,

´´ආනන්‍දය, දැන් වනාහි මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂ ඤාණය පිණිස, අවබෝධය පිණිස, නිර්‍වාණය පිණස පවතී.
´´ආනන්‍දය, දැන් වනාහි මා විසින් පිහිටුවනලද ඒකාන්තයෙන් කලකිරීම පිණස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස පවතින ඒ යහපත් පැවතුම කවරේද?
´´මේ අඞ්ග අටක් ඇති ආය්‍ර්‍ය මාර්‍ග, එනම්, යහපත් දැකීම, යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් කර්‍මාන්තය, යහපත් ජීවිකාව, යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය යන මොවුහුය.
´´ආනන්‍දය, දැන් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණස, විශේෂ ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිර්‍වාණය පිණස පවතියි.
´´ආනන්‍දය, මම වනාහි නුඹට මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයෝ නොවව්. ආනන්‍දය, (මාගේ) වංශයෙහිවූ යම් පුරුෂයෙකුගේ කල්හි මෙසේවූ යහපත් පැවතුමගේ සිඳීයාම වෙයිද? හෙතෙම ඔවුන් අතර අන්තිම පුරුෂයා වෙයි.
´´ආනන්‍දය, එහෙයින් තොපට මම මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයෝ නොවව්´´. (කියාය.)

ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය මත පදනම් වෙමින් හැකිතාක් සංක්ෂිප්තව ලියන ලද මෙම ලිපිය, ගෞතම බුද්ධ ශාසනය තවත් චිරාත් කාලයක් ‍රැක ගැනීමට ඉවහල් වේවා! මෙය ලිවීමට වටිනා සහයෝගයක් ලබාදුන් කණිෂ්ක ඩිල්ශාන් මහතාටත්, සිංහල බෞද්ධයා වෙබ් අඩවිය හා එක් වී සිටිමින් අපව දිරිගන්වන ගෞරවනීය භික්ෂූන් වහන්සේලා ප්‍රධාන සියලුම මිතුරු මිතුරියන්ටත් පින් සිදුවේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි!

- රංග ජයවර්ධන -

4535
Thanks!
An error occurred!

විශ්වය පිළිබඳ බුදුරදුන්ගේ කෙටි පැහැදිළි කිරීමක්. – සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය

අංගුත්තර නිකාය, තික නිපාතය, දුතිය පණ්නාසකය, ආනන්ද වර්‍ගය,
සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය.

එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.

“ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.

ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම දෙවනුවත් “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

“ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.

තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම, “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

“ආනන්‍දය, තොප විසින් චක්‍රවාළ දහසක් වන චූළනී ලෝකධාතුව අසන ලද්දේද?” – “යමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. සුගතයන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහුය” යි කීය.

“එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.”

“ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.”

“ආනන්‍දය, තථාගත තෙමේ කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවද ශබ්දයෙන් අඟවන්නේය. අනාගත ලෝකධාතූන්ගෙන් හෝ යම් පමණ කැමතිවන්නේනම් ශබ්දයෙන් අඟවන්නේය.”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව හෝ යම්තාක් කැමති නම් ඒතාක් හෝ ශබ්දයෙන් අඟවන්නේද?”

“ආනන්‍දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්‍වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්‍දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.”

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට, “යම්බඳුවූ මාගේ ශාස්තෘන් වහන්සේ මෙසේ මහත් ඎද්ධි ඇති සේක. මෙසේ මහත් ආනුභාව ඇති සේක. මට ඒකාන්තයෙන් ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් මනාකොට ලබන ලද්දකි” යි කීය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, “ආවැත් ආනන්‍දය, ඉදින් ඔබගේ ශාස්තෘන් වහන්සේ මහත් ඎද්ධි ඇති සේක් නම්, මහත් ආනුභාව ඇති සේක් නම්, එයින් ඔබට ඇති ප්‍රයෝජනය කිමදැ” යි කීය.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට, “උදායි, එසේ නොකියව, උදායි, එසේ නොකියව, උදායි, ඉදින් ආනන්‍ද අවීතරාගීව (රාගය පහ නොකෙළෙක්ව) කාලක්‍රියා කරන්නෙක් වී නම්, ඒ සිත පැහැදීමෙන් සත් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්වරක් දඹදිව මහා රාජ්‍යය කරන්නේය. උදායි, එහෙත් ආනන්‍ද තෙමේ මේ ආත්මයෙහිම පිරිනිවන් පාන්නේය” යි වදාළ සේක.

4458
Thanks!
An error occurred!

බුදුරදුන්වත් විවේචනය කළ නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුවන් සරණ යයි

බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී බවත් උන්වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත් කියමින් බරපතල විවේචන සිදුකර යු‍ටුයුබ් වෙතට තම වීඩියෝ සහිත හඬ පට අප්ලෝඩ් කර, මේ වසර ආරම්භයේදීම ඉමහත් ආන්දෝලනයට ලක් වූ නයන හෙට්ටිආරච්චි නැමැත්තාව ඔබට මතක ඇති. ඊට අමතරව ඔහු සිංහල බෞද්ධයා වෙබ් අඩවියත් එයට ලිපි ලියන අපවත් විවේචන කර වීඩියෝ කිහිපයකුත් අප්ලෝඩ් කර තිබුණා.

ඔහු ගැන වැඩිදුර විස්තර සොයා බැලීමේදී ආරංචි වුණේ ඔහු ඊට පෙර යහපත් පුද්ගලයෙක් බවත්, උසස් අධ්‍යාපනය මැනවින් ලැබූ උගතෙක් මෙන්ම ස්වෝත්සාහයෙන් දියුණු වීමට උත්සාහ ගත් තරුණයෙක් බවයි. කෙසේ නමුත් කැනඩාවේ සිටියදී යම් හේතුවක් මත අන් අයව ප්‍රකෝප කරන සුළු වීඩියෝ අප්ලොඩ් කිරීමට ඔහු යොමු වී තිබෙනවා. සමහරුන් පවසන ආකාරයට සීතල දේශගුණය හෝ තනිකම නිසා ඇතිවූ යම් රෝගී තත්ත්වයක් හෝ තම වීසා දික් කර ගැනීමේ අරමුණින් අන් අය ලවා බන්නවාගැනීමට තමයි එවැන්නක් කර ඇත්තේ, නමුත් හරියටම හේතුව දන්නේ නෑ.

කෙසේ නමුත් ඔහුව බොහෝ අයගේ වෛරයට ලක් වුණත්, බොදුනුවෙක් වශයෙන් ඔහුට නිවැරදිවීමට අත දීම අපගේ යුතුකමක් නිසා ඔහුව කිසි සේත්ම විවේචනය කිරීමට අප උත්සාහ ගත්තේ නෑ. එසේම ප්‍රියංකර ලියනගේ සහෝදරයා ඔහුට ඉතාමත් අගනා පිළිතුරක්ද වීඩියෝවකින්ම ලබා දෙනු ලැබුවා.

මීට සති කිහිපයකට පෙර අප හට ආරංචි වූයේ නයන හෙට්ටිආරච්චි නැමැත්තා කැනඩාවේ සිට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බවයි. එවිට සමහර අන්‍යාගමිකයින් මූණුපොතේ මෙලෙස පවසා තිබුණා.
“අන්න උඹලගෙන් ගේම ඉල්ලපු නයන හෙට්ටිආරච්චි ලංකාවට ඇවිල්ල, මහ ලොකුවට කෑ ගහපු උඹල දැන් ගලේ පැහැරපු බළල්ලු වගේ දත නියවාගෙන ඉන්නවා නේද? කෝ උඹල මොනවද ඌට කළේ?”
එවැනි ප්‍රකාශ වලටත් අපනම් පිළිතුරු නොදෙන්න ගියේ එම චෝදනාව අපට අදාළ නොවන නිසයි. සමහර උදවිය කේන්ති ගෙන නයනට බැන්නද අපට ඔහු කෙරෙහි කිසිදු වෛරයක් නොතිබුණේ ඔහු කිසියම් බලවේගයක් (මාර බලවේගය විය හැකියි) නිසා නොමග ගොස් ඇති බව සිතුණ නිසයි. කෙසේ නමුත් අප වෙන්නේ කුමක් දැයි බලාගෙන සිටියා.

දින කිහිපයකට පෙර ඔහු, සිංහල බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන, ශ්‍රී දළදා මාලිගාවට ගොස් පන්සිල් ගෙන නැවතත් සැදැහැති බෞද්ධයෙක් බවට පත් වූ බව දැනගන්නට ලැබුණා. මේ තියෙන්නේ ඔහුගේ පියා විසින් අන්තර්ජාලයට එක් කර තිබූ පින්තූර.

ඉතින් මිතුරනේ, ඕනෑම කෙනෙක් නොමග යන වෙලාවල් තියෙනව. උදාහරණ ලෙස මේ දිනවල ගොසිප් කාරයින් විසින් පතුරු ගසන පිටිදූවේ සිරිධම්ම හිමිත් ඔය ආකාරයෙන්ම නොමග ගිය කෙනෙක් විය හැකියි. බොහෝ විට මේ සියල්ලම පසුපස මාර බලවේගයක් තිබෙනවා විය හැකියි. එනිසා ඔවුන් ගැන වෛරය ඇතිකරගෙන අපිත් ඒ තත්ත්වයටම පත් වී පවි‍ටු මාරයාව වැළඳ ගන්නවා වෙනුවට ඔවුන්ට හැකි අයුරින් උපකාර කිරීමයි වැදගත් වෙන්නෙ.

මීට පෙර ඔහු විසින් යු‍ටුයුබ් වෙතට එක් කර තිබුණ වීඩියෝ 200 කට අධික ප්‍රමාණයක් ඔහු විසින්ම ඉවත්කරගෙන (ප්‍රයිවෙට් කර) තිබෙනවා. දැන් නයන හෙට්ටිආරච්චි මහතා සැබැවින්ම යහමගට ඇවිත් තිබේනම් ඔහුට අපගේ හෘදයාංගම ආශීර්වාදය පළ කරමු.

බුදු දහමට විරුද්ධව නැගී සිටින ඕනෑම බලවේගයක් අවසානයේදී මතවාදී වශයෙනුත් ආධ්‍යාත්මික වශයෙනුත් පරාද වන බවට, පුන් පොහෝ දාට සවනක්ගන බුදු‍රැස් මාලාවන්ගෙන් දිලිසි දිලිසී විරාජමානව වැඩ සිටින සිරි දළදා හිමිගේ බුද්ධ තේජසත්, ඇස් පනාපිටම සිදුවන මෙවන් සිදුවීමුත් සාක්ෂි දරනවා ඇති.

“යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු”
මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් වහන්සේ හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

4371
Thanks!
An error occurred!

බුදු දහමේ ඇති සංකල්ප මත පදනම් වී දැනුම පිළිබද ප්‍රවාදයක් ගොඩ නැගීම – නිර්මාණාත්මක සාපේක්ෂතාව

බුදු දහමට සහ නිර්මාණාත්මක සාපේක්ෂතාවට අනුව නම් සංකල්පීය ලෝකය ශුන්‍යයි. සංකල්පීය නොවන ලෝකයත් සංකල්පයක්. කෙසේ වෙතත් බුදු දහමේ එන නිවන සහ ත්‍රිලක්ෂණය සංකල්ප විය නොහැක (මෙය නිර්මාණාත්මක සාපේක්ෂතාවට අදාල නැත. නිර්මාණාත්මක සාපේක්ෂතාව යනු දැනුම පිළිබද ප්‍රවාදයකි). මන්ද යත් නිවන හෝ ත්‍රිලක්ෂණය ගැන වචනයෙන් විස්තර කළ මුත් ඒවා අවබෝධ නොවන බැවිනි. උදා ලෙස අනිත්‍ය යන්න වෙනස්වීම ලෙස තේරුම් ගත්තාට නිවන් අවබෝධ නොවේ. එනම් එහි සංකල්පීය නොවන අරුතක් පැවතිය යුතුය.

දැන් ප්‍රශ්නය සංකල්පීය නොවන නිවන සහ ත්‍රිලක්ෂණය අවබෝධ කරන්නේ කෙසේද යන්නය. ඉතා පැහැදිලිව ඒ ප්‍රත්‍යක්ෂයෙනි. අප සාමාන්‍යයෙන් දැනුම ලබා ගන්නේ තර්කනයෙනි. අනුමානයෙනි. එහෙත් බුදු දහමේ ඊට පරිබාහිරව ප්‍රත්‍යක්ෂයෙන්ද දැනුම ලබා ගත හැකිය. එතැනදි වන්නේ සංකල්ප ඇසුරෙන් තර්ක කර දැනුම ලබා ගැනීමක් නොව භාවනාවෙන් ධ්‍යාන වැඩීමෙන් සෘජුවම මනසට යම් දැනුමක් ලබා ගැනීමය. බුදුරජාණන් වහන්සේ ලබා ගත් ඥාණ මෙසේ ලබා ගත් දැනුම්ය. නිවන් මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් අංගයක් ලෙස සම්මා සමාධි (ප්‍රථම ධ්‍යානයේ සිට හතරවන ධ්‍යානය දක්වා) දැක්වෙන්නේ මේ නිසාය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය නොකර නිවනක් නැතිය සහ නිවන් අවබෝධ කළ නොහැකිය යනුවෙන් පූර්ව නිගමනවලට එළඹීම ප්‍රඥාගෝචර නොවේ. ඇත්ත වශයෙන්ම බුදුදහමෙන් පරිබාහිරවද මෙසේ ප්‍රත්‍යක්ෂයෙන් දැනුම් ලබාගත් අවස්ථා ඇත. යෝග, ජ්‍යෙතිෂ්‍ය, ආයුර්වේදය ආදී දැනුම් පුරාණ සෘෂිවරුන් විසින් එසේ ප්‍රත්‍යක්ෂයෙන් ලබා ගත් දැනුම් ලෙස දැක්වේ. ත්‍රිලක්ෂණය සංකල්පීය නොවන දෑ අවබෝධ කිරීමට ප්‍රත්‍යක්ෂය හැර අන් මගක් නැත.

දුක්ඛ යන්න බුදු දහමේ දක්වා ඇත්තේ ‘දුක‘ යන අර්ථයට වඩා පුළුල් අර්ථයකිනි. අභිධර්මයේ “දුක්ඛ” යන්න තුන් ආකාරයකට දක්වා ඇත. අප සාමාන්‍ය ව්‍යවහාරයේ සලකන ‘දුක‘ ඉන් එකක් පමණි. එයින් ප්‍රධානම දැය නම් පංචඋපාදානස්ඛන්ධයම දුක්ඛ බවයි. ත්‍රිලක්ෂණය ඇති සියලු සංස්කාර දුක්ඛ වේ.

මේ කිසිවක් නිර්මාණාත්මක සාපේක්ෂතාවයෙන් හදුන්වා දුන් දෑ නොව බුදු දහමේ එන සංකල්ප වේ. නිර්මාණාත්මක සාපේක්ෂතාවයෙන් කර ඇත්තේ බුදු දහමේ ඇති සංකල්ප මත පදනම් වී දැනුම පිළිබද ප්‍රවාදයක් ගොඩ නැගීමයි. ඊට අනුව දැනුම වාස්තවික නොවන අතර සංස්කෘතියට, මනසට සහ ඉන්ද්‍රියන්ට සාපේක්ෂ වෙයි.

- දර්ශන කස්තුරිරත්න

3851
Thanks!
An error occurred!

බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ


“භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාවට අපහාස වන පරිදි නොමනා තාලකයට ගයමින් ඩ්‍රම් ගසමින් නට නටා, මධු සමයක් ගත කරන කාමුක දර්ශනයක් ඇති වාණිජමය අරමුණු සහිතව නිපදවූ “ටිකෙන් ටික” නැමැති ගීතයේ පසුතලයට යොදාගෙන ඇති ආකාරය මෙම ලිපියෙන් ඔබ කියවන්නට ඇති.

ගංගොඩවිල සුනේත්‍රා දේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් එම ගීතයට විරුද්ධව මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ ගැන නෙත් එෆ්.එම්. විකාශය කළ පුවත පහත සබැඳියෙන් අසන්න.

නෙත් එෆ්.එම්. පුවත

බුදු සසුනට විපතක් අත් වීගෙන එද්දී, සිංහල ඉතිහාසයේ හැම විටම සසුන ‍රැක ගත් ජාතියේ මුර දේවතාවුන් වහන්සේලාගේ ම‍ඟෙහි යමින් මේ වෙනුවෙන් පෙනී සිටින පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. එසේම මේ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දුන් දේශප්‍රේමී ගුවන් විදුලි නාලිකාවක් වන නෙත් එෆ්.එම්. ඇතුළු සියලුම ජාතිහිතෛශී වෙබ් අඩවි හිමියන්ටත් බෞද්ධ අපගේ නොමඳ ස්තුතිය පළකරමු.

මෙය අවසානයක් නොව ආරම්භයක් පමණයි, ඉදිරියේදී ඒ අන්‍යාගමික කල්ලියට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාල අංශ දිරි ගැන්වීමට බෞද්ධ අපි සියල්ලන්ම එකාවන්ව පෙළගැසිය යුතුයි. ශාසනාරක්ෂක බලමණ්ඩලය, බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය, වෙනත් බෞද්ධ සංවිධාන මෙන්ම සිංහල බෞද්ධ ක්‍රියාකාරීනුත් තම සුළු සුළු මතභේදයන් දුරලා එක්වී, අන්‍යාගමික මූලධර්මවාදීන්ට සංවිධානාත්මකව ඒ ශ්‍රී සද්ධර්මය ‍රැප් කරමින් ඊට අපහාස වෙන පරිදි අනඟ ‍රැඟුම් පෑමට ඉඩ නොදීමට, අනාගතයේදීත් සියලුම බෞද්ධයින්ට ඒ සුමධුර සද්ධර්මය මහත් ශ්‍රද්ධාවකින් යුතුව ශ්‍රවණය කළ හැකි වාතාවරනයක් ඇති කිරීමට අපි අදිටන් කරගනිමු.

මෙහිදී එම කසිකබල් ගීතය සාධාරණීකරණය කරන්නට හදමින් සමහරුන් ඉතාමත් දුර්වල උත්සාහයක් ගත් ආකාරය අප දු‍ටු අතර ඊළඟ ලිපියෙන් ඒ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දීමට බලාපොරොත්තු වෙමු.

3761
Thanks!
An error occurred!

ආනාපානසතිය – භාවනා කරන ආකාරය මුල සිට අගටම …

ආනාපානසතිය

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ.

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

භාවනා නම් කවරේ ද?

“භාවෙති කුසලධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා” යනු නිර්වචන හෙයින් යම් චෙතනාවක් කරන කොට ගෙනැ කුශලධර්‍මයෝ වැඩෙත් ද, වැඩිදියුණු වෙද්ද, ඒ චෙතනාව භාවනා නම් වේ.

භාවනා නම් වැඩීම යි, දියුණු කිරීම යි, කුමක් වැඩීම ද? සිත යහපත් අරමුණෙක්හි වැඩීම යි. නොයෙක් අරමුණු ගැනීම් වශයෙන් එහෙ මෙහෙ විසිර යෑම සිතේ සාමාන්‍ය ස්වභාවය යි. එහෙයින් ඉෂ්ටාරම්මණයෙහි ඇලීමත් අනිෂ්ටාරම්මණයෙහි ගැටීමත් ඇති වෙයි. එයින් අකුසල චෙතනා පහළ වෙයි. එසේ එහෙ මෙහෙ විසිර යා නො දී යහපත් අරමුණෙක්හි මැ නැවැත නැවැත ඉපැදැවීම් වශයෙන් බැඳැ තැබීමෙන් සිත ස්ථිර වෙයි. එයින් කුශල චෙතනා බහුල වෙයි. සුළු සුළු කරුණුවල දී ඇලීම් ගැටීම් අඩුවෙයි. එයින් අකුශල චෙතනා ද අඩුවෙයි. තේරුම් ගැනීමේ පහසුව සඳහා ගල්ඔය මහවැවේ වේල්ල ගැන සිතා බලන්න.

ඒ වේල්ල තනා ඇත්තේ වැලිවලිනි, සාමාන්‍යයෙන් වැලි විසිරී තිබෙන විට සුළු වතුර පාරකට ද සේදී යයි. එසේ වූ වැලි රියන අඟලට බසින සේ එහි එහි මැ තද කැරැ ස්ථිර කිරීම නිසා මහවතුර පාරකට ද ගසා ගෙනැ නො යයි. එසේ මැ ඉතා සුළු ඉෂ්ටානිෂ්ට අරමුණෙකැ දී පවා විසිරැ යන සිත මෙසේ එක් මැ අරමුණෙක්හි නැවැත නැවැත ඉපැදීම් වශයෙන් ස්ථිර කැරැ ගත් විට අතිශයින් ඉෂ්ටානිෂ්ට ආරම්මණ යෙකැ දී හෝ විසිරැ යා නොදී රැකැ ගත හැකි වෙයි. එයින් කුශල චේතනා බහුල වෙයි. අකුශල චෙතනා අඩු වෙයි. භාවනාවෙන් කුශලධර්‍ම වැඩේ යැයි කීවේ එහෙයිනි.

කවර හෙයින් භාවනා අවශ්‍ය ද?

උත්තාන සත්ත්වයෝ යැ, ගහණ සත්ත්වයෝ යැයි ලොවැ ඇති තාක් දෘශ්‍යමාන සත්ත්වයෝ දෙ කොටසකට බෙදෙති. උත්තාන සත්ත්වයෝ නම් නොසැඟවුණු ප්‍රකට වූ එළිදරවු වූ කෙලෙස් ඇත්තෝ ය. එනම් තිරිසන්නු ය. ගහණ සත්ත්වයෝ නම් සැඟවුණු, වැසුණු අප්‍රකට වූ කෙලෙස් ඇත්තෝ ය. එනම් මනුෂ්‍යයෝ ය, තිරිසන්නු කාමකෝපාදිය ඉවසන්නෝ සඟවන්නෝ නො වෙති. කාමකෝපාදිය ආ විට තැන වේලාව පුද්ගලයා නො බලා පහළ කරන්නෝ ය. මිනිස් රූකඩයෝ ද එබඳු මැ වෙති. නියම මිනිසා කාමකෝපාදිය ආ විට තැන බලයි, වේලාව බලයි, පුද්ගලයා බලයි, ඉවසයි,  සඟවා ගනියි. මෙබඳු උතුම් මිනිස් ගුණ ඇති කැරැ ගත හැක්කේ හිත දියුණු කිරීමෙන් ය. එනම් භාවනාවෙන් ය. එහෙයින් භාවනාව අවශ්‍ය ය.

චපලයෝ යැ, ස්ථිරයෝ යැයි ද මිනිස්සු දෙ කොටසකට බෙදෙති. චපලයෝ නම් ඇස් කන් නැහැ ඈ ඉඳුරන් මඟින් සැලෙන්නෝ ය, කැලැඹෙන්නෝ ය. ස්ථිරයෝ නම් එසේ නොසැලෙන්නෝ ය, නොකැලැඹෙන්නෝ ය. චපලයෝ ප්‍රිය රූපයෙහි ඇලෙති. අප්‍රිය රූපයෙහි ගැටෙති. ප්‍රිය රූපයක් දුටු විට ආසා කෙරෙති. අප්‍රිය රූපයක් දුටුවිට නොසතුටු වෙති. අනෙක් ඉඳුරන්ගේ මඟිනුදු එසේ මැ ය. ස්ථිරයෝ ප්‍රිය රූපයෙහි ඇලීම් ඇතත් අප්‍රිය රූපයෙහි ගැටීම් ඇතත් කලබල නො වෙති. නො කැලැඹෙති. ඇලීම් ගැටීම් එළිදරවු නො කොට ඉවසති. මෙය ද ඉතා උසස් මනුෂ්‍ය ගුණයෙකි. මේ උසස් ගුණය ඇති කැරැ ගත හැක්කේත් භාවනාවෙකින් ඉන්‍ද්‍රියයන් දමනය කැරැ ගැනීමෙනි. එහෙයින් ද භාවනාව අවශ්‍ය ය.‍

ශූරයෝ යැ, වීරයෝ යැ, ධීරයෝ යැයි ද මිනිස්සු තෙ කොටසකට බෙදෙති. ශූරයෝ නම් යම් යම් කාර්‍ය්‍යන්හි දක්ෂයෝ ය, හුරුවූවෝ ය. වීරයෝ නම් බාධා නො බලා පටන් ගත් කාර්‍යය මුඳුන් පත් වනතුරු මැ කරන්නෝ ය. බුහුටියෝ ය. ධීරයෝ නම් සැපත් විපත් ආදී ලෝදහම්හි නොසැලෙන නොකැලැඹෙන නොපෙරැළෙන දිරි ඇත්තෝ ය. මෙකී ගුණත්‍රයය ඇතියෝ මැ උතුම් වෙති. එයිනුදු ධීර ගුණය මැ උතුම් වෙයි. මේ උදාර මනුෂ්‍යගුණය ඇති කැරැ ගත හැක්කේත් භාවනාවෙකින් සිත දියුණු කැරැ ගැනීමෙනි. එහෙයින් ද භාවනාව අවශ්‍ය ය.

භාවිත පුද්ගලයෝ යැ අභාවිත පුද්ගලයෝ යැයි ද මිනිස්සු දෙ කොටසකට බෙදෙති. භාවිත පුද්ගලයෝ නම් වඩන ලද, දියුණු කරන ලද සිත් ඇත්තෝ ය. අභාවිතයෝ නම් නොවඩන ලද සිත් ඇති කුලෑටියෝ ය. කුලෑටියෝ නිතර ම කලබල වූ මුවන් මෙනුදු තැති ගැනුණු කුඩා දරුවන් මෙනුදු ඇවිස්සුණු කලබල වූ ස්වභාව ඇත්තෝ ය. ඔවුන්ගේ කැරුම් කියුම් සිතුම් සියල්ල ම ගොරෝසු ය, දළ දඬු ය. භාවිතයෝ එසේ නො වෙති. තැන්පත් වූ ශාන්ත වූ කැරුම් කියුම් හා සිතුම් ඇත්තෝ ය. අභාවිතයෝ ජනසමාජයට කරදරයෙකි. භාවිතයෝ ජනසමාජයට සැනැසිල්ලෙකි. ඒ භාවිත ගුණය ඇති කැරැගත හැක්කේත් භාවනාවෙකින් ම ය. එහෙයින් ද භාවනාව අවශ්‍ය ය.

වරදවා පිහිටුවන ලද සිත් ඇත්තෝ යැ, මනා කොට පිහිටුවන ලද සිත් ඇත්තෝ යැයි ද මිනිස්සු දෙ කොසකට බෙදෙති. ගල් දෙබෑ කළ හැකි යහුල (යකඩ උල) වුවත් වරදවා පිහිටුවීමෙන් සරසට දැමීමෙන් ගලක් තබා මලක් වත් නො බිඳිය හැකි වෙයි. එමෙන් ම වරදවා පිහිටුවන ලද සිතිනුත් කිසි ද කෙලෙස් බිඳුමක් නොකළ හැකි වෙයි. එහෙත් මනා කොට පිහිටුවන ලද, කෙළින් තබන ලද වී නංඩුව ද අත් පා සිදුරු කිරීමට, පැළීමට තරම් සමර්‍ථ වේ. එමෙන් ම මනා කොට පිහිටුවන ලද සිත ද අවිද්‍යාව බිඳීමටත්, විද්‍යාව (නුවණ) පහළ කිරීමටත්, නිවන් දැකීමටත් සමර්‍ථ වෙයි. එබැවින් මනා කොට පිහිටුවන ලද සිත මැ උතුම් වෙයි. එය ලබා ගත හැක්කේ භාවනාවෙකින් ම ය. එහෙයින් ද  භාවනාව අවශ්‍ය ය.

බෞද්ධයාගේ පරමාධ්‍යාශයය  සසරැ දුකින් නිදහස් වීම ය, නිවන්සුව ලැබීම ය. එය ලැබිය හැක්කේ කෙලෙසුන් නැති කිරීමෙනි. කෙලෙස් නම් හිත පිළිබඳ නරක ගතියි. ඒ නරකගති නැති කළ හැක්කේ හිත දමනය කිරීමෙනි. නොදැමුණු හිත නොදැමුණු කුළුහරකකුට, වල්මදයකුට සමාන ය.

කුළුහරකා කැලයෙන් අල්ලා ගත් දිනයෙහි ඉතා කුලෑටි ය, නොසන්සුන් ය, එහෙත් ඌ දමනය කරන පිළිවෙළක් ඇත. කුළුහරකා හීලෑ කිරීමට සවිය ඇති කඹයෙකින් සවිය ඇති ගසෙකැ නැතහොත් කණුවෙකැ දිගේලි කැරැ – කඹය දිග් ගස්සා – බැන්ද යුතු ය. අනතුරු වැ ක්‍රම දෙකකින් හීලෑ කළ යුතු ය. එක ක්‍රමයක් නම් දැඟැලීමට ඇති නිදහස අඩු වීමට දිනෙන් දින කඹය කොට කිරීම ය. අනෙක කලබල දළ දඬු ගතිය අඩුවීම ට දිනෙන් දින ම කෑම අඩු කිරීම ය. මෙසේ ටික දිනක් යන විට මුරණ්ඩු ගතිය අඩු වේ ම ය. කඹය ටිකෙන් ටික කොට කැරැ ගෙනැ අවුත් ගහට ම ළං කැරැ බැන්ද හැකි වෙයි. එදාට දඟලන්නට පණත් නැත. ඉඩත් නැත. දක්‍ෂ පාලකයා ළං වැ ඇඟ අතගා කෑම දී තමනට උවමනා ලෙසට හීලෑ කැරැ ගනියි.

සිත නමැති කුළු හරකා බඳින කඹය සිහිය යි. බඳින ගස භාවනාව යි. එක් අරමුනෙක්හි සිට පුරුද්දක් නැතියෙන් මහ කැලැඹිලි  ගතියක් ඇති සිත ද මුල් දවසෙහි වැඩි වේලාවක් භාවනාවෙහි නො යෙදිය යුතු ය. නුහුරුකමින් අප්‍රිය විය හැකි හෙයිනි. සිත නමැති කුළුහරකාට කෑම අඩු කිරීම නම් සිත කලඹන රූප ශබ්දාදී ගොදුරු – අරමුණු අඩු කිරීම යි. නිදහස අඩු කිරීම නම් සිතට නොයෙක් අරමුණු ඔස්සේ දුවන්නට ඉඩ නො දී යහපත් අරමුණෙක්හි බැඳැ තැබීම නම් භාවනාව දියුණු කිරීම යි. එනම් භාවනා කරන කාල ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කිරීම යි. මෙසේ කාලයක් භාවනා කිරීමෙන් සිත දමනය කැරැ ගත හැකි වෙයි. කුළුහරකා ගහට ම ළං කැරැ බැඳැ ගත්තාක් මෙන් සිත ද අරමුණට ළං කොට එහි මැ සංසුන් වැ තබා ගත හැකි වෙයි. මෙලෙසින් සිත සංසුන් කිරීම ශමථ භාවනා යැයි කියනු ලැබේ. අනතුරු වැ ශාන්ත වූ කුළු හරකා තමා බලාපොරොත්තු වන කටයුත්තට පුහුණු කැරැ ගන්නාක් මෙන් ශමථ භාවනාවෙකින් සංසුන් වූ සිත තමාගේ බලාපොරොත්තුව වන නිර්‍වාණාවබොධය සඳහා විදර්‍ශනාවට හැරවිය යුතු ය.

කුළුහරකා කැලේ නවතා ගෙනැ මැ දමනය කිරීම අපහසු ය. උපන්දා පටන් සුපුරුදු කුලෑටි ගතියට මැ අනුරූප වූ පරිසරයක් එහි ඇති හෙයිනි. සුදුසු සංසුන් පෙදෙසකට හෝ ගමකට හෝ පමුණුවා දමනය කරත හොත් ඉතා පහසු ය. දමනය කැරැ ගත්තාට පසුව නම් ගමෙත් කැලේත් නොවෙනස් වැ වැඩෙහි යොදා ගත හැකි වෙයි. එසේ මැ භාවනාවෙකින් සිත දමනය කිරීමට ශීලය නම් වූ බිමෙහි පිහිටිය යුතු ය. තමනට අයත් ශීලයෙන් සිල්වත් විය යුතු ය. ගිහි අය නම් පඤ්චශීලයටත් වඩා තපොගුණ යුක්ත අටසිල් ආදී ඉහළ ශීලයෙන් මැ සිල්වත් විය යුතු ය. පන්සිල් වත් නොරකිමින් එක වරට ම උසස් භාවනා කරන්නට යෑම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිළිවෙළ නොවන බව රථවිනීත සූත්‍රයෙන් දක්වා තිබෙන රථ උපමාවෙන් මැනැවින් මැ පැහැදිලි වෙයි. එහෙයින් භාවනා කරන්නට පිළියෙළ වන්නා පළමු වැ ශීල විශුද්ධියෙන් පිරිසුදු විය යුතු ය. අනතුරු වැ චිත්තවිශුද්ධි නම් වූ සමථ භාවනාවෙකින් සිත සංසුන් කැරැ ගත යුතු ය. දමනය කැරැ ගත් හරකා ගමේ දීත් කැලේ දීත් නොවෙනස් වැ තමන් කැමැති කටයුත්තෙහි යොදා ගත හැක්කාක් මෙන් මැ චිත්ත සමාධියක් ඇති තැනැත්තාට කොහේදිත් විදර්‍ශනා වැඩිය හැකි ය. එයින් නිර්‍වාණාවබොධය ඇතිවේ.

මේ කරුණු ගැන සලකා බලන විට සෑම බෞද්ධයකු විසින් මැ භාවනාවක් කළ යුතු බව මැනැවින් පැහැදිලි වෙයි. එයින් භාවනා නොකරන්නා නියම බෞද්ධයකු නොවන බවත් පැහැදිලි වෙයි. තම පරමාධ්‍යාශය කුමක් දැයි නොදන්නා හෙයින් හා එය ලබනු සඳහා නිසිමඟට නොපිළිපන් හෙයිනි. දන් සිල් බෙලෙන් ලැබිය හැකි සම්පත් අන් සමයයන්හි ද ප්‍රකාශ වෙයි. සමාධි බලයත් එක්තරා ප්‍රමාණයෙකින් ප්‍රකාශ වී ඇතත් නියම ප්‍රඥාවෙන් – විදසුන් නුවණින් – ලැබිය යුතු වූ ශාන්තසුඛය – නිවන – අන් කිසි මැ සමයයෙකැ ප්‍රකාශ වී නැත. බෞද්ධයනට විශේෂ වශයෙන් ලැබී තිබෙන දායාදය නම් නිර්‍වාණය යි. ඒ ගැන නොසිතන්නා නියම බෞද්ධයකු කොට සලකන්නේ කෙසේ දැයි සිතා බැලීම වටී. භාවනාව කොපමණ උසස් වුවත් අවශ්‍ය වුවත් තමන්ගේ පාරමී සම්පූර්‍ණ නැත්නම් මේ ජාතියෙහි යම් කිසි පලයක් නොලැබෙන්නට පිළිවන. එහෙත් අද කරන එක මිනිත්තුවේ භාවනාවත් යම් කිසි දවසෙකැ කෙලෙසුන් නැසීමට උපකාර වෙනුවා ඒකාන්ත ම ය.

භාවනාවෙහි නියම පල ලබන්නට නම් විවේක ස්ථානයෙකැ එයට මැ පේවී එය කළ යුතු ය. ගිහි පින්වතුනට  එබඳු විවේක ස්ථානයක් ලබා ගැනීම ඉතා අමාරු ය. එහෙයින් ගිහි ගෙදර සිට හෝ භාවනා නම් කළ යුතු ම ය. “සම්‍බාධොයං ඝරාවාසො” යන්නෙන් ගිහි ගෙදර සම්‍බාධ යයි බුදුරජාණන් වහන්සේ මැ ප්‍රකාශ කොට තිබෙනුවා නොවේ දැ යි ප්‍රශ්න කළ හැකි ය. ගිහි ගෙවල අපමණ කරදර ඇති බව නොරහසෙකි. කරදරවලින් මිදී විවේක සේනාසනයක් ලබා ගෙනැ භාවනා කරන්නට සිතතොත් එය නොකැරෙන ක්‍රියාවෙකි. මේ ලෝකවාසීනට මැරෙන තෙක් ම කරදරවලින් අඩුවක් නොවන හෙයිනි. මරණින් මතු නැවැත උපදින්නෙත් මේ ලොවැ නිසා ඒ කරදර නැවැතත් ඇති වෙයි. කරදරවලින් මිදෙන්නට නම් මේ ලෝකයෙන් මිදිය යුතු ය, ලෝකෝත්තර විය යුතු ය. ඒ සඳහා භාවනා කළ යුතු ම ය.

එහෙයින්, කෙසේ නමුත් දවසකට මිනිත්තු පහක වත් විවේකයක් ලබා ගෙනැ යම් කිසි භාවනාවක් කළ යුතු බව හැම ගිහි පින්වතුන් විසින් ම සිතිය යුතු ය. පැය විසිහතරක් ඇති දිනයෙකැ පැය විසිතුනකුත් මිනිත්තු පනස් පහක් මැ ලෞකික කටයුතු සඳහා යොදා තමන්ගේ පරමාධ්‍යාශය වූ නිවන් සඳහා මිනිත්තු පහක් වත් යොදා ගත නොහැකි නම් ඒ බෞද්ධකමේ ඇති පලය කුමක් ද? හිමිදිරි පාන්දොර කාටත් වැඩි කරදර නැති වේලාවෙකි. පැය පහක් හයක් විවේක ගැනීමෙන් ඇඟට ද ඉන්‍ද්‍රියනට ද සිතට ද පණ ඇති වේලාවෙකි. එහෙයින් කම්මැළි  කමට ඉර පායන තුරු නිදා නො ගෙනැ උදේ රැයින් ම නැඟිට සුළු වේලාවක් වත් භාවනා කරන්නට කුඩා දරුවා පටන් මහල්ලා තෙක් හැම පින්වතා මැ සිතට ගත යුතු ය.

භාවනා කෙතෙක් ද?

ශමථ විදර්‍ශනා වශයෙන් භාවනාවෝ දෙ වැදෑරුම් වෙති. ඉන් ශමථ නම්: “කාමච්‍ඡන්‍දාදී පච්චනිකධම්මෙ සමෙතීති සමථො” - කාමච්‍ඡන්‍දාදී නීවරණ ධර්‍මයන් හෙවත් කුශලයනට විරුද්ධ වූ නිවන් මුවහ කරන ධර්‍මයන් සංසිඳුවා නුයි සංසුන් කෙරේ නුයි ශමථ නම් වෙයි. විදර්‍ශනා නම්: අනිච්‍චාදිවසෙන විවිධෙහි ආකාරෙහි ධම්මෙ පස්‍සතීති විපස්‍සනා - අනිත්‍යාදී වශයෙන් විවිධාකාරයෙන් පඤ්චස්කන්‍ධාදී ධර්‍මයන් බලා නුයි විදර්‍ශනා නම් වේ.

ශමථ භාවනා කෙතෙක් ද?

දශකසිණ යැ, දශඅශුභ යැ, දශානුස්මෘති යැ, සතර අප්‍රාමාණ්‍ය යැ, එක ම සංඥාව යැ, චතුධාතු ව්‍යවස්ථාපන යැ, සතර ආරුප්‍යයෝ යැයි කොටස් සතරක් ඇති සතළිස් කර්‍මස්ථානයෝ ශමථ භාවනාවෝ නම් වෙති.

විදර්‍ශනා භාවනා කෙතෙක් ද?

භාවනා වශයෙන් එකෙකි. බලන ආකාර වශයෙන් අනිත්‍ය ලක්‍ෂණ යැ, දුඃඛ ලක්‍ෂණ යැ, අනාත්ම ලක්‍ෂණ යැයි තුනෙකි. ත්‍රිලක්‍ෂණ භාවනා යනු ද මීට ම නමෙකි.

ශමථ විදර්‍ශනා යන දෙ වැදෑරුම් භාවනා අතුරෙන් කෙලෙසුන් ප්‍රහීණ කිරීම විදර්‍ශනාවෙන් සිදු වුව ද ශමථ භාවනාව ඉතා අවශ්‍ය ම ය.

“තෙනහි ත්‍වං වච්ඡ, ද්වෙ ධම්මා උත්තරිං භාවෙහි සමථං ච විපස්සනං ච” - එහෙයින් වච්ඡ, ඔබ ශමථ විදර්‍ශනා යන ධර්‍ම දෙක මත්තෙහි වඩන්නේ මැනැවි, “තස්සිමෙ ද්වෙ ධම්මා යුගනද්‍ධා වත්තන්ති සමථො ච විපස්සනා ච” – මේ ශමථ විදර්‍ශනා ධර්‍ම දෙක යුගනද්‍ධ වැ පවතී. “ද්වෙමෙ භික්ඛවෙ ධම්මා විජ්ජාභාගියා, කතමෙ ද්වෙ? සමථො ච විපස්සනා ච” – මහණෙනි, අවිද්‍යාව නැති කොට විද්‍යාව – නුවණ ඇති කරන ධර්‍ම දෙ‍කෙකි. එනම් ශමථ හා විදර්‍ශනා යනු යි. මේ හැම ප්‍රකාශයෙකින් මැ පැහැදිලි වන්නේ මෝක්‍ෂය ලැබීම මේ ධර්‍ම දෙකින් එකකින් පමණක් නොකළ හැකි බවත් මෝක්‍ෂය ලැබීමට ශමථ විදර්‍ශනා දෙක මැ එකසේ උපකාර වන බවත් ය.

විශුද්ධිමාර්‍ගය – නිවන් මග, සීල සමාධි පඤ්ඤා යන ගුණකඳු තුනෙන් යුක්ත වෙයි. මෙහි සමාධි යන්නෙන් ප්‍රකාශ වන්නේ ශමථය මැයි. බුදුරජාණන් වහන්සේ ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙහි සම්මාසමාධි පැහැදිලි කරන්නේ ධ්‍යාන හතර යනුවෙනි. ඒ මෙසේ ය.

“තත්ථ කතමො සම්මාසමාධි? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීති සුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති – දුතියජ්ඣානං – පෙ – තතියජ්ඣානං – පෙ – චතුත්‍ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති සම්මාසමාධි.”

ලෝකෝත්තර සිත්හි එකවර පහළ වන චිත්තාංග අටෙන් සම්මා සමාධිය එකෙකි. මේ අංග අටෙන් එකකුදු අඩුවෙන් මාර්‍ගචිත්තයන් පහළ විය නොහැකි ය. බුදුරජාණන් වහන්සේ සම්මාසමාධිය විස්තර කළ ආකාරය ගැන සලකා බලන විට ධ්‍යාන නැති වැ මාර්‍ගඵල ලැබිය නොහැකි ය. එහෙයින් අට්ඨ කථාවන්හි එන ශුෂ්ක විදර්‍ශක නම්, ධ්‍යාන නැත්තා නො වැ ධ්‍යානලාභී අභිඥා හා සිවු පිළිසිඹියා නැත්තා යයි ගැනීම වඩා සුදුසු ය. ධ්‍යාන ඇතත් අභිඥා නැත් නම් අහසින් යෑම ආදිය නොකළ හැකි හෙයිනි. මේ ගැන ධර්‍මධරයෝ සිතා බලත් වා!

අනුපූර්‍ව ප්‍රතිපදා

“සෙය්‍යථාපි පහාරාද මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොනො අනුපුබ්බපබ්භාරො න ආයතකෙනෙව පපාතො, එවමෙව ඛො පහාරාද ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා න ආයතකෙනෙව අඤ්ඤා පටිවෙධො.”

- පහාරාද සූත්‍රය

යම් සේ පහාරාද, මහාසමුද්‍රය ක්‍රමයෙන් පහත් වූයේ වේ ද, ක්‍රමයෙන් ගැඹුරු වූයේ වේ ද, ක්‍රමයෙන් යටට නැමුණේ වේ ද, කෙළින් ගිය ප්‍රපාතයක් නොවූයේ වේ ද, එමෙන් මැ පහාරාද මේ ධර්මවිනයෙහි (ශාසනයෙහි) අනුපූර්‍ව ශික්‍ෂා ඇත්තේ වෙයි. අනුපූර්‍ව ක්‍රියා ඇත්තේ වෙයි. අනුපූර්‍ව ප්‍රතිපදා ඇත්තේ වෙයි, ශීල විශුද්ධ්‍යාදිය නොමැති වැ කෙළින් මැ ලබන්නා වූ රහත් බවෙක් නැත්තේ ය යනු භාවය යි.

බුදු රජාණන් වහන්සේ පහාරාදට ප්‍රකාශ කෙළේ බුද්ධධර්‍මයෙහි ඉගැන්වෙන නිවන් මඟ අනුපූර්‍ව ප්‍රතිපදාවක් හෙවත් පිළිවෙළින් යා යුතු මඟක් බව ය. එකී නිවන් මඟ නම් ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගය යි හෙවත් සම්මාදිට්ඨි – සම්මාසඞ්කප්ප – සම්මාවාචා – සම්මාකම්මන්ත – සම්මාආජීව – සම්මාවායාම – සම්මාසති -සම්මාසමාධි යන අංග අටෙන් යුත් ඒකායන මාර්‍ගය යි.

අෂ්ටාංගික මාර්‍ගයෙන් ශීල – සමාධි – ප්‍රඥා යන ස්කන්‍ධත්‍රය සංගෘහීත ද නැතහොත් ස්කන්‍ධත්‍රයෙන් අෂ්ටාංගික මාර්‍ගය සංගෘහීත දැ යි විසාඛා උපාසකයන් විසින් අසන ලද ප්‍රශනයට පිළිතුරු දෙන ධම්මදින්නා මෙහෙණින් වහන්සේ, “තීහි ච ඛො ආවුසො විසාඛ ඛන්‍ධෙහි අරියො අට්ඨංගිකො මග්ගො සංගහීතො” – ආවුසෝ විසාඛ, ස්කන්ධත්‍රයෙන් ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගය සංගෘහීත වේ යි ප්‍රකාශ කළහ. සම්‍යක් වචනය – සම්‍යක් කර්‍මාන්තය – සම්‍යක් ආජීවය යන මේ ධර්‍මයෝ ශීලස්කන්‍ධයෙහි ද, සම්‍යක් ව්‍යයාමය – සම්‍යක් ස්මෘතිය – සම්‍යක් සමාධිය යන මේ ධර්‍මයෝ සමාධිස්කන්‍ධයෙහි ද, සම්‍යක් දෘෂ්ටිය – සම්‍යක් සංකල්පනාව යන මේ ධර්‍මයෝ ප්‍රඥාස්කන්‍ධයෙහි ද සංග්‍රහ වෙති.

අෂ්ටාංගික මාර්‍ගය ශීල – සමාධි – ප්‍රඥා යන ගුණකඳු තුන මැ බව මේ සූත්‍ර පාඨයෙන් විවරණය කැරිණ. විශුද්ධි මාර්‍ගය (- විශුද්ධියට – නිවනට මාර්‍ගය) විස්තර කරනු සඳහා බුද්ධඝෝෂාචාර්‍ය්‍යපාදයන්  වහන්සේ,

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චීත්තං පඤ්ඤඤ්ච භාවයං,
ආතාපි නිපකො භික්ඛු,
සො ඉමං විජටයෙ ජටං”

යනුවෙන් තෝරා ගත් ගාථා දේශනාවෙහි ඇතුළත් වන්නේ ද මේ ශීල – සමාධි – ප්‍රඥා යන ගුණකඳු තුන මැ යි.

විශුද්ධිමාර්‍ගයෙහි මේ ගුණකඳු තුන විස්තර කරන්නට පටන් ගන්නේ, “එත්‍ථ හි සීලෙන අධිසීල සික්ඛා පකාසිතා හොති සමාධිනා අධිචිත්තසික්ඛා පඤ්ඤාය අධිපඤ්ඤා සික්ඛා” – මෙහි ශීලයෙන් අධිශීල ශික්‍ෂාව ද, සමාධියෙන් අධිචිත්ත ශික්‍ෂාව ද, ප්‍රඥාවෙන් අධිප්‍රඥා ශික්‍ෂාව ද ප්‍රකාශ කළා වෙයි යනුවෙනි. බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් විස්තර කරන්නේ මෙසේ ය:

“කතමා ච භික්ඛවෙ අධිසීලසික්ඛා? ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති – පෙ – සමාදාය සික්ඛති සික්ඛාපදෙසු…, කතමා ච භික්ඛවෙ අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි – පෙ – චතුත්‍ථජ්ඣානං උපසම්පජ්ජ විහරති… කතමා ච භික්ඛවෙ අධිපඤ්ඤාසික්ඛා? ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති – පෙ – අයං දුක්ඛ නිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති”

- අංගුත්තර තිකනිපාත

අධිශීලය නම් පන්සිල් ආදියට වඩා උසස් වූ චතුපාරිශුද්ධි ශීලය යි. අධිචිත්තය නම් ප්‍රථමාදී ධ්‍යාන සතර යි. අධිප්‍රඥා නම් දුඃඛාදීන් පිළිබඳ යථාභූත ඥානය යි.

නිර්‍වාණ මාර්‍ගය නම් මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් බවත් ඒ මඟැ යෑම නම් ත්‍රිවිධ ශික්‍ෂාවන් හෙවත් ශීල – සමාධි – ප්‍රඥා යන ගුණකඳු තුන තමා සන්තානයෙහි ඇති කැරැ ගැනීම වශයෙන් සම්පූර්‍ණ කිරීම බවත් ධර්‍මයෙහි සඳහන් වෙයි. බුද්ධාගමය අනුපූර්‍ව ප්‍රතිපදාවෙකි. එහෙයින් මේ ත්‍රිවිධ ශික්‍ෂාපූරණය පිළිවෙළින් මැ කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ සෑම දෙනාට මැ එකවර චතුරාර්‍ය සත්‍යයන් දේශනා නො කළ සේක. ඒ ඒ අයගේ ආශයානුශයාදිය බලා නො මුහුකුරා ගිය නැණැතියනට අනුපූර්‍ව කථා මැ දේශනා කළහ. “ආනුපුබ්බීකථං කථෙසි සෙය්‍යථිදං, දානකථං – සීලකථං – සග්ගකථං – කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං – නෙක්ඛම්මෙච ආනිසංසං” අනුපූර්‍වකථා ප්‍රකාශ කෙළේ ය. හේ කවරේ ද යත්: දානකථා යැ, ශීලකථා යැ, ස්වර්‍ග කථා යැ, කාමයන්ගේ දොෂ – ලාමක බව කෙලෙසෙන බව යැ, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ය යනු පෙළෙහි නොයෙක් තැනවල පෙනෙන ආකාරය යි. යදා භගවා අඤ්ඤාසි බ්‍රාහ්මණං පොක්ඛරසාතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං. අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි දුක්ඛං සමුදයං නිරොධං මග්ගං – යම් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ, යහපත් සිත් ඇත්තා වූ ද මෘදු සිත් ඇත්තා වූ ද නීවරණයන්ගෙන් පහ වූ සිත් ඇත්තා වූ ද ඔද වැඩි සිත් ඇත්තා වූ ද ප්‍රසන්න සිත් ඇත්තා වූ ද පොක්ඛරසාති බ්‍රාහ්මණයා දැනැ වදාළ සේක් ද එකල්හි බුදුවරයන්ගේ යම් සාමුක්කංසික ධර්‍මදේශනාවක් වේ ද දුඃඛ – සමුදය – නිරෝධ – මාර්‍ග යන ඒ ධර්‍මය ප්‍රකාශ කළ සේක.

- අම්බට්ඨ සූත්‍රය

මෙයිනුදු බුද්ධාගමයෙහි සඳහන් වන අනුපූර්‍ව ප්‍රතිපදාව මැනැවින් මැ පැහැදිලි වෙයි. භාවනා කරනු කැමැතියනට කර්‍මස්ථාන දෙන විට ද බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ චරිත බලා පශ්චිමභවික වූවනට පමණක් විදර්‍ශනඥානය පහළ කැරැ ගැනීමට සුදුසු වන අරමුණක් දුන් අතරැ අනෙක් අයට අනුපූර්‍වප්‍රතිපදාව මැ ඉගැන්වූ සේක. මෙසේ අනුපූර්‍ව ප්‍රතිපදාවක් ඉගැන්වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් නිර්‍වාණාවබෝධය සඳහා ශීල – සමාධි – ප්‍රඥා යන ගුණ කඳු තුන පිළිවෙළින් මැ පිරිය යුතු ය.  එය පිළිවෙළින් නො පුරා නිවන දැක්ක නො හැකි බව පහාරාද සූත්‍රයෙහි, “න ආයතකෙන අඤ්ඤා පටිවෙධො” යන්නෙන් පැහැදිලි වැ මැ ප්‍රකාශ කැරැ තිබේ. එය තව ද පැහැදිලි කරන අට්ඨකථාචාර්‍ය්‍යයන් වහන්සේ කාටත් වැටැහෙන උපමාවක් ද ගෙනැ හැරැ දක්වූහ.

“න ආයතකෙන අඤ්ඤා පටිවෙධොති මණ්ඩූකස්ස උප්පතිත්වා ගමනං විය, අදිකොව සීලපූරණාදිං අකත්වා අරහන්ත පටිවෙධො නාම නත්‍ථි, පටිපාටියා පන සීලසමාධිපඤ්ඤායො පූරෙත්‍ථාව සක්කා අරහත්තං පත්තුන්ති අත්‍ථො” – ‘න ආයතකෙන අඤ්ඤා පටිවෙධො’ යනු මැඩියාගේ පැන පැන යන ගමන මෙන් පළමු කොට මැ ශීල පූරණාදිය නො කොට රහත් වී‍මෙක්  නම් නැත, ශීල – සමාධි – ප්‍රඥාවන් පිළිවෙළින් පුරා මැ රහත් විය හැකි ය යනු අර්‍ථ යි.

- අංගුත්තර නිකායට්ඨකථා. 761 වැනි පිටුව

තව ද පඤ්චස්කන්‍ධය මේ මේ කරුණු නිසා අනිත්‍ය යැ, මේ මේ කරුණු නිසා දුක් යැ, මේ මේ කරුණු නිසා අනාත්ම යැයි පහසුවෙන් වටහා ගත හැක්කේ ද ශමථ භාවනාවෙකින් හිත සමත් කැරැ ගත් තැනැත්තාට ම ය. වතුර භාජනයෙකැ මුහුණ පෙනීමේ ශක්තිය ඇතත් එය කැලැත් වූ විට බැලුවොත් මූණ මූණක් ලෙසට නොපෙනෙනුවා ඇත. එහෙත් එය සංසුන් වූ විට බැලුවොත් ඇති සැටියෙන් මැ පෙනෙනුවා ඇත. එසේ ම අශාන්ත වූ සිතට පඤ්චස්කන්ධයෙහි අනිත්‍ය දුඃඛ අනාත්මතාවන් නිසි ලෙස නොවැටැහෙනුවා ඇත. ශමථ භාවනාවෙකින් සංසුන් වූ සිතට මැ එය මැනැවින් වැටහෙනුවා ඇත.

කරුණු මෙසේ හෙයින් ශමථ භාවනාවෙකින් පටන් ගෙනැ හිත සංසුන් කැරැ ගෙනැ විදර්‍ශනා වැඩීමට උපකාර වන පරිදි මෙහි විස්තර කැරෙන්නේ ආනාපානසති භාවනාව යි.

ආනාපාන ස්මෘතිය

ආනාපානං ආරබ්භ පවත්තා සති, ආනාපානෙ වා සති – ආනාපානසති යනු නිර්‍වචන හෙයින් ආශ්වාස ප්‍රශ්වාසයන් මුල් කොට පැවැති සිහිය හෙවත් ආශ්වාස ප්‍රශ්වාසයෙහි සිහිය ආනාපානස්මෘතිය නම් වේ.

මේ ආන-අපාන හෙවත් ආශ්වාස වචනාර්‍ථයන් පිළිබඳ මත භේදයක් ඇතත් මේ භාවනාවෙහි ආන හෙවත් ආශ්වාසය හුස්ම ඇතුළට ගැනීම ලෙස හා අපාන හෙවත් ප්‍රශ්වාසය හුස්ම පිට කිරීම ලෙස ද දැනැ ගන්නේ මැනැවි.

ආනාපානසතියෙහි ආනිසංස

ආනාපානසතියෙහි ආනිසංස නොයෙක් සූත්‍රවල ඉතා විස්තර වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ය. ඉන් කීපයක් පමණක් මෙහි සඳහන් කරනු ලැබේ.

ඉධ භික්ඛු ආනාපානසතිමනුයුත්තො එකාසනෙ නිසින්නොව සබ්බාසවෙ ඛෙපෙත්වා අරහත්තං පාපුණාති, තථා අසක්කොන්තො මරණකාලෙ සමසීසී හොති, තථා අසක්කොන්තො දෙවලොකෙ නිබ්බත්තිත්වා ධම්මකථික දෙවපුත්තස්ස ධම්මං සුත්වා අරහත්තං පාපුණාති, තතො විරද්ධො අනුප්පන්නෙ බුද්ධෙ පච්චෙකබොධිං සච්ඡිකරොති, තං අසච්ඡිකරොන්තො බුද්ධානං සම්මුඛීභාවෙ බාහිය ථෙරාදයො විය ඛිප්පාභිඤ්ඤො හොති.

- රාහුළෝවාද සුත්තවණ්ණනා

මේ ශාසනයෙහි ආනාපාන සතියෙහි යෙදුණු භික්‍ෂු තෙමේ භාවනාවට හිඳ ගත් ආසනයෙහි ම සියලු කෙලෙසුන් නසා රහත් වෙයි. එසේ නොහැකි වූයේ මරණ කාලයෙහි සමසීසි වෙයි. හෙවත් රහත් වීමත් මරණයත් දෙක ම එක වරට සිදු වීමෙන් පිරිනිවන් පායි. එසේ ද නොහැකි වූයේ දෙව්ලොවැ ඉපිදැ ධර්‍මකථික දෙව්පුතුගෙන් බණ අසා රහත් වෙයි. එය ද වැරදුණේ නම් සම්මා සම්බුදුවරුන් හමුයෙහි බාහිය ථෙරාදීන් මෙන් වහා සත්‍යාවබොධය කරයි.

බුදුවීමට උපකාර වු භාවනාව

බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණෙනු සඳහා සාවුරුද්දක් මුළුල්ලෙහි නොයෙක් දුෂ්කර ක්‍රියාවන්හි යෙදුණහ. ඉතා දැඩි ලෙස කයට පීඩා දුන්හ. එයින් ප්‍රයෝජනයක් නොලැබෙන බව වටහාගත් බෝසතාණෝ ඒ දුෂ්කර ක්‍රියා අත්හළහ. පමණට ආහාර ද ගෙනැ කය සතප්පා මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා ආනාපාන සතිය බහුල වශයෙන් වඩන්නට පටන් ගත්හ. ඒ ආනාපානසති භාවනාව ක්‍රමයෙන් දියුණුකොට සව් කෙලෙස් නසා බුදු වූහ. අනතුරු වැ තමන් වහන්සේ ආනාපානසති භාවනා වැඩූ සැටිත් එය කෙලෙසුන් නැසීමට උපකාර වූ සැටිත් ප්‍රකාශ කෙළේ මෙසේ ය:

අහම්පි සුදං භික්ඛවෙ, පුබ්බෙව සම්බොධා අනහිසම්බුද්ධො බොධිසත්තොව සමානො ඉමිනා විහාරෙන බහුලං විහරාමි, තස්ස මය්හං භික්ඛවෙ ඉමිනා විහාරෙන බහුලං විහරතො නෙව කායො කිලමි න චක්ඛූනි, අනුපාදාය ච මෙ ආසවෙහි චිත්තං විමුච්චි.

- සංයුත්ත නිකාය

මහණෙනි, මම ද බුදු වීමට පෙරැ බෝධිසත්ත්ව වූයේ ආනාපානසති විහරණය බහුල කොට විසීමි. එසේ වසන්නා වූ මාගේ කයට ද වේදනා නො වී යැ. ඇසට ද පීඩා නො වී ය. මගේ සිත කෙලෙසුන් ගෙන් ද මි‍දුණේ ය.

තස්මාතිහ භික්ඛවෙ භික්ඛුපි ආකඞ්ඛ්‍යෙ නෙව මෙ කායො කිලමෙය්‍ය න චක්ඛූනි, අනුපාදාය ච මෙ ආසවෙහි චිත්තං විමුච්චෙය්‍ය අයමෙව ආනාපානසති සමාධි සාධුකං මනසිකාතබ්බො.

- සංයුත්ත නිකාය

එහෙයින් මහණෙනි, භික්‍ෂූහු ද, මාගේ කය ක්ලාන්ත නොවන්නේ ය. ඇස් ක්ලාන්ත නොවන්නේ ය. මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ ය යි කැමැති වන්නාහු ද, එසේ නම් මේ ආනාපානසති සමාධිය මනා කොට මෙනෙහි කළ යුතු ය.

මෙය ආනාපානසති භාවනා කරන්නවුන් විසින් ඉතා හොඳින් සිතට ගත යුතු කරුණෙකි. භාවනා කරන සමහරුනට නොයෙක් වේදනා පීඩා ඇතිවන බව කියති. ආනාපාන සතිය වඩන විට එසේ වේදනා ඇති වෙතොත් එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිළිවෙළ ඉක්මවා යෑමෙකින් වූවක් යයි කිව යුතු ය. සමහර විට අටුවාවන්හි ද එබඳු වේදනා ගැන සඳහන් විය හැකි ය. එය එසේ වුවත් අටුවාවට වඩා බුද්ධ වචනයට සැලැකිය යුතු ය. බුද්ධ වචනය අනුව නම් ආනාපානසති භාවනාව දියුණු වන්නට වන්නට ම හිතටත් කයටත් පහසුවක් ම දැනෙනුවා විනා වේදනාවක් නම් ඇති නොවන බව මුලින් සඳහන් දේශනා පාඨයෙන් පැහැදිලි වේ.

තථාගත විහාර

ඉදින් මහණෙනි, අන්‍යතිර්‍ථක පරිව්‍රාජකයන් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වස් කාලය කවර විහරණයක් බහුල කොට විසූ සේක් දැ යි ඇසුව හොත් “ආනාපානසති සමාධිනා ඛො ආවුසො භගවා වස්සාවාසං බහුලං විභාසි” – භාග්‍යවතුන් වහන්සේ වස්කාලය ආනාපානසති සමාධිය බහුල කොට විසූ සේකැ කිව යුතු බව බුදුරජාණන් වහන්සේ ම ප්‍රකාශ කළහ.

“ආනාපානසතිසමාධිං සම්මා වදමානො වදෙය්‍ය අරියවිහාරො ඉතිපි බ්‍රහ්මවිහාරො ඉතිපි තථාගත විහාරො ඉතිපි” - අරියවිහාරය කියාත් බ්‍රහ්මවිහාරය කියාත් තථාගත විහාරය කියාත් කිව යුත්තේ ආනාපාන සති සමාධියට ය යනු එහි භාවය යි.

ඉතා ශාන්ත භාවනාව

අයම්පි ඛො භික්ඛවෙ ආනාපාන සතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති.

- සංයුත්ත නිකාය

මහණෙනි, මේ ආනාපානසති සමාධිය වඩන ලද්දේ නැවැත නැවතත් ප්‍රගුණ කරන ලද්දේ ශාන්ත ද එසේ ම ප්‍රණීත ද වෙයි. ස්වභාවයෙන් මිහිරි ද වෙයි. සුඛ විහරණ ඇත්තේ ද වෙයි. උපනුපන් අකුශල ධර්‍ම ඇසිල්ලෙකින් අතුරුදහන් වන්නේ ය, සන්සි‍‍‍ඳෙන්නේ යයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක.

අශුභ කර්‍මස්ථානාදිය ශාන්ත හා ප්‍රණීත ද වන්නේ ප්‍රතිවෙධ වශයෙන් පමණකි. ආරම්මණ වශයෙන් ශාන්ත ද ප්‍රණීත ද නො වෙයි. අශුභාරම්මණය ඉතා පිළිකුල් බැවිනි.

ආනාපානසති සමාධියක් ලැබූවකුට නම් සමාපත්තියට සමවන් ඇසිල්ලෙහි කායික හා චෛතසික සුවය ඇති වෙයි. ධ්‍යාන නැත්තකුට වුව ද මේ භාවනා කරන විට කයටත් සිතටත් සුවයක් පහසුවක් ඇති වේ ම ය. අකුශල ධර්‍මයන් විෂ්කම්භනය නොකළ කෙනකුට වුව ද උපන් උපන් පාපචේතනාවන් මේ භාවනාවෙන් ඒ ඒ ඇසිල්ලෙහි නැති කැරැ ගත හැකි වෙයි.

සිහිය පුරුදු කිරීම

උපට්ඨිතසතිස්සයං ධම්මො නායං ධම්මො මුට්ඨස්සතිස්ස – මේ ධර්‍මය එළඹ සිටි සිහි ඇත්තවුනට ය, සිහි මුළා වූවනට නො වේ” යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ. “සතිං ඛ්වාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි” මහණෙනි සිහිය හැම තැන දී මැ උවමනා බව වදාරමි යි ද දේශනා කළහ.

පුනචපරං භික්ඛවෙ භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සංඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.

- සතිපට්ඨාන සුත්ත

මහණෙනි, නැවැත ද මහණ තෙමේ ඉදිරියට යෑමෙහි ද පෙරළා ඊමෙහි ද මනා කොට දැන කරන සුලු වූයේ වෙයි. ඉදිරි බැලීමෙහි ද අවට බැලීමෙහි ද මනාකොට දැනැ කරන සුලු වූයේ වෙයි. අත්පා හැකිළීමෙහි ද දිගු කිරීමෙහි ද මනා කොට දැනැ කරන සුලු වූයේ වෙයි. සංඝාටිය හා පා සිවුරු දැරීමෙහි ද මනාකොට දැනැ කරන සුලු වූයේ වෙයි. අනුභව කිරීමෙහි ද පානය කිරීමෙහි ද කෑමෙහි ද රස විඳීමෙහි ද මනාකොට දැනැ කරන සුලු වූයේ වෙයි. මල මූත්‍ර පහ කිරීමෙහි ද මනාකොට දැනැ කරන සුලු වූයේ වෙයි. යන කල්හි ද, සිටින කල්හි ද, හිඳින කල්හි ද, නිදන කල්හි ද, නිදිවරන කල්හි ද, කථාකරන කල්හි ද, නිහඬ වැ සිටින කල්හි ද මනාකොට දැනැ කරන සුලු වූයේ වේ.

හැම ව්‍යඤ්ජනයක් ම රසවත් වීමට ලුණු අවශ්‍ය වන්නාක් මෙන් ම ජීවිතයක් සඵල කැරැ ගැනීමට හැම කථාවක් ක්‍රියාවක් ම හැම ඉරියවුවක් ම සිහි නුවණින් පැවැත්විය යුතු බව මැනැවින් පැහැදිලි වෙයි. හැම දෙනා ම ඉතා උසස් කොට සලකන නුවණට වඩා සිහිය කොතරම් වටී දැයි හැඟැවීමට උගතුන් කියන්නේ නුවණ රාත්තලකට වඩා සිහිය අවුංසයක් අගනා බවය. සිහිය භාවයීතව්‍ය – වැඩිය යුතු, වැවිය යුතු ධර්‍මයෙකි. සිහිය ඉතා ඉහළට ම වඩන සැටි සතිපට්ඨාන සූත්‍රයෙහි හා ආනාපානසති සූත්‍රයෙහි ද මනා කොට ප්‍රකාශිත ය.

මේ ආනාපානසති භාවනාවෙහි මුල් අවස්ථා සිහිය පුරුදු කිරීම් මාත්‍රයෙකි. එහෙයින් කුඩා ළමයකුට වුව ද කළ හැකි ය. නිතර සිහියෙන් කටයුතු කරන්නට පිළිවන් වීම ඉගැනීමටත් ජීවිතය යහපත් ලෙස පැවැත්වීමටත් ඉතා උපකාරයෙකි. එහෙයින් කුඩා ළමයා පටන් මහල්ලා තෙක් සෑම දෙනා ම මේ ආනාපානසති භාවනාව කිරීමට තරයේ ම ඉටාගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන සතිය තරම් ව
ර්‍ණනා කරන ලද එසේ ම විස්තර කරන ලද අන් කිසි භාවනාවක් නැතැයි කිව යුතු ය.

වර්ණනා  කිරීමට හේතු: ආනාපානසතිය අන් හැම සමථ භවනාවකට ම වඩා ශාන්ත ය. ප්‍රණීත ය. කයට ක්ලාන්තයක් නැත. ඇසට පීඩාවක් නැත. හිත ද වහා සංසුන් වෙයි. කෙලෙස් වහා විෂ්කම්භනය වෙයි. අන් හැමට ම වඩා විදර්ශනාවට හැරවීම ද පහසු ය. උන් වහන්සේට බුදුවීමට උපකාර වූයේත් මේ භාවනාව යි. මේ ආදී කරුණු නිසා අතිශයින් වර්ණනා කැරිණැ යි සිතිය යුතු ය.

විස්තර කිරීමට හේතු: බුදුරජාණන් වහන්සේගේ කාලයේත් ඊට පෙරත් පසුවත් මේ ආනාපාන සතිය නොයෙක් ලෙසින් වැඩූවන් සිටිබව ප්‍රකට ය. සමහර යෝගීන් හුස්ම බොහෝ වේලා නවතා ගෙනැ සිටීම ආදී වශයෙන් ඉතා ගොරෝසු ලෙස ආනාපාන සතිය වැඩූ බව ද පෙනෙයි. බුදුරජාණන් වහන්සේ මේ භාවනාව ශාන්ත ප්‍රණීත ලෙස වඩන පිළිවෙළ දේශනා කළාට පසුව ද, පහසු යයි සිතා නොයෙක් වැරදි ක්‍රම භාවිත කළ බව පෙනෙයි.

ආනාපානසතී යස්ස - පරිපුණ්ණා සුභාචිතා
අනුපුබ්බං පරිචිතා
- යථා බුද්ධෙන දෙසිතා
සො
මං ලොකං පහාසෙති - අබ්භා මුත්තොව චන්‍දිමා

- විශුද්‍ධිමාර්‍ගය

ආනාපාන සතිය යමකු විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි පරිපූර්‍ණ වැ පිළිවෙළින් පුරුදු කොට මනාකොට වඩන ලද්දේ ද හෙතෙමේ වලාකුළින් මිදුණු චන්‍ද්‍රයා මෙන් මේ ලෝකය බබුළුවයි.

අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දෙසිතා

ගාථා පදය ගැන හොඳින් සිතා බැලිය යුතු ය. බුද්ධඝොෂ මාහිමියන් වහන්සේගේ කාලයෙහි ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමය ඉක්මවා මේ භාවනාව වැඩූවන් සිටි බව මෙයින් මැනැවින් පැහැදිලි වෙයි. එසේ ම බුදුරජාණන් වහන්සේ දේ
ශනා කළ පිළිවෙලට මේ භාවනාව කිරීමෙන් ම ලෝකය බබුළුවන්නට පිළිවන් වන බව ද පැහැදිලි ය. මෙසේ මේ ආනාපානසති භාවනාව වැරදි ක්‍රමවලින් වැඩූවන් සිටි නිසාත් මතු ද ඇතිවිය හැකි නිසාත් බහුල වශයෙන් විස්තර කළ සේකැයි සිතිය හැකි ය.

මේ ආනාපානසතිය ගැන නොයෙක් සූත්‍රවල විස්තර වශයෙන් ප්‍රකාශකොට ඇතත් මෙහි සඳහන් කරන්නේ ගිහිගෙවල වාසය කරන්නවුනට වුව ද පුරුදු පුහුණු කළ හැකිවන පරිදි ඉතා සුළු කොටසෙකි. භාවනාව සජ්ඣායන කිරීම වැනි දෙයක් නොවන හෙයින් බොහෝ දෙනාට මේ සුළු කොටස වුව ද මුළු ජීවිත කාලයේ ම පුරුදු කළත් අවසන් කරන්නට නොහැකි වෙනවා ඇත.

ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූල ගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලංකං ආභුජිත්වා,   උජුංකායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො සතොව අස්සසති, සතො පස්සසති, දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති, රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති, සබ්බකාය පටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකාය පටිසංවෙදී පස්ස සිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ ආරණ්‍යයකට පැමිණියේ හෝ රුක් මුලකට පැමිණියේ හෝ ශූන්‍යගාරයකට පැමිණියේ හෝ පලක් බැඳැ හිඳැ, උඩුකය කෙළින් පිහිටුවා, සිහිය කමටහන් අරමුණට අභිමුඛ කොට තබා සිහියෙන් ම ආශ්වාස කෙරෙයි, (- හුස්ම ඇතුළට ගනී), සිහියෙන් ප්‍රශ්වාස කෙරෙයි. (- හුස්ම පිට කෙරෙයි) දීර්ඝ වැ ආශ්වාස කරනුයේ දීර්ඝ වැ ආශ්වාස කෙරෙමි යි දනී, දීර්ඝ වැ ප්‍රශ්වාස කරනුයේ දීර්ඝ වැ ප්‍රශ්වස කෙරෙමියි දනී, හ්‍රස්ව වැ ආශ්වාස කරනුයේ හ්‍රස්ව වැ ආශ්වාස කෙරෙමියි දනී, හ්‍රස්ව වැ ප්‍රශ්වාස කරනුයේ හ්‍රස්ව වැ ප්‍රශ්වාස කෙරෙමියි දනී, මුල මැද අග යන සම්පූර්ණ ආශ්වාස කායය පැහැදිලි වැ දන්නා සුලු වූයේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි, මුල මැද අග යන සම්පූර්ණ ප්‍රශ්වාස කායය පැහැදිලි වැ දන්නා සුලු වූයේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි, ආශ්වාස කායසංස්කාරය පිළිවෙළින් සංසිඳුවමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි, ප්‍රශ්වාස කාය සංස්කාරය පිළිවෙළින් සංසිඳුවමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.

භාවනාවට යෝග්‍ය ස්ථානය

මෙහි භාවනාවට යෝග්‍ය ස්ථාන වශයෙන් ආරණ්‍ය යැ, රුක්මුල හා ශූන්‍යාගාර යැයි තුන් තැනක් දක්වා ඇත්තේ ය. මේ ස්ථාන තුනක් දැක්වූයේ මෙයින් පිටත් ගෙදරත් පන්සලත් ආදී අන් තැනෙකැ සිට භාවනා කළ නොහැකි නිසා නො වැ එබඳු තැනෙකැ සිට භාවනා කරන විට ඉක්මනට ප්‍රතිඵල ලබා ගත හැකි වන හෙයිනි. ගිහිගෙවලැ වාසය කරන අය මෙ බඳු තැනකට මැ පැමිණ භාවනා කරන්නට සිතා සිටියහොත් මේ ජීවිතයෙහි නම් භාවනා කිරීමට අවස්ථාවක් නොලැබෙන්නට පිළිවන. එහෙයින් තමන් වාසය කරන ස්ථානයෙහි දී ම සුළු වශයෙන් හෝ භාවනා කිරීමේ පිළිවෙළක් යොදා ගත යුතු ය. එසේ ම ගිහි පැවිදි දෙපක්‍ෂය ම වරින්වර හෝ යටැ කී විවේක ස්ථානයකට ගොසින් භාවනා කිරීමට පිළිවෙළ යොදා ගත යුතු ය.

ශූන්‍යගාරය නම් එක්තරා ප්‍රමාණයෙකින් ගිහි ගෙදරක වුව ද ලබා ගත හැකි ය. රාත්‍රී කාලයෙහි තමන්ගේ කාමරය ද ගෙදර අනෙක් අය නොගැවසෙන අවස්ථාවන්හි දී ඉස්තෝප්පු ආදී තැන් ද ශූන්‍යාගාරයෝ වෙති. තමනට වෙන ම කාමරයක් නැතත් අනෙක් අය නිශ්ශබ්ද වැ නිදා ගන්නා විට ඒ කාමරය ම ශූන්‍යාගාරයක් බඳු වෙයි. ආනාපානසති භාවනාව සඳහා එළියක් උවමනා නැත. එ නිසා රෑ පහන් නිවා ගත් විට කීප දෙනකුට වුව ද එක කාමරය තුළැ භාවනා කළ හැකි වේ.

භාවනාවට යෝග්‍ය ආසනය

පල්ලඞ්කං ආභුජිත්වා - පලක් බැඳ යී භාවනාවට යෝග්‍ය ආසනය බුදුරජාණන් වහන්සේ ම ප්‍රකාශ කළහ. භාවනා කළ හැකි ඉරියවු සතරෙකි. එයින් සිටීම හා සක්මන ද නොසංසුන්කමට බර ය, වැදැ හෙවීම කුසීතකමට බර ය, එහෙයින් හොඳ ම ඉරියවුව හිඳීම ය. එහෙත් සක්මනෙන් ඇති වන සමාධිය බොහෝ කල් පවත්නා බව ද ප්‍රකාශිත ය. මේ ආනාපානසති භාවනාව සතර ඉරියවුවෙහි ම වැඩිය හැකි වුවත් හැමට වඩා පහසු ඉරියවුව සලකා “පල්ලඞ්කං ආභුජිත්වා” යී ප්‍රකාශ කළහ.

පුරුෂ පක්‍ෂයට බද්ධපර්‍ය්‍යඞ්කයත් (- එරමිණියා ගොතා ගෙනැ වාඩි වීමත්) ස්ත්‍රී පක්‍ෂයට අර්ධපර්‍ය්‍යඞ්කයත් (- කකුල් දෙක පස්සට නවා එක පසකට බරවන සේ වාඩියත්) භාවනාවට යෝග්‍ය ආසනයි. මේ ක්‍රමය මුල දී සමහරුනට අපහසු විය හැකි ය. එසේ අපහසු නම් පුරුදු වන තුරු පහසු ලෙසකින් හිඳැ ගත යුතු ය. ඒ අතර ම නියම ආසන ක්‍රමය ටිකෙන් ටික පුරුදු පුහුණු කැරැ ගත යුතු ය.

කය ඍජු වැ තබා

උජුං කායං පණිධාය - උඩුකය ඍජු වැ – කෙළින් තබා ගන්නැයි ප්‍රකාශ කළහ. කය ඍජු වැ තබා ගැනීමේ පහසුකම් කීපයෙකි. හැකිළී සිටින විට හම හා මස් පිඩු ද ඇදී තද වීම නිසා ඇතිවිය හැකි වේදනා අඩු වෙයි. නිදිමත ද අඩු වේ.

තවද හැකිළී වක ගැසී සිටින විට පිටතින් බලන කෙනකුට ද සතුටින් සුවසේ කරන ක්‍රියාවක් හැටියට ද නො වැටහෙයි. දුකින් පීඩිත වූවකු ලෙස මැ වැටහෙයි. ඒ නිසා වාඩිවී උඩුකය කෙළින් තබා ගත යුතු ය.

හිස හා ඇස ගැන ද දෙ අත තබා ගැනීම පිළිබඳ වැ ද විශේෂයෙන් සඳහන් කොට නැති හෙයින් එකී අවයව පහසු ලෙසකින් තබා ගත හැකි ය. එහෙත් දෙ අත නම් සමහර සමාධි පිළිමවලැ තිබෙන්නාක් මෙන් අත උඩ අත (- අල්ල උඩ අල්ල) තබා ගැනීම සුදුසු ය. හිස උවමනාවට වඩා නමන්නේත් නැති වැ ඔසවන්නේත් නැති වැ පහසුවෙන් තබා ගන්න. ඇස ඇර ගෙනැ හෝ වසා ගෙනැ හෝ සිටීම තමන් කැමැති පහසු පරිදි ය.

සිහිය අභිමුඛ කොට තබා

පරිමුඛං සතිං උපට්ඨපෙත්වා  – සිහිය කර්‍මස්ථානයට අභිමුඛ කොට එළවා ගන්නැයි ප්‍රකාශ කළහ. තමාගේ කමටහනෙහි – වඩන භාවනාවෙහි සිහිය එළවා ගත යුතු ය. මෙහි විස්තර වන්නේ ආනාපානසතිය නිසා ආනාපාන නම් වූ අරමුණට සිහිය එළවා ගන්නේ කෙසේ දැ යි පැහැදිලි කැරැ දිය යුතු ය.

අයං සති උපට්ඨිතා හොති සූපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති.

- විභඞ්‍ගප්පකරණ

මේ සිහිය නැහැයෙහි කෙළවරැ හෝ උඩු තොලෙහි මැද පෙදෙසැ හෝ එළවා තැබූයේ මනා කොට එළවා තැබුවා වෙයි. එහෙයින් “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා“ යි කියයි. “මුඛසමීපෙ වා කත්‍වාති අත්‍ථො” යී අටුවාවෙහි විවරණ කැරැ තිබෙන හෙයින් යටැ කී දෙ පදයෙන් ම ප්‍රකාශ වන්නේ මුව සමීපයෙහි සිහිය එළවා ගත යුතු යනුයි.

ආශ්වාස ප්‍රශ්වාස කරන විට එම වාතය සමහරුන්ගේ නැහැයෙහි කෙළවරැ හැපෙයි, සමහරුන්ගේ උඩු තොලෙහි මැද පියෙසැ හැපෙයි. තමාගේ ආශ්වාස ප්‍රශ්වාස වාතය හැපෙන තැන පළමු වැ දැනැ එහි සිහිය එළවා ගත යුතු ය.

කායානුපස්සනාව වඩන කෙනෙකුට කයෙහි කවර තැනක් හෝ අරමුණු කැරැ ගත හැකි යයි සමහරු සිතති, කියති. කායෙ කායානුපස්සී විහරති යන්න පමණක් ප්‍රකාශ කොට දේශනාව අවසන් කළා නම් කයෙහි තමන් කැමැති කවර තැනක් හෝ අරමුණු කැරැ ගෙනැ භාවනා කරන්නට ඉඩ තිබුණි. බුදුරජාණන් වහන්සේ මැ කායානුපස්සනාව තුදුස් ක්‍රමයෙකින් විස්තර කොට තිබෙන නිසා එයින් එක් ක්‍රමයක් තෝරා ගෙනැ කායානුපස්සනා  භාවනා කළ යුතු ය. යම් කිසිවකු කැමති නම් පාදයෙහි සුළැඟිල්ලෙහි හෝ අරමුණු කැරැගෙනැ කායානුපස්සනාව වැඩිය හැකි ය. එහෙත් එය බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමයක් නො වෙනුවා ඇත. එමෙන් ම කායානුපස්සනාවට ඇතුළත් ආනාපානසතිය පිළිබඳ වැ ද, “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” යන්න පමණක් ප්‍රකාශ කළා නම් තමන් කැමැති තැනෙකැ සිහිය එළවා ගෙනැ භාවනා කළ හැකි වෙයි. බුදුරජාණන් වහන්සේ මැ එය අන් තැනෙක දී හෝ “නාසිකග්ගෙ වා මුඛ නිමිත්තෙ වා” යි විවරණය කළ හෙයින් ආනාපානසතිය වඩන්නහු විසින් මුව සමීපයෙහි මැ සිහිය එළවා ගත යුතු ය. යම් කිසිවකුට පහසු නිසා හෝ ලෙහෙසියෙන් වැටහෙන නිසා හෝ අන් තැනෙකැ සිහිය එළවා ගෙනැ ආනාපානසතිය වැඩීමට බාධාවක් නැත. එහෙත් එය බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමයක් නොවෙනුවා ඇත.

පළමු අවස්ථාව

මේ භාවනාව ක්‍රමයෙන් උසස් වී යන ලෙසින් සොළොස් (16) ආකාරයකට ප්‍රකාශ වී ඇත්තේ ය. එයින් මෙහි සඳහන් කැරෙන්නේ ගිහිගෙදර දී වුව ද වැඩිය හැකි මුල් ආකාර හෙවත් අවස්ථා සතර පමණ ය.

මේ අවස්ථා සතරින් පළමු වැන්න හා දෙවැන්න පොත්හි සඳහන් වන ක්‍රමයට වඩා මඳක් වෙනස් වී ඇත. ආධුනිකයන්ගේ පහසුව සඳහා කළ ඒ වෙනසෙහි අවස්ථා භේදය විනා භාවනා ක්‍රමයෙහි වෙනසක් නැත.

මෙහි සඳහන් වන පළමු, දෙ වැනි ආදී අවස්ථා භාවනාව දියුණු වීමෙන් ඉබේ පැමිණෙන තත්ත්වයක් විනා උවමනාවෙන් පමුණුවන තත්ත්වයක් නොවෙයි. ඉගෙන ගන්නා විෂයක් නම් මුල් සතියට පාඩම් මෙපමණ යැ, දෙ වැනි සතියට මෙපමණ යැ, තෙ වැනි සතියට මෙපමණ යැ, සිවු වැනි සතියේ පාඩම් පෙළෙන් අවසන් වේ යැ යි පාඩම් මාලාවක් ලෙස සකස් කළ හැකි ය. එලෙසින් ඉගැන්වීමත් ඉගෙනීමත් කළ හැකි වෙයි. එහෙත් භාවනාව එසේ නො කළ හැකි ය. මේ සතියේ මෙපමණ දුරට භාවනා කළ යුතු ය. මෙපමණ ප්‍රතිඵල ලැබිය යුතු ය. මෙපමණ කලෙකින් භාවනාව අවසන් කළ යුතු ය ආදී වශයෙන් නියමයක් නො කළ හැකි වෙයි. ඒ ඒ තැනැත්තා විසින් පුරන ලද පාරමී ධර්‍මයන්ගේ ද ඥානයේ හා උත්සාහයේ ද ප්‍රමාණයට මැ භාවනාවේ දියුණුව ඇති වෙයි. එහෙයින් මෙහි සඳහන් අවස්ථා භාවනාව ක්‍රමයෙන් දියුණු වී ඉබේ පැමිණෙන අවස්ථාවෝ ය. එයට කාලයක් නියම කළ නො හැකි වෙයි. පළමු අවස්ථාව ඉක්මවා දෙ වැනි අවස්ථාවට පැමිණීම සමහරුනට පැය ගණනෙකින් හෝ කරන්නට පිළිවන් වෙනුවා ඇත. එසේ මැ සමහරුනට අවුරුදු ගණන් ගතවන්නටත් පිළිවන.

සතොව අස්සසති සතො පස්සසති – සිහියෙන් මැ ආශ්වාස කෙරෙයි, සිහියෙන් ප්‍රශ්වාස කෙරෙයි. පළමු වැ ආශ්වාස ප්‍රශ්වාස කරන විට වාතය ස්පර්‍ශ වන තැන දැනැගෙනැ එහි සිහිය එළවා තැබිය යුතු ය. එතැන් පටන් හුස්ම නැහැයේ කෙළවරැ හෝ උඩුතොලේ මැද පියෙසැ හෝ හැපී ඇතුළු වන විට “හුස්ම ඇතුළු වේ” යි සිහිය පිහිටුවා ගත යුතු ය. හුස්ම පිටවන විට “හුස්ම පිට වේ” යි සිහිය පිහිටුවා ගත යුතු ය.

සමහර අර්‍ථකථාචාර්‍යවරු මෙය පහසුවෙන් කිරීම සඳහා යයි ගණන් ක්‍රමයක් ද ප්‍රකාශ කොට තිබේ. එකයි සිතමින් හෝ කියමින් හෝ හුස්ම ඇතුළට ගැනීම, දෙකයි සිතමින් හෝ කියමින් හෝ හුස්ම පිට කිරීම, මෙලෙසින් දහය දක්වා ගණන් කල යුතු ය. දහයෙන් ඉහළ ගණන් තරමක් ආකුල හෙයින් ඉන් ඉහළට ගණන් කරන්නට ගියොත් සිහිය ඒ සඳහා යෙදිය යුතු බැවින් දහයෙන් නවත්වා නැවැත එකේ සිට යා යුතු ය. මෙය බුදුරජාණන් වහන්සේගේ නියමයක් නොවන බැවින් අවශ්‍ය මැ නැත. එහෙත් සමෙකුට සිත එකඟ කර ගැනීමට එය පහසු නම් එසේ කිරීම ද වරදක් නො වේ.

මේ භාවනාව වඩන සමහරු විශේෂ උවමනාවෙකින් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙති. එය නො මැනවි. එසේ කිරීමෙන් කයට පීඩාවක් ලැබෙනවා පමණක් නො වැ හෘදයවස්තුව ද දුර්‍වල විය හැකි ය. එසේ ම එයින් ආශ්වාස ප්‍රශ්වාස වාර වැඩි වීමෙන් අම්ලකර වායුව ද වැඩිවෙයි. එයින් නොයෙක් කායික පීඩා හා වේදනා ද ඇතිවෙයි. සමහර විට වරින් වරැ ක්‍ෂණික මූර්ජාවීම් ද ඇතිවිය හැකි ය. නොයෙක් දේ පෙනෙන්නට ද පිළිවන. සමහරවිට ඉබේ මැ වශී වී කිසිවක් නොදන්නෙකු මෙන් ද සිටින්නට පිළිවන. ඒ නිසා විශේෂ උවමනාවෙකින් එක වරකුදු ආශ්වාස ප්‍රශවාස කිරීම අනර්‍ථකර ය. සතොව අස්සසති සතො පස්සසති යි වදාළ පරිදි ස්වහාවයෙන් හුස්ම ඇතුළු වන පිටවන විට හුස්ම ඇතුළු වෙයි. හුස්ම පිටවෙයි යන සිහියෙන් යුක්ත වීම මැ ප්‍රමාණවත් වේ.

මේ ආශ්වාස ප්‍රශ්වාසයන් ගණන් කෙරෙමින් හෝ නැති වැ හෝ කරන විට සිතේ ඇති නොසංසුන් කම නිසා බොහෝ ආශ්වාස ප්‍රශ්වාසයන් ගණන් ගත නො හැකි වෙනුවා ඇත. එයින් පසුබට නොවී නැවැත නැවැතත් පුරුදු කිරීමෙන් දියුණුවක් ලබාගත හැකි ය. යමකුට එක ආශ්වාස ප්‍රශ්වාස වාරයක් වත් සිහියෙන් තොර වැ නොපවත්නා ලෙස හෙවත් හැම ආශ්වාස ප්‍රශ්වාසයක් මැ සිහියෙන් යුතු වැ පවත්වා ගෙන මිනිත්තු දහයක් වත් මේ භාවනාව වැඩිය හැකි වුවහොත් එය උසස් දියුණුවෙකි. එසේ බොහෝ වේලාවක් භාවනා කළ හැකි වන පරිදි එය දියුණු කැරැ ගත යුතු ය. එලෙසින් සිහියේ පුහුණුවක් නැති වැ මෙහි දෙවැනි අවස්ථාවට යෑමෙන් නියම ප්‍රයෝජනයක් නො ලැබෙයි.

දෙ වැනි අවස්ථාව

දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති  පජානාති රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති – දීර්‍ඝ වැ ආශ්වාස කරනුයේ දීර්‍ඝ වැ ආශ්වාස කෙරෙමි යි දනී, දීර්‍ඝ වැ ප්‍රශ්වාස කරනුයේ දීර්‍ඝ වැ ප්‍රශ්වාස කෙරෙමි යි දනී, හ්‍රස්ව වැ ආශ්වාස කරනුයේ හ්‍රස්ව වැ ආශ්වාස කෙරෙමි යි දනී, හ්‍රස්ව වැ ප්‍රශ්වාස කරනුයේ හ්‍රස්ව වැ ප්‍රශ්වාස කෙරෙමි යි දනී.

සෑම දෙනාගේ මැ ඇතැම් ආශ්වාස ප්‍රශ්වාස දිග යැ, ඇතැම් ආශ්වාස ප්‍රශ්වාස කොට යැ. මෙසේ දිග කොට දෙකින් මිශ්‍ර වැ පවතී. පළමු අවස්ථාවෙහි සඳහන් වූ පරිදි ආනාපාන සතිය වඩා ප්‍රගුණ වූ විට මේ දෙවැනි අවස්ථාවට ඉබේ මැ පැමිණෙයි. එනම් බොහෝ කාලයක් සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් සිත සංසුන් නිසාත් එක් මැ අරමුණ ගෙනැ සිටීමට සිහිය පුරුදු වැ සිටීම නිසාත් ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ දිග කොට භේදය දැනෙන්නට පටන් ගනී.

මේ භාවනාව වඩන යෝගාවචරයා හුස්ම දීර්‍ඝ වැ ඇතුළු වන විට එය දිග බව දැනැ ගනී, හුස්ම දීර්‍ඝ වැ පිට වන විට එය ද දිග බව දැනැ ගනී, හුස්ම හ්‍රස්ව වැ ඇතුළු වන විට එය ද කොට බව දැනැ ගනී, හුස්ම හ්‍රස්ව වැ පිට වන විට එය ද කොට බව දැනැ ගනී. පෙරැ මෙන් මැ මේ සඳහා එක වරකුදු උවමනාවෙන් හුස්ම ඇතුළු කිරීම හෝ පිට කිරීම හෝ නොකළ යුතු ය. මෙය පළමු අවස්ථාවට වඩා දියුණු තත්ත්වයෙකි. එහෙයින් මේ තත්ත්වයට පැමිණි යෝගාවචරයා ඉතා ප්‍රීති විය යුතු ය. තව තවත් උනන්දු විය යුතු ය. මෙසේ දිග කොට වෙනස දනිමින් භාවනා කිරීම හොඳට මැ දියුණුකළ යුතු ය. මතු සඳහන් වන තුන් වැනි අවස්ථාවට නිරායාශයෙන් මැ පැමිණෙන තුරු මෙලෙසින් භාවනා කළ යුතු ය.

තෙ වැනි අවස්ථාව

සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති – සියලු ආශ්වාස කය පැහැදිලි වැ දන්නා සුලුවූයේ ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. සියලු ප්‍රශ්වාස කය පැහැදිලි වැ දන්නා සුලුවූයේ ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.

ආශ්වාසකායයාගේ මුල නාසිකාග්‍රය යි, මැද හෘදය යි, අග නාහිය යි. ප්‍රශ්වාසකායයාගේ මුල නාභිය යි, මැද හෘදය යි, අග නාසිකාග්‍රය යි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයන් ගේ මුල මැද අග දනිමින් භාවනා කිරීමක් ද පෙරැ පැවැති බව පුරාණ සන්නවලින් පෙනෙයි. එහෙත් බුදුරජාණන් වහන්සේ එලෙසින් දේශනා කොට නැත. එසේ මැ ශරීර විද්‍යාව පිළිබඳ වර්‍තමාන විද්‍යාඥයෝ ද ආශ්වාසයන් නාභිය තෙක් යෑමට මාර්‍ගයක් නැති බවත් ආශ්වාස ප්‍රශ්වාස කරන අවස්ථාවෙහි නාභි ප්‍රදේශයෙහි ක්‍රියාකාරිත්වයක් දැනෙතොත් එය මාංසපේශීන්ගේ ක්‍රියාකාරී මාත්‍රයක් බවත් ප්‍රකාශ කෙරෙති.

විශුද්ධිමාර්‍ගය පාළියට පරිවර්‍තනය කරන කාලයෙහි ද යටැ කී ක්‍රමය තුබුණේ වී නමුදු එය සිත කැලැඹීමට හේතු වන හෙයින් නුසුදුසු යයි බුද්ධඝෝෂාචාර්‍ය පාදයන් වහන්සේ විසින් බැහැර කරන ලදී. එය නුසුදුසු බව පැහැදිලි කිරීමට දෝවාරිකෝපමාදි උපමා කීපයක් දක්වා ඇත. දොරටුපාලයාගේ ක්‍රියාව දොර ළඟ සිට ඇතුළට යන්නවුන් හා පිටත යන්නවුන් ද දැනැ ගැනීම විනා ඇතුළට හා පිටතට ද ගියවුන් සොයා බැලීම නො වෙයි. එමෙන් මැ මේ භාවනාව කරන යෝගාවචරයා විසින් ද කළ යුත්තේ මුව සමීපයෙහි සිහිය රඳවා ස්පර්‍ශස්ථානයෙහි දී මැ සම්පූර්‍ණ ආශ්වාස ප්‍රශ්වාස කායයන් දැනැ ගැනීම විනා ඇතුළට හා පිටතට ද ගිය ආශ්වාස ප්‍රශ්වාසයන් සොයා බැලීම නො වේ.

එහෙයින් සබ්බකාය පටිසංවෙදී නම් ආශ්වාස ප්‍රශ්වාසයන් ස්පර්‍ශ වන තැනැ දී මැ මුල මැද අග වශයෙන් දැනැ ගැනීම යි. ආශ්වාස කරන විට නාසිකාග්‍රයෙහි හෝ උඩුතොලෙහි හෝ ස්පර්‍ශාරම්භය මුල හැටියටත් ස්පර්‍ශාවසානය අග හැටියටත් මෙදෑතුර මැද හැටියටත් ගැනීම යි. ප්‍රශ්වාස කරන විටත් එසේ මැ ය.

අස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්‍ඡතො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තංපි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච.

- පටිසම්භිදාමග්ග

ආශ්වාසයාගේ මුල මැද අග සිහියෙන් අනුවැ යන්නහුගේ ඇතුළත විකේෂප වූ සිත කරණ කොට ගෙනැ කය ද සිත ද දැඩි වෙයි. කම්පා ද වෙයි. සැලෙයි.

“නාහං භික්ඛවෙ මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානාසති භාවනං වදාමි - මහනෙනි, මම නුවණ නැති මුළා වූ සිහිය ඇත්තහුට ආනාපානසතිය නො වදාරමි” යි බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපානසතියෙහි දියුණු අවස්ථා සලකා ගෙනැ යි. මුල් අවස්ථා දෙකෙහි නුවණ එතරම් නො යෙදුව ද සිහිය වැඩීම් මාත්‍රයෙන් එය පුහුණු කළ හැකි ය. එහෙත් තෙ වැනි අවස්ථාවෙහි සිට ඉහළට මේ භාවනාව කිරීම සඳහා නුවණ ද ඉතා අවශ්‍ය යැ.

යම් යෝගාවචරයකුට ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ මුල මැද අග යන තුන් තැන ම පැහැදිලි ව දනිමින් දීර්‍ඝ කාලයක් භාවනා කළ හැකි වුවොත් එය ඉතා උසස් දියුණුවෙකි. ඒ කාලය තුළ යෝගාවචරයාගේ හිත මොහොතකට හෝ අරමුණෙන් බැහැර නොයන තරම් විය හැකි ය. ධ්‍යානයක් ලබන තරමට ආසන්න යයි කිව යුතු ය. ඒ නිසා එබන්දහු විසින් තවතවත් උනන්දුවෙන් භාවනා කළ යුතු ය.

සතර වැනි අවස්ථාව

පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති – ආශ්වාස යයි කියන ලද කායසංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. ප්‍රශ්වාස යයි කියන ලද කායසංස්කාරය සංසිඳවමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.

පෘථග්ජනයන්ගේ සිත අශාන්ත යැ, ඖදාරික යැ. ඒ නිසා කය ද අශාන්ත යැ, ඖදාරික යැ. එවිට ආශ්වාස ප්‍රශ්වාසයෝ ද ඖදාරික වෙති. නාස්පුඩුව ප්‍රමාණවත් නොවීමෙන් කට ද උපකාර කැරැ ගත යුතු වෙයි. තදින් වෙහෙසට පත් වූ අවස්ථාවක් ගැන සිතූ විට එය වටහා ගත හැකි ය. ඒ වෙහෙස සංසිඳී ගිය කලැ කය ද ශාන්ත වෙයි. සිත ද ශාන්ත වෙයි. එසඳැ ආශ්වාස ප්‍රශ්වාස ද සියුම් බවට හැරෙයි. මෙය කයෙහි වෙහෙස සංසිඳීම් මාත්‍රයෙකින් වන සංසුන් බවෙකි. සිත යහපත් අරමුණෙකැ යෙදීමෙන් ඇතිවන සංසුන් බව ඉතා විශිෂ්ට ය.

කථං පස්සම්භයං කායසඞ්‍ඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති, යථාරූපෙහි කායසඞ්ඛාරෙහි කායස්ස ආනමනා විනමනා සන්තමනා පනමනා ඉඤ්ජනා ඵන්දනා චලනා කම්පනා පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති, යථාරූපෙහි කායසඞ්ඛාරෙහි කායස්ස න ආනමනා න විනමනා න සන්තමනා න පනමනා අනිඤ්ජනා අඵන්දනා අචලන්තා අකම්පනා සන්තං සුඛුමං පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛති.

-පටිසම්භිදාමග්ග

කායසංස්කාරයන් සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාසයන් කෙරෙමින් හික්මේ යනු කෙසේ වේ ද යත්, යම් කායසංස්කාරයෙකින් ශරීරය ඉදිරියට නැමීම් පස්සට නැමීම් දෙ පසට නැමීම් සැලීම් ආදී ක්‍රියා කොර් ද ඒ කාය සංස්කාරයෝ ඖදාරිකයහ. ඒ ඖදාරික කායසංස්කාරයන් සංසිඳුවම්න් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. යම් කායසංස්කාරයෙකින් ශරීරය ඉදිරියට නැමීම් පස්සට නැමීම් දෙ පසට නැමීම් සැලීම් ආදී ක්‍රියා නො කෙරේ ද ඒ කාය සංස්කාරයෝ ශාන්තයහ, සුඛුමයහ. ඒ සියුම් කායසංස්කාරයන් සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.

මේ ඉතා සැලැකිල්ලෙන් තේරුම් ගත යුතු කොටසෙකි. 1958 වැන්නෙහි ජුලි මස 10 වැනිදා ගමනක් ගොසින් එන ගමන් කළුතර බෝධීන් වහන්සේ ළඟ වාහනය නවත්වා බුදුන් වැඳීමට ගියෙමි. එහි කෙනකු භාවනා කරන විලාසයෙන් හිඳැ ගෙනැ සිටිනු දිටිමි. තවත් පිරිසක් පිටු පසින් වාඩි වී බලා සිටිනු ද දිටිමි. මඳ වේලාවකින් භාවනා කෙරෙමින් යයි වාඩි වී සිටි තැනැත්තා වෙවුලන්නට පටන් ගති. දෙපසට වැනෙන්නට පටන් ගති. හිස තදින් මැ වැනෙන්නට ද විය. ඔහුගේ භාවනාව ක්‍රමයෙන් දියුණු වෙමින් ඒ යයි පුදුමයෙන් බලා සිටියවුන්ගෙන් කීප දෙනෙක් පැමිණ මේ කෙබඳු භාවනාවක් දැ යි ඇසූහ. ඔහුගේ භාවනාව කුමක් දැයි කිව නො හැකි බවත් බුද්ධධර්‍මයෙහි නම් ඔබඳු විකාර භාවනා නැති බවත් කියා පිටත් වැ ආවෙමි.

තව ද, මේ භාවනාව කරන සමහරු වෙවුලන්නේ නැමෙන්නේ කැරකෙන්නේ දඟලන්නේ භාවනාව දියුණු වූ විට දැයි යම් යම් දෙනා අසති.

මේ භාවනාව ක්‍රමයෙන් දියුණු වන විට හුස්ම ඉතා සංසුන් වෙයි. ආශ්වාස ප්‍රශ්වාස ඇද්දෝ නැද්දෝ යන තරමට මැ සංසුන් වෙයි. මෙසේ දියුණු වෙත් මැ කයෙහි සැලීම් මාත්‍රයකුදු නැති වේ.

දිනක් මහාකප්පින මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි නිසල වැ වැඩ සිටියහ. එසඳැ බුදුරජාණෝ “මහණෙනි, මහාකප්පින භික්‍ෂුවගේ කයෙහි සැලීමක් හෝ ස්ඵන්දනයක් හෝ පෙනේදැ” යි ඇසූහ. “ස්වාමීනි, නො පෙනේ” යි භික්‍ෂූහු කීහ. එවිට බුදුරජාණෝ “ආනාපාන සතිසමාධිස්ස භික්ඛවෙ භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා” - මහනෙනි, ආනාපානසතිසමාධිය වැඩූ බැවින් බහුල කොට වැඩූ බැවින් කායයාගේ ද චිත්තයාගේ ද සැලීමක් හෝ ස්ඵන්දනයක් හෝ නො වේ යි වදාළහ. අනතුරු වැ ආනාපානසතිය දියුණු කොට වඩන සැටි ද ප්‍රකාශ කළහ.

සමහර යෝගීහු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳවීම් හුදෙක් හුස්ම නවතා සිටීම් ආදී ක්‍රමවලින් කෙරෙති. එය ඉතා ඖදාරික ය. ගොරෝසු ය. ආරම්භයෙහි දී කයට ද පීඩාකර ය. සමහර විට නිරෝගභාවය නැතිවීමට ද හේතු වෙයි. මෙය බාහිරකයන්ගේ යෝග කුම‍යෙකි. බුද්ධ ධර්‍මයෙහි ආශ්වාස ප්‍රශ්වාසයන් සංසුන් කිරීම ඉතා මැ ක්‍රමවත් ය. සිත සංසුන් කිරීමෙන් ඇතිවන්නක් නිසා කයටත් කිසිදු පීඩාවක් නො ලැබෙයි.

සමාධි නිමිති

තමා කරන භාවනාව දියුණු වත් මැ උග්ග්‍රහ නිමිති ප්‍රතිභාග නිමිති පහළ වන්නේ ය. ඒ ඒ භාවනාවට අයිති නිමිති එකිනෙකට වෙනස් වෙයි. ආනාපාන සති භාවනාවෙහි නිමිති ද සැම දෙනාට මැ එක සමාන වැ පහළ නො වෙයි. සංඥා නානත්වය නිසා නානා විධ වැ වැටහෙයි. ආනාපාන සතිය වඩන්නහු විසින් පහළවන නිමිති සඳහන් කැරැ තිබෙන්නේ මෙසේ ය: කිසිවකුට සුවපහස් උපදවමින් හිඹුල් පුළුන් පෙඳ සේ ද, කපු පුළුන් පෙඳ සේ ද, වාත ධාරා සේ ද වැටහේ යනු සමහර ආචාර්‍යවරයන්ගේ මත ය. අටුවාවෙහි ආ විනිශ්චය මෙසේ ය: කිසිවෙකුට මේ නිමිති තරු රූ සේ ද, මිණිගුලි සේ ද, මුතුගුලි සේ ද වැටහෙයි. කිසිවකුට රළු පහසේ ඇති වැ කපු ඇට සේද, දඬුහර හිඳි සේ ද වැටහෙයි. කිසිවකුට දික් හවඩි හූ සේ ද, මල්දම් සේ ද, දුම්සිළු සේ ද වැටහෙයි. කිසිවකුට පළල් මකුළු හූ සේ ද, වලා පහල සේ ද, නෙළුම් මල් සේ ද, රියසක් සේ ද, සඳ මඬුළු සේ ද, හිරු මඬුලු සේ ද වැටහෙයි.

මේ විස්තරයෙන් පැහැදිලි වන්නේ ආනාපානසතිය වඩන්නහුට පහළවන නිමිති සාමාන්‍යයෙන් ගෝලාකාර වැ පුළුන් පෙඳක් – වලා රොදක් – දුම් රොදක් සේ ය යනුයි. සමහරුනට නොයෙක් විකාර රූප පෙනෙන බව ද දැනැ ගන්නට ලැබෙයි. ආනාපාන සතිය වඩන්නකුට විකාර රූපයක් තබා බුද්ධ රූපයක් පෙනුණත් එය භාවනාව වරදවා වැඩීමෙකින් සිදුවූවෙකැයි කිව යුතු ය. බුද්ධානුස්මෘතිය වඩන කෙනෙකුට බුද්ධරූපයක් පෙනුණොත් එය සතුටට කාරණයකි.

ආනාපානසතිය වඩන්නහුට පහළ වන නිමිති දැන ගැනීම පිණිස නිමිති විස්තරය මෙහි සඳහන් කෙළේ වී නමුත් භාවනා කරන්නා විසින් තමා නිමිති ගැන නො සිතිය යුතු ය. කථා නො කළ යුතු ය. නිමිති ගැන නිතර නිතර මැ සිතීම, කථා කිරීම හා ප්‍රශ්න කිරීම නිසා ඔහු තුළ නිමිති ලබා ගැනීමේ අදහස බලපවත්වන්නට වෙයි. එයින් නොයෙක් විකාර දේ පෙනෙන්ට පටන් ගනී. මේ නිමිති දැකීම කොතරම් විකාරයක් විහිළුවක් වී තිබේ දැයි දැක්වීමට එක්තරා සිද්ධියක් සඳහන් කරන්නට සිත් විය.

වර්‍තමාන සමාජයෙහි සෑහෙන තත්ත්වයෙකැ සිටින මහතෙක් තමාට පහළ වූ නිමිති ගැන සඳහන් කෙරෙමින් තමා භාවනා කැරැ ගෙනැ යන විට නිර්‍වාණධාතුවේ දොර ඇරෙන්නාක් මෙන් පෙනුණේ යයි මහත් සතුටින් ප්‍රකාශ කෙළේ ය. එය භාවනාව පිළිබඳ උසස් දියුණුවක් ය යන හැඟීම ඒ මහත්මා තුළ කොතරම් මුල් බැසැ ගෙනැ තිබුණා දැයි කිවහොත් ඒ දර්‍ශනය වූ නිමිත්ත භාවනාව පිළිබඳ සම්පූර්‍ණ නොමඟැ යෑමක් යයි වටහා දෙන්නට ගත් උත්සාහය නිශ්ඵල වී ය.

සමාධි උපක්ලේශයෝ

“කතමෙ අට්ඨාරස උපක්කිලෙසා උප්පජ්ජන්ති” – කෙසේ මේ අට්ඨාරස උපකලේශයෝ උපදිද්ද? යනුවෙන් පටිසම්භිදාමග්ගයෙහි දේශනා කළ සමාධියට බාධක කරුණු අටළොස අතුරෙන් මුල් හය පමණක් මෙහි සඳහන් කරනු ලැබේ.

  1. අස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො අජ්ඣත්තං වික්ඛෙපගතං චිත්තං සමාධිස්ස පරිපත්ථො - අශ්විසයාගේ මුල මැද අග වශයෙන් සිහියෙන් අනුවැ යන්නා වූ පුද්ගලයාගේ ඇතුළත විසිරැ යන්නා වූ සිත සමාධියට බාධකයෙකි.
  2. පස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො බහිද්ධා වික්ඛෙපගතං චිත්තං සමාධිස්ස පරිපත්ථො - ප්‍රශ්වාසයාගේ මුල මැද අග වශයෙන් සිහියෙන් අනුවැ යන්නා වූ පුද්ගලයාගේ පිටත විසිරැ යන්නා වූ සිත සමාධියට බාධකයෙකි.
  3. අස්සාසපටිඞ්ඛනා නිකන්ති තණ්හාචරියා සමාධිස්ස පරිපත්ථො – ආශ්වාසය කැමැති වන ආශාව තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට බාධකයෙකි.
  4. පස්සාසපටිඞ්ඛනා නිකන්ති තණ්හාචරියා සමාධිස්ස පරිපත්ථො – ප්‍රශ්වාසය කැමැති වන ආශාව තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට බාධකයෙකි.
  5. අස්සාසෙනාභිතුන්නස්ස පස්සාසපටිලාභෙ මුචඡනා සමාධිස්ස පරිපත්ථො – ආශ්වාසයෙහි වෙහෙසට පත්වූවහුගේ ප්‍රශ්වාසයෙහි ඇලීම සමාධියට බාධකයෙකි.
  6. පස්සාසෙනාභිතුන්නස්ස අස්සාසපටිලාභෙ මුච්ඡනා සමාධිස්ස පරිපත්ථො – ප්‍රශ්වාසයෙහි වෙහෙසට පත්වූවහුගේ ආශ්වාසයෙහි ඇලීම සමාධියට බාධකයෙකි.

මෙහි ආශ්වාසයාගේ මුල නාසිකාග්‍රය යි, මැද හෘදය යි, අග නාභිය යි, ප්‍රශ්වාසයාගේ මුල නාභිය යි, මැද හෘදය යි, අග නාසිකාග්‍රය යි යනු පුරාණයෙහි පටන් තුබුණු පිළිගැනීමෙකි. ආනාපාන සතිය වඩන්නෝ යටැ කී ලෙස මුල මැද අග දනිමින් භාවනා කළහ. එය බුදුරජාණන් වහන්සේ විසින් බැහැර කරන ලද බව මුල දී ද සඳහන් කැරැ ඇත.

මුල මැද අග වශයෙන් අරමුණු අනුවැ යෑමෙන් සිත වික්‍ෂේප වෙනුවා නම්, සිත එකඟ කිරීමට බාධකයක් වෙනුවා නම් සතර සතිපට්ඨානයන් එකවර වඩනුවා යයි කියමින් නොයෙක් අරමුණු අනු වැ යෑම කොතරම් විකාරයක් ද යනු වටහා ගැනීම අපහසු නො වෙනුවා ඇත.

අරමුණෙන් අරමුණු මාරු කෙරෙමින් භාවනා කිරීමක් බුද්ධාගමයෙහි නූගන්වන බවත් එය සිතෙහි එකඟ බවට බාධකයක් බවත් මැනැවින් පැහැදිලි ය. සමහරු භාවනා කරන විට වෙව්ලීම් – ගැස්සීම් – පැද්දීම් හා දැඟැලීම් ද නොයෙක් විදියේ ශාරීරික වේදනා ඇති වන්නේ ද භාවනාවේ උසස් දියුණුවකින් යයි ඇතැමුන් කියතත් ඒවා බුදුරජාණන් වහන්සේ විසින් බැහැර කරන ලදී. අරමුණෙන් අරමුණ මාරු කිරීම නම් වූ මිථ්‍යා භාවනාවන්ගෙන් ඇති වන්නේ විකාර ප්‍රතිඵල බවත් නුවණැති කවර කෙනකුට වුද සිතා ගත හැකි ය.

විදර්‍ශනාවට හැරවීම

ආනාපාන සතිය ඒ ඒ අවස්ථා වශයෙන් වඩන අයුරු පැහැදිලි කැරැ දී ඇත. එලෙසින් භාවනා කළ යෝගාවචරයා ගේ සිත සතර වැනි අවස්ථාවෙහි දී අතිශයින් සංසුන් වෙයි. පෙරැ කරන ලද පිනැත්තකු නම් නොවරදවා මැ ධ්‍යාන ලබනුවා ඇත. එසේ සමාහිත වූ යෝගාවචරයා විසින් තමා ගේ භාවනාව විදර්‍ශනාවට හැරැවිය යුතු ය.

“පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස” - මේ ධර්‍මය නුවණැත්තවුනට ය, නුවණ නැත්තවුනට නො වේ” යි බුදුරජාණන් වහන්සේ කළ ප්‍රක‍ාශය මේ අවස්ථාව වන විට අතිශයින් මැ පැහැදිලි වෙයි. අනිච්චං දුක්ඛං අනත්තා යි දහස් වරක් කීවත් මේ මේ නිසා අන්ත්‍ය යැ දුක් යැ අනාත්ම යැ යි දහස් වරක් ඉගැන්නුවත් මනා වූ ධර්‍මඥානයක් නැත්තකුට නම් විදර්‍ශනා ඥානයක් ලබා ගැනීම ලෙහෙසි නොවනුවා ඇත. විදර්‍ශනා භාවනා කිරීමට අඩු මැ ගණනේ, පඤ්චස්කන්ධය මේ මේ කාරණයෙන් අනිත්‍ය යැ, මේ මේ කාරණයෙන් දුක් යැ, මේ මේ කාරණයෙන් අනාත්ම යැ යි අවබෝධ කැරැ ගැනීමට තරම් වූ හෝ ධර්‍මඥානයක් තිබිය යුතු ය.

විදර්‍ශනා වැඩීමට අතිශයන් උපකාර වන සප්ත විශුද්ධීන් හා එය තේරුම් කැරැ දීමට දැක්වූ රථවිනීත උපමාව ද සැකෙවින් හෝ දැනැ ගැනීම ඉතා අවශ්‍ය ය. කොසොල් රජතුමා ඉතා ඉක්මන් කටයුත්තක් සඳහා සැවැත්පුර සිට සාකේත නගරයට යන්නට උවමනා කරයි. එක මැ රියෙකින් යන්නට ගියොත් අශ්වයනට ඇතිවන වෙහෙසින් ගමන ප්‍රමාද වෙයි. එහෙයින් ගමන කොටස් සතකට බෙදා අශ්වරථ සතක් පිළියෙළ කරයි. එයින් ගමන් කරන පිළිවෙළ රථවිනීත සූත්‍රයෙහි සඳහන් කැරැ තිබෙන්නේ මෙසේ ය:

සෙය්‍යථාපි ආවුසො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සාවත්ථියං පටිවසන්තස්ස සාකෙතෙ කිඤ්චිදෙව අච්චායිකං කරණීයං උප්පජ්ජෙය්‍ය, තස්ස අන්තරා ච සාවත්ථියං අන්තරා ච සාකෙතං සත්ත රථවිනීතානි උපට්ඨපෙය්‍යුං, අථ ඛො ආවුසො රාජා පසෙනදී කොසලො සාවත්ථියා නික්ඛමිත්වා අන්තෙපුරද්වාරා පඨමං රථවිනීතං අභිරුහෙය්‍ය, පඨමෙන රථවිනීතෙන දුතියං රථවිනීතං පාපුණෙය්‍ය, පඨමං රථවීනීතං විස්සජ්ජෙය්‍ය, දුතියං රථවිනීතං අභිරුහෙය්‍ය. දුතියෙන රථවිනීතෙන තතියං රථවිනීතං පාපුණෙය්‍ය, දුතියං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, තතියං රථවිනීතං අභිරුහෙය්‍ය, තතියෙන රථවිනීතෙන චතුත්ථං රථවිනීතං පාපුණෙය්‍ය, තතියං රථවිනීතං විස්සජ්ජෙය්‍ය. චතුත්ථං රථවානීතං අභිරුහෙය්‍ය, චතුත්ථෙන රථවිනීථෙන පඤ්චමං රථවිනීතං පාපුණෙය්‍ය, චතුත්ථං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, පඤ්චමං රථවිනීතං අභිරුහෙය්‍ය, පඤ්චමෙන රථවිනීතෙන ඡට්ඨං රථවිනීතං පාපුණෙය්‍ය, පඤ්චමං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, ඡට්ඨං රථවිනීතං අභිරුහෙය්‍ය, ඡට්ඨෙන රථවිනීතෙන සත්තමං රථවිනීතං පාපුණෙය්‍ය, ඡට්ඨං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, සත්තමං රථවිනීතං අභිරුහෙය්‍ය, සත්තමෙන රථවිනීතෙන සාකෙතං අනුපාපුණෙය්‍ය.

ඇවැත්නි, යම් සේ සැවැත්පුරැ වෙසෙන පසේනදි කොසොල් මහරජ හට සාකේත නගරයෙහි යම් කිසි ඉක්මන් කටයුත්තෙක් උපදනේ ද ඔහුට සැවැත්පුර අතරත් සාකේතය අතරත් විනීත අශ්වයන් යෙදූ රිය සතක් පිළියෙළ කොට තබන්නහු ද, ඇවැත්නි එකල්හි කොසොල් රජ තෙමේ සැවැත්පුරෙන් නික්ම ඇතුළුපුර දොරින් පළමු රියට නැ‍‍‍ඟෙයි, පළමු රියෙන් දෙ වැනි රිය වෙතට පැමිණෙයි, පළමු රිය අත්හරියි, දෙ වැනි රියට නැ‍ඟෙයි, දෙ වැනි රියෙන් තෙ වැනි රිය වෙතට පැමිණෙයි, දෙ වැනි රිය අත්හරියි, තෙ වැනි රියට නැ‍ඟෙයි, තෙ වැනි රියෙන් සිවුවැනි රිය වෙතට පැමිණෙයි, තෙවැනි රිය අත්හරියි, සිවු වැනි රියට නැ‍ඟෙයි, සිවු වැනි රියෙන් පස් වැනි රිය වෙතට පැමිණෙයි, සිවු වැනි රිය අත්හරියි, පස් වැනි රියට නැ‍ඟෙයි, පස් වැනි රියෙන් සවැනි රිය වෙතට පැමිණෙයි, පස් වැනි රිය අත් හරියි, සවැනි රියට නැ‍ඟෙයි, සවැනි රියෙන් සත්වැනි රිය වෙතට පැමිණෙයි, ස වැනි රිය අත්හරියි, සත් වැනි රියට නැ‍ඟෙයි, සත් වැනි රියෙන් සාකේතයට පැමිණෙයි.

මෙසේ උපමාව දක්වා අනතුරු වැ උපමේයය දක්වා තිබෙන්නේ මෙලෙසිනි.

එවමෙව ඛො ආවුසො සීලවිසුද්ධි යාවදෙව චිත්ත විසුද්ධත්ථා. චිත්තවිසුද්ධි යාවදෙව දිට්ඨිවිසුද්ධත්ථා, දිට්ඨි විසුද්ධි යාවදෙව කඞ්ඛාවිතරණ විසුද්ධත්ථා. කඞඛාවිතරණ විසුද්ධි යාවදෙව මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධත්ථා,  මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි යාවදෙව පටිපදාඤාණ දස්සනවිසුද්ධත්ථා. පටිපදාඤාණදස්සන විසුද්ධි යාවදෙව ඤාණදස්සනවිසුද්ධත්ථා, ඤාණදස්සනවිසුද්ධි යාවදෙව අනුපාදා පරිනිබ්බාණත්ථා.

ඇවැත්නි, එපරිද්දෙන් මැ සීලවිසුද්ධිය චිත්තවිසුද්ධි නම් වූ ප්‍රයෝජනය දක්වා වෙයි. චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය නම් වූ ප්‍රයෝජනය දක්වා වෙයි. දිට්ඨිවිසුද්ධිය කංඛාවිතරණ විසුද්ධිය නම් වූ ප්‍රයෝජනය දක්වා වෙයි. කංඛාවිතරණ විසුද්ධිය මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි නම් වූ ප්‍රයෝජනට වෙයි. මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය පටිපදාඤාණදස්සනවිසුද්ධි නම් වූ ප්‍රයෝජනය දක්වා වෙයි. පටිපදාඤාණදස්සනවිසුද්ධිය ඤාණදස්සනවිසුද්ධි නම් වූ ප්‍රයෝජනය දක්වා වෙයි, ඤාණදස්සනවිසුද්ධිය අනුපාදාපරිනිබ්බාණ නම් වූ ප්‍රයෝජනය දක්වා වේ.

මේ උපමාවෙනුත් උපමේයයෙනුත් පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් මේ සප්ත විශුද්ධීන් පිළිවෙළින් වඩනුවා විනා, එහෙන් මෙහෙන් නො වැඩිය හැකි බවයි. පළමු රථයෙන් දෙ වැනි රථය තෙක් යයි. පළමු රථය අත්හරියි, දෙ වැනි රථයට නැ‍‍‍ඟෙයි. දෙවැනි රථයෙන් තුන් වැනි රථය තෙක් යයි යන උපමාවෙන් පළමු රථයෙන් යා යුතු කොටස පළමු රථයෙන් මැ නො ගොස් දෙවැනි රථයට නො නැඟිය හැකි බවත් දෙ වැනි රථයෙන් යා යුතු කොටස දෙ වැනි රථයෙන් මැ නො ගොස් තෙ වැනි රථයට නො නැඟිය හැකි බවත් ඉතිරි කොටස් ද එසේ මැ බවත් මැනැවින් මැ පැහැදිලි වෙයි. එසේ මැ සීලවිසුද්ධිය නැති වැ චිත්තවිසුද්ධියට නො පැමිණිය හැකි බවත්, චිත්තවිසුද්ධිය නැති වැ දිට්ඨි විසුද්ධියට නො පැමිණිය හැකි බවත් ඉතිරි විසුද්ධීන් පිළිබඳ වැ ද එසේ මැ බවත් ඉතා හොඳින් මැ වැටහෙනුවා ඇත. මීළඟට කැරෙනුයේ සප්ත විශුද්ධීන් පිළිබඳ කෙටි හැඳින්වීමකි.

සීල විසුද්ධිය

සීලවිසුද්ධි නාම සුපරිසුද්ධං පාතිමොක්ඛසංවරාදී චතුබ්බිධං සීලං” – සුපිරිසිදු ප්‍රාතිමෝක්‍ෂසංවරාදී සිවු වැදෑරුම් ශීලය ශීලවිශුද්ධි නම් වේ.

  1. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය – ශික්‍ෂාපද ශීලය යි.
  2. ඉන්ද්‍රිය සංවර ශීලය – ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් ගේ මාර්‍ගයෙන් තමාගේ චිත්තසන්තානයෙහි රාගාදී ක්ලේශයන් පහළ වන්නට ඉඩ නො දී ඉන්ද්‍රියයන් සංවර කැරැ ගන්නා ශීලය යි.
  3. ආජීව පාරිශුද්ධි ශීලය - ධාර්මිකාජීවය සඳහා පනවන ලද ශික්‍ෂාපදයන් නො ඉක්මවමින් ඉතා පිරිසිදු වැ ජීවත් වීමෙන් ඇතිවන සංවරය – හීලෑකම – තැන්පත් කම නම් වූ ශීලය ය.
  4. ප්‍රත්‍යයසන්නිඃශ්‍රිත ශීලය - සිවුපස පරිභෝග කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය නිසි ලෙස සිතා නිසි ලෙස යොදා ආහාර පානාදිය ගැනීමෙන් ඇතිවන සංවරය යි.

ශීල විශුද්ධිය සම්පූර්‍ණ වීමට චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් විය යුතු බව මෙයින් පැහැදිලි වෙයි. ගිහි අය වුව ද පඤ්ච ශීලයට වඩා උසස් ශීලයෙකින් හා ආජීවයෙකින් යුක්තවිය යුතු ය. භාවනානට බලවත් කැමැත්තක් ඇති ගිහියනට වුව ද එක්තරා ප්‍රමාණයෙකින් හෝ චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත්වීම අපහසු නොවනුවා ඇත. අන්තිම ජාතියෙහි වූ කෙනකු හැරැ පඤ්චශීල මාත්‍රයකුදු නැති සාමාන්‍ය අය භාවනාවට කියා ගොස් උසස් ප්‍රතිඵල ලබනුවා යයි කීම නුවණැතියන්ගේ පුදුමයට හේතුවක් වී තිබෙන්නේ මේ නිසා ය. ශීලවිශුද්ධියක් නැත්තකුට චිත්ත විශුද්ධියක් නො ලැබිය හැකි බව රථවිනීත උපමාවෙන් පැහැදිලි ය.

‍චිත්ත විශුද්ධිය

“චිත්තවිසුද්ධි නාම සඋපචාරා අට්ඨසමාපත්තියො” - උපචාර සහිත අට්ඨසමාපත්තීහු චිත්තවිශුද්ධි නම් වෙති.

උපචාර සමාධි යැ, අර්‍පණා සමාධි යැයි සමාධීහු දෙ වැදෑරුම් වෙති. උපචාර සමාධිය නම් අර්‍පණා සමාධියට පෙරැ පහළ වන කාමාවචර සමාධිය යි. අර්‍පණා සමාධිය නම් ප්‍රථම – ද්විතීය – තෘතීය – චතුර්‍ථ යන රූපාවචර ධ්‍යාන සතර හා ආකාසානඤ්චායතන යැ, විඤ්ඤාණඤ්චායතන යැ, ආකිඤ්චඤ්ඤායතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ යන අරූපාවචර ධ්‍යාන සතර දැයි කියැවෙන අෂ්ටසමාපත්තීහු ය.

චිත්ත විශුද්ධිය සම්පූර්‍ණ වීමට අර්‍පණා සමාධියක් තිබිය යුතු ය. යම්තමින් හෝ චිත්ත විශුද්ධියක් ඇති වීමට අඩු මැ ගණනේ උපචාර සමාධියක් වත් තිබිය යුතු ය. උපචාර සමාධි මාත්‍රයක් හෝ ලැබීම එතරම් පහසු ක්‍රියාවක් නො වෙයි. අන්තිම ජාතියෙහි වූ කෙනෙකු හැරැ සාමාන්‍ය අයට නම් චිත්තවිශුද්ධියක් ලබා ගැනීමට ශීලවිශුද්ධියෙහි පිහිටා බොහෝ කාලයක් සමථ භාවනා කළ යුතු වෙයි. රහත් වන්නට පිනැතියවුනට පවා අවුරුදු ගණන් ගෙවාත් මඟපල තබා උපචාර සමාධියක් වත් ලබා ගැනීම දුෂ්කර වූ බව සමහර කථාවස්තුවලින් පෙනෙයි. කිසිදු තැන්පත් කමක් සංවරයක් නැති අය ද භාවනාවට ගොස් දවසෙන් දෙකෙන් දින කීපයෙන් සමාධි වෙනුවා යයි කීම නැණැතියන්ගේ හාස්‍යයට හේතු වී තිබෙන්නේ මේ නිසා ය. චිත්තවිශුද්ධියක් නැත්තකුට දෘෂ්ටි විශුද්ධියක් ලබා ගත නො හැකි වේ.

දිට්ඨිවිසුද්ධිය

නාමරූපානං යාථාවදස්සනං දිට්ඨිවිසුද්ධි නාම” - නාමරූපයන් ඇති සැටියෙන් දැනීම, පිරිසිඳැ දැනීම දිට්ඨි විසුද්ධි නම් වේ.

සීලවිශුද්ධියෙන් හෙවත් තමාට අයත් උසස් ශීලයෙන් සිල්වත් වැ, චිත්ත විශුද්ධියෙන් හෙවත් සමථ භාවනාවෙකින් සමාහිත වැ සිටින යෝගාවචරයාගේ භාවනාව විදර්‍ශනාවට හරවන්නේ මේ දිට්ඨිවිසුද්ධියෙනි. තමා ලැබූ සමාධිය අනුවැ විදර්‍ශනාවට හැරවීම දෙයාකාරයෙකින් කළ හැකි වේ. එනම්: අරූපමුඛ රූපමුඛ යනු යි. චිත්තවිශුද්ධියෙහි දී තමා ලබා ගත් ධ්‍යානචිත්තයෙහි ධ්‍යානාංග සම්මර්‍ශනය කොට විදර්‍ශනාවට හරවන මාර්‍ගය අරූපමුඛ නම් වෙයි. ලබා ගත් ධ්‍යානචිත්තය පාදක නො කොට කෙළින් මැ ආශ්වාස ප්‍රශ්වාසකාය මැ ගෙනැ නාමරූප වශයෙන් වෙන් කොට බලා විදර්‍ශනාවට හරවන මාර්‍ගය රූපමුඛ නම් වේ.

තව ද ආශ්වාස ප්‍රශ්වාසකාර්මිකයා යැ, ධ්‍යානකාර්මිකයා යැයි විදර්‍ශනාවට හරවන ආකාර වශයෙන් යෝගීහු දෙදෙනෙක් වෙතියි සතිපට්ඨාන සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන් හික්මෙන්නා වූ ඔහුට වනාහි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි සතර ධ්‍යානයෝ උපදිත්, හෙතෙම ධ්‍යානයෙන් නැගී සිට ආශ්වාස ප්‍රශ්වාසයන් හෝ ධ්‍යානාංගයන් හෝ පරිග්‍රහණය කෙරෙයි. ඔවුන් දෙදෙනා අතුරෙන් ආශ්වාස ප්‍රශ්වාසකාර්මික තෙම, ආශ්වාස ප්‍රශ්වාසයෝ කුමක් ඇසුරු කළහු ද? හදවත ඇසුරු කළාහු යැ, හදවත නම් කරජකාය යැ, කරජකාය නම් සතර මහාභූතයන් හා උපාදායරූප දැයි මෙසේ රූප පරිග්‍රහණය කෙරෙයි. අනතුරුව ඒ ආශ්වාස ප්‍රශ්වාසාරම්මණයෙහි ඵස්සපඤ්චමක ධර්‍මයන් නාමයයි. (නාමය පරිග්‍රහණය කෙරෙයි) මෙසේ නාම රූප පරිග්‍රහණය කොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිද්‍යාදී වූ ප්‍රතීත්‍යසමුත්පාදය දැකැ ඒ නාමරූපය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්නධර්‍මමාත්‍රයක් මැ යි. අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් නැතැයි තරණය කළ සැක ඇත්තේ ප්‍රත්‍යය සහිත නාම රූපයෙහි (අනිත්‍යාදී) ත්‍රිලක්ෂණයට නඟා විදර්‍ශනා වඩන්නේ (මාර්‍ගඵල) පිළිවෙළින් රහත් බවට පැමිණෙයි. මේ එක් භික්‍ෂු කෙනකුගේ රහත් බව තෙක් නිර්‍වාණ මාර්‍ගය යි. (ධ්‍යානාංගයන් මෙනෙහි කරන) ධ්‍යානකාර්මික තෙමේ ද මේ ධ්‍යානාංගයෝ කුමක් ඇසුරු කළාහු ද? හදවත ඇසුරු කළාහු යැ, හදවත නම් කරජකාය යැ, ධ්‍යානාංගයෝ නාමය යැ, කරජකාය රූපයැ යි නාමරූප නිශ්චය කොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිද්‍යාදී වූ ප්‍රත්‍යයාකාරය දැක මේ නාමය හා රූපය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මමාත්‍රයෙක් මැ යැ, අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැතැයි වෙසෙසින් දුරුකළ (සොළොස් වැදෑරුම්) සැක ඇත්තෝ ප්‍රත්‍යය සහිත වූ නාමරූපයෙහි ත්‍රිලක්‍ෂණයට නඟා විදර්‍ශනා වඩන්නේ අනුක්‍රමයෙන් අර්‍හත්වයට පැමිණෙයි. මේ එක් භික්‍ෂු කෙනකුගේ අර්‍හත්වය තෙක් නිර්‍වාණමාර්‍ගය යි.

- ප්‍රපඤ්චදීපිකා

මෙහි ආශ්වාස ප්‍රශ්වාසකාර්මිකයා නම් මුලින් සඳහන් කළ රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නා ය, ධ්‍යානකාර්මිකයා නම් අරූප මුඛයෙන් විදර්‍ශනා වඩන්නා ය.

මෙසේ අරූප මුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් තමා ලැබූ ධ්‍යානයෙහි විතර්‍කාදී අංග හා තත්සම්ප්‍රයුක්ත ධර්‍මයන් ද ලක්‍ෂණාදී වශයෙන් වෙන් කොට බැලිය යුතු ය. එසේ බලත් මැ ඒ සියල්ල අරමුණට යොමු කොට නැමෙනුයෙන් නාමධර්‍මයන් යයි වැටහෙනුවා ඇත. අනතුරු වැ මේ නාමධර්‍මයන් කුමක් ඇසුරු කොට පවත්නේ දැයි විමසා බැලිය යුතු ය. එසේ විමසත් මැ නාමධර්‍මයන් පවත්නේ හෘදය රූපය ඇසුරු කැරැ ගෙනැ යයි වැටහෙනුවා ඇත. අනතුරු වැ සෙසු රූපයන් ද පිරිසිඳැ දකියි. ඒ සියල්ල නැසෙන අර්ථයෙන් රූපයයි නුවණින් දැනැ ගනියි. මෙසේ නාමරූපයන්ගේ පිරිසිඳැ දැනීම ඇති වේ.

ආනාපානසති භාවනාවෙන් ලැබූ ධ්‍යානයන් පාදක නොකොට රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් ඒ ආනාපානය මැ මුල් කොට විදර්‍ශනාවට හැරැවිය යුතු ය. එයට කඹුරුහමේ උපමාව උපකාර කැරැ ගත යුතු ය. කම්මලේ තිබෙන කඹුරුහම ක්‍රියා කිරීමට කරුණු තුනක් එක් වී තිබේ. කඹුරුහමේ කටත් සිදුරත් කුහරයත් ලනුව අදිමින් උස් පහත් කරන්නාත් යන කරුණු තුන එක්වීමෙන් වරකට සුළං පිට වෙයි. වරකට සුළං ඇතුළු වෙයි. එමෙන් මැ ආනාපානය කැරෙන්නේ ශරීර කුහරයත් නාස්පුඩු දෙකත් හිතත් යන කරුණු එක්වීමෙනි. කයක් ඇතත් සිතක් නැතොත් ආනාපානයෙක් නැත. එහෙයින් සිත ප්‍රධාන ය. ඒ සිත නම් කුමක් ද? නාම ධර්‍මයෙකි. එය හා සම්ප්‍රයුක්ත වූ චෛතසිකයෝ ද නාම ධර්‍මයෝ වෙති. මේ නාමධර්‍මයන් පවත්නේ කවරක් ඇසුරු කොට ද? හෘදය රූපය ඇසුරු කැරැ ගෙනැ ය. හෘදය රූපය ඇසුරු කොට සෙසු භූතරූපයන් හා උපාදාය රූපයෝ ද වෙති. මෙසේ ආනාපානය මැ ඇසුරු කැරැ ගෙනැ නාමරූප ධර්‍මයන්ගේ පිරිසිඳැ දැනීම ඇති වේ.

නාමරූප ධර්‍මයන් පිරිසිඳැ දනිමින් භාවනා කරන්නා හට නාමරූප ධර්‍මයන් සත්ත්වයන් පුද්ගලයන් නොවන බවත් නාම රූප ධර්‍මයන්ගෙන් අන්‍ය වූ සත්ත්වයකු හෝ පුද්ගලයකු හෝ නැති බවත් හොඳින් මැ වැටහෙනුවා ඇත. ඒ සමඟ මැ සත්ත්ව සංඥාව, ආත්ම සංඥාව ද දුරු වෙනවා ඇත. එයින් මෙතෙක් පැවැති සත්ත්වයා යැ පුද්ගලයා යැ යන මිථ්‍යාදර්‍ශනය – වැරදි දැක්ම දුරු වෙයි. සත්ත්වයා පුද්ගලයා නම් ස්කන්ධ – ධාතු – ආයතන යන ධර්‍මමාත්‍රයක යන සම්‍යක් දර්‍ශනය – හරි දැක්ම පහළ වෙයි. දෘෂ්ටිය පිරිසුදු වෙයි.

දිට්ඨිවිසුද්ධිය ලබා ගැනීම සීලවිසුද්ධි චිත්තවිසුද්ධි දෙක ලබා ගැනීමට වඩා අතිශයින් දුෂ්කර ක්‍රියාවෙකි. දිට්ඨිවිසුද්ධිය සම්පූර්‍ණවීමට උසස් ධර්‍මඥානයක් තිබිය යුතු ය. අඩු මැ ගණනේ නාමරූප ධර්‍මයන් පිරිසිඳැ ඇති සැටියෙන් දැනැ ගන්නට තරම් වත් ධර්‍මඥානයක් තිබිය යුතු ම ය. නාමරූප ධර්‍මයන් පිරිසිඳැ දැනැ ගැනීමට තරම් වත් ධර්‍මඥානයක් නැති අය විදර්‍ශනා භාවනාවට යෑමත්, එබඳු අයට ඉක්මනට ප්‍රතිඵල ලැබෙනුවා යැයි කීමත්, විදර්‍ශනා භාවනා කරන විට සමාධි නිමිති පෙනෙනුවා යැයි පැවසීමත් නැණැතියන්ගේ සිනාවට කරුණු වී තිබෙන්නේ මේ නිසා ය. දිට්ඨිවිසුද්ධියක් නැත්තකුට කංඛාවිතරණවිසුද්ධිය ලබාගත නො හැකි වේ.

කඞ්ඛාවිතරණ විසුද්ධිය

“එතස්සෙව පන නාමරූපස්ස පච්චයපරිග්ගහෙන තීසු අද්ධාසු කඞ්ඛං විතරිත්වා ඨිතං ඤාණං කංඛාවිතරණවිසුද්ධි නාම” – මේ නාමරූපයන්ගේ මැ පහළ වීමට හා පැවැත්මට ද ප්‍රත්‍යය හෙවත් හේතු වූ කරුණු පිරිසිඳීමෙන් තුන්කල්හි පැවැති සැකය දුරු කැරැ සිටි ඥානය කංඛාවිතරණ විසුද්ධි නම් වේ.

දක්ෂ වෛද්‍යවරයා රෝගයක් දැකැ එහි නිදානය සොයන්නා සේ විදර්‍ශනාවට බැසැගත් යෝගාවචරයා ද නාමරූප ධර්‍මයන්ගේ හේතු – ප්‍රත්‍යය සෙවීමෙහි යෙදිය යුතු ය. මේ නාම රූප නම් වූ පඤ්චස්කන්ධය සියලු තන්හි සෑම කල්හි මැ සියල්ලනට සම වැ නො පැමිණෙන හෙයින් අහේතුක නොවෙයි. ඊශ්වරාදී මැවුම් කරුවකු නැති හෙයින් ඊශ්වරාදී හේතුවකිනිදු හට නො ගැනේ. එහෙයින් මැ මේ නාමරූපයනට හේතුප්‍රත්‍යයන් ඇතැයි සලකා ඒ හේතු ප්‍රත්‍යයන් පරීක්‍ෂා කැරැ බැලිය යුතු ය.

ප්‍රතිසන්ධියෙහි දී අවිද්‍යා යැ, තෘෂ්ණා යැ, උපාදාන යැ, කර්‍ම යැ, යන මොවුහු නාමරූප ධර්‍මයන් උපදවන හේතූහු වෙති. ප්‍රවෘත්තියෙහි දී රූපය කර්‍ම යැ, චිත්ත යැ, සෘතු යැ, ආහාර යැ යන මොවුන්ගේ ප්‍රත්‍යයෙන් උපදනේ වෙයි. චක්‍ෂුඃප්‍රසාදය ද රූපාලම්බනය ද නිසා චක්ඛුවිඤ්ඤාණය උපදනේ වෙයි. මෙසේ ප්‍රත්‍යය වශයෙන් නාමරූපයන්ගේ පැවැත්ම දැකැ මේ නාමරූපයන් දැන් සේ මැ අතීතයෙහි ද හේතු – ප්‍රත්‍යයන් නිසා පැවැත්තේ ය. අනාගතයෙහි ද හේතු – ප්‍රත්‍යයන් නිසා මැ පවත්නේ යයි ද දකී.

මෙසේ බලන්නා වූ යෝගාවචරයාට අතීත ස්කන්ධ පඤ්චකය අරබයා, ‘මම අතීත කාලයෙහි සිටියෙම් ද, නො සිටියෙම් ද, කවරකු වැ සිටියෙම් ද, කෙබන්දකු වැ සිටියෙම් ද, කවරකු වැ සිට කෙබන්දෙක් වූයෙම් දැ’ යි පස් ආකාරයෙකින් කියන ලද සැකය ද, අනාගත ස්කන්ධ පඤ්චකය අරබයා ද, ‘මම අනාගත කාලයෙහි වන්නෙම් ද, නො වන්නෙම් ද, කවරෙක් වන්නෙම් ද, කෙබන්දෙක් වන්නෙම් ද, කවරෙකු වැ කෙබන්දෙක් වන්නෙම් දැ’ යි පස් ආකාරයෙකින් කියන ලද සැකය ද, වර්‍තමාන ස්කන්ධ පඤ්චකය අරබයා ද, මම වෙම් ද, නො වෙම් ද, කවරෙක් වෙම් ද, කෙසේ වෙම් ද, මේ සත්ත්ව තෙමේ කොහි සිට මෙහි ආවේ ද, නැවැත කොහි යන්නේ දැ’ යි සයාකාරයෙකින් කියන ලද සැකය දැයි කාලත්‍රයයට අයත් ස්කන්ධ පඤ්චකය පිළිබඳ සොළොස් ආකාර සැකය ප්‍රහීණ වේ.

තවද, පටිච්ච සමුප්පාදයෙහි සඳහන් වන පරිදි සත්ත්වයාගේ පැවැත්ම හා නැවැත්ම ද පිළිබඳ හේතුඵලයන් සලකා බැලිය යුතු ය.

“අතීතෙ හෙතුවො පඤ්ච
ඉදානි ඵලපඤ්චකං
ඉදානි හෙතුවො පඤ්ච
ආයතිං ඵලපඤ්චකං”

සත්ත්වයාගේ පැවැත්ම නම් වූ භවචක්‍රයෙහි  අතීත හේතු පසෙක් ද වර්‍තමාන ඵල පසෙක් ද වර්‍තමාන හේතු පසෙක් ද අනාගත ඵල පසෙක් දැයි හේතු පල විස්සෙක් වේ.

මෙසේ සලකා බලත් මැ අතීත භවයෙන් මේ භවයට ද, මේ භවයෙන් පුනර්‍භවයට ද, කිසිදු ධර්‍මයෙක් සංක්‍රමණය නො වෙයි. එහෙත් අතීත භවයෙහි ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ප්‍රත්‍යයෙන් මේ භවයෙහි ස්කන්ධ ධාතු ආයතන ද, මේ භාවයෙහි ස්කන්ධ – ධාතු – ආයතනයන්ගේ ප්‍රත්‍යයෙන් පුනර්‍භවයෙහි ස්කන්ධ – ධාතු – ආයතනයෝ ද උපදින්නාහු වෙති යි හරි දැකීම පහළ වේ.

“නයිදං අත්තකතං බිම්බං
නයිදං පරකතං අඝං
හෙතුං පටිච්ච සම්භූතං
හෙතුභඞ්ගා නිරුජ්ඣති.”

මේ ශරීරය තමා විසින් කැරැ ගන්නා ලද්දක් වත් අන්‍යයකු විසින් මවන ලද්දක් වත් නො වෙයි. හේතූන් නිසා හටගත්තකි. හේතූන්ගේ බිඳී යෑමෙන් මේ ශරීරය නිරෝධයට යේ.

කංඛාවිතරණ විශුද්ධිය සම්පූර්‍ණ විදර්‍ශක තෙමේ ලෞකික සීල සමාධි පඤ්ඤා සම්පත්තියෙන් යුක්ත හෙයින් මත්තෙහි මාර්‍ගඵලාධිගමය නො කෙළේ ද සුගතිගමන නොවරදවා මැ සිදු කෙරේ යයි කියනු ලැබේ. ඔහුට චුල්ලසෝතාපන්නයා යයි ද කියනු ලැබේ. කංඛාවිතරණවිශුද්ධිය නො ලැබූවකුට මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය නො ලැබිය හැකි වේ.

මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය

“අයං මග්ගො අයං න මග්ගොති එවං මග්ගං ච අමග්ගං ච ඤත්වා ඨිතං ඤාණං පන මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි නාම” - මේ මාර්‍ග යැ, මේ අමාර්‍ග යැයි මඟත් නොමඟත් පිරිසිඳැ දැනැ සිටි ඥානය මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි නම් වේ.

මේ අවස්ථාවෙහි භාවනා කරන යෝගාවචරයා අමාර්‍ගය ආර්‍ය මාර්‍ග යයි වැරදි ලෙස වැටහෙනුවා ඇත. ඒ නිසා දශවිධ උපක්ලේශයන් දැනැ සිටීම ඉතා අවශ්‍ය ය.

“ඔභාසො පීති පස්සදධි – අධිමොක්ඛො ච පග්ගහො
සුඛං ඤාණමුපට්ඨාන – මුපෙක්ඛා ච නිකන්ති ච”

ඔභාස යැ, පීති යැ, පස්සද්ධි යැ, අධිමොක්ඛ යැ, පග්ගහ යැ, සුඛ යැ, ඤාණ යැ, උපට්ඨාන යැ, උපෙක්ඛා යැ, නිකන්ති යැ යන මොවුහු දශවිධ විදර්‍ශනෝපක්ලේශයෝ වෙති.

  1. ඔභාස - විදර්‍ශනා චිත්තයෙන් හටගත් එක්තරා – ශරීරාලෝකයෙකි. මේ ආලෝකය උපන් කල්හි සමහරු මාර්‍ගඵලයනට පැමිණියෙමි යි අමාර්‍ගය මාර්‍ගය ලෙස ගෙනැ එයින් මැ සෑහීමට පත්වී විදර්‍ශනාව ද අත්හරී. මෙය උපක්ලේශයක් බව දැනැ සිටින්නා ආලෝකයට නො රැවටී භාවනා කැරැනු ලැබේ.
  2. ඤාණ - නාමරූප ධර්‍මයන් විමසා බලන්නා වූ යෝගියා හට ඉතා තියුණු වූ විදර්‍ශනා ඥානය පහළ වෙයි. එය මාර්‍ග යයි ගත්තා හට නියම මාර්‍ගය වරදී. එහෙයින් එය ද උපක්ලේශයකි.
  3. පීති - විදර්‍ශනා වඩන්නා හට මුළු ශරීරය මැ පුරවමින් ප්‍රීතිය උපදී. සමහරු එය මාර්‍ග යයි ගෙනැ මුළාවට පත් වෙති. එහෙයින් එය ද උපක්ලේශයෙකි.
  4. පස්සද්ධි – විදර්‍ශනාවෙන් ඇතිවන කායචිත්තයන්ගේ සංසුන් බවයි, සැහැල්ලු බවයි. එය ද උපක්ලේශයකි.
  5. සුඛ – විදර්‍ශනා වඩන්නා හට මුළු සිරුර පිණවමින් මීට පෙරැ නොවූ විරූ සුඛයක් උපදී. එය මාර්‍ග යයි ගත හොත් නියම මාර්‍ගය වළකින හෙයින් උපක්ලේශයෙකි.
  6. අධිමොක්ඛ – බලවත් ශ්‍රද්ධාව යි. විදර්‍ශනා යෝගී හට චිත්ත චෛතසිකයන් අතිශයින් ප්‍රසන්න භාවයට පමුණුවන බලවත් ශ්‍රද්ධාව උපදී. එය ද නියම මාර්‍ගය මුවා කරන හෙයින් උපක්ලේශයෙකි.
  7. පග්ගහ – වීර්‍යය යි. විදර්‍ශනාව දියුණු වෙත් මැ ළිහිල් නො වූ දැඩි ද නො වූ වීර්‍යය උපදී. එය ද උපක්ලේශයෙකි.
  8. උපට්ඨාන – සිහිය යි. විදර්‍ශනා කරන්නා හට මනා වැ එළඹ සිටි සිහිය උපදී. ඉතා පැරණි කරුණු පවා සිහියට එයි. මේ විශේෂ ලක්‍ෂණය නිසා මාර්‍ගය ලදිමි යි මුළාවට පත් වෙයි. එහෙයින් එය ද උපක්ලේශයෙකි.
  9. උපෙක්ඛා – විදර්‍ශනා යෝගීනට නාමරූප ධර්‍මයන් උදයව්‍යය වශයෙන් මනා වැ පරීක්‍ෂා කිරීමෙන් ඒ පිළිබඳ මධ්‍යස්ථාකාරයෙන් පවත්නා විදර්‍ශනා උපෙක්‍ෂාව උපදී. එය ද මාර්‍ග යයි වරදවා ගන්නා හෙයින් උපක්ලේශයෙකි.

10.  නිකන්ති – ඉතා සියුම් තෘෂ්ණාව යි. “මින් පෙරැ මට ආලෝකයක් පහළ නො වී ය”. මම ආර්‍යමාර්‍ගයට පැමිණියෙමි යි එහි ආලය කෙරෙමින් පහළ වන සියුම් තෘෂ්ණාවයි. එය ද උපක්ලේශයෙකි.

මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය ලබනු කැමැති යෝගාවචරයා අතීතාදී නොයෙක් කොටස් වශයෙන් කැඩුණු සියලු සංස්කාර ධර්‍මයන් කලාප වශයෙන් මෙනෙහි කළ යුතු ය.

අතීත – අනාගත – පච්චුප්පන්න වූ හෝ අධ්‍යාත්මක බාහිර වූ හෝ ඕළාරික සුඛුම වූ හෝ හීන ප්‍රණීත වූ හෝ දූර සමීප වූ හෝ යම් රූපයක් වේ නම් ඒ සියලු රූප අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථා කෙරේ. දුඃඛ වශයෙන් ව්‍යවස්ථා කෙරේ, අනාත්ම වශයෙන් ව්‍යවස්ථා කෙරේ. මේ ද සම්මර්‍ශනය කරන පිළිවෙළකි. වේදනාදී අනෙක් ස්කන්ධයන් පිළිබඳ වැ ද එසේ මැ ය.

තව ද රූපය ක්‍ෂය වන අර්‍ථයෙන් අනිත්‍ය යැ, භය වන අර්ථයෙන් දුක් යැ, අසාර වන අර්ථයෙන් අනාත්ම යැ යි ද සම්මර්‍ශනය කළ යුතු ය.

මෙසේ භාවනා කරත් මැ විදර්‍ශනා ඥානය දියුණු වෙයි. ඔහුට මාර්‍ගය කුමක් ද අමාර්‍ගය කුමක් දැයි වැටහෙයි. ආලෝකාදියට මුළා නො වෙයි. මේ අවස්ථාවට පැමිණි යෝගියා දුඃඛ – සමුදය – මාර්‍ග යන සත්‍ය තුන ලෞකික ඥානයෙන් මනා වැ දැනැ ගැනීමට තරම් දියුණු වෙයි. මෙසේ මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වන තුරු පටිපදාඤාණදස්සන විසුද්ධිය ලබා නො හැකි වේ.

පටිපදාඤාණදස්සන විසුද්ධිය

“අට්ඨන්නං පන ඤාණානං වසෙන සිඛප්පත්තා විපස්සනා නවමං ච සච්චානුලොමිකඤාණන්ති අයං පටිපදාඤාණදස්සන විසුද්ධි නාම” - අට වැදෑරුම් ඥානයන්ගේ වශයෙන් ශිඛාප්‍රාප්ත විදර්‍ශනාව ද නව වැනි සච්චානුලොමික ඥානය ද යන මේ නව මහාවිදර්‍ශනාඥානය පටිපදාඤාණ දස්සන විසුද්ධි නම් වේ.

නව මහාවිදර්‍ශන ඥානයෝ

  1. උදයබ්බයානුපස්සනාඤාණය - ස්කන්ධාදීන්ගේ උදයව්‍යය – ඇතිවීම නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.
  2. භංගානුපස්සනා ඤාණය - ස්කන්ධාදීන්ගේ භඞ්ගය විනාශය නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.
  3. භයතුපට්ඨාන ඤාණය – සංස්කාරයන් භය වශයෙන් වැටහෙන්නා වූ නුවණ යි.
  4. ආදීනවානුදස්සන ඤාණය - සංස්කාරයන්ගේ දෝෂ දක්නා නුවණ ය.
  5. නිබ්බිදානුපස්සනා ඤාණය - සංස්කාරයන් හට කලකිරීම් වශයෙන් පහළ වන නුවණ යි.
  6. මුඤ්චිතුකම්‍යතා ඤාණය - සංස්කාරධර්ම නමැති සංස්කාරයෙන් මිදෙනු කැමති වීම වශයෙන් පහළ වන නුවනයි.
  7. පටිසංඛානුපස්සනා ඤාණය – සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ විස්තර වශයෙන් දක්නා නුවණ යි.
  8. සංඛාරුපෙක්ඛා ඤාණය - සංස්කාරයන් මධ්‍යස්ථ වශයෙන් දක්නා නුවණ යි.
  9. සච්චානුලොම ඤාණය - මාර්‍ගචිත්තයනට අනුලෝම වූ නුවණ යි.

මේ නව මහාවිදර්‍ශනඥානයන් පිළිවෙළින් පහළ වීමෙන් පටිපදාඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වේ.

ඤාණදස්සන විසුද්ධිය

“සොතාපත්ති මග්ගො සකදාගාමි මග්ගො අනාගාමි මග්ගො අරහත්ත මග්ගොති ඉමෙසු පන චතුසු මග්ගෙසු ඤාණං ඤාණදස්සනවිසුද්ධි නාම” – ස්‍රෝතාපත්ති මාර්‍ග යැ, සකෘදාගාමි මාර්‍ග යැ, අනාගාමි මාර්‍ග යැ, අර්‍හත් මාර්‍ග යැ යන සතර මාර්‍ගයන්හි වූ ඥානය ඤාණදස්සන විසුද්ධි නම් වේ.

මෙහි දැක්වූයේ සප්ත විශුද්ධීන් පිළිබඳ ඉතා කෙටි හැඳින්වීමෙකි. මෙය විදර්‍ශනා භාවනාවට ප්‍රමාණවත් නො වේ. එහෙයින් විදර්‍ශනා භාවනා කරන්නවුන් විසින් සප්ත විශුද්ධීන් හොඳින් ඉගෙනැ අවබෝධ කැරැ ගත යුතු ය. පිළිවන් සෑම දෙනා මැ විශුද්ධි මාර්‍ගය හොඳින් ඉගෙනැ ගන්නේ මැනැවි. මේ සප්ත විශුද්ධීන් පිළිබඳ අවබොධයක් ඇති කැරැ ගැනීමට ආචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද “විදර්‍ශනා භාවනා ක්‍රමය” නමැති පොත ද කියවීම මැනැවි.

භාවනා කරන්නේ කෙසේ ද?

භාවනා කරන්නා ගිහි හෝ වේවා පැවදි හෝ වේවා හැමට පළමු චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් වන්න. විවේක ස්ථානයක් හා සුදුසු වේලාවක් ද සම්මත කැරැ ගන්න. සිතට හා කයට ද කරදර ඇතිවිය හැකි කුඩා වූ ද පළිබෝධයන් ගෙන් – අවහිරයන්ගෙන් නිදහස් වන්න. සිතත් කයත් ඇඳුමුත් පිරිසුදු කැර ගන්න.

පුරුෂ පක්‍ෂය නම් බද්ධපර්‍යංකයෙන් (- එරමිණියා ගොතා ගෙනැ) හිඳැ ගන්න. ස්ත්‍රී පක්‍ෂය නම් අර්‍ධපර්‍යංකයෙන් (- දෙ පය පස්සට දමා වාඩිවීමෙන්) හිඳැ ගන්න. උඩුකය කෙළින් තබා ගන්න. හිස වඩා ඔසවන්නේත් නැති වැ වඩා නමන්නේත් නැති වැ තබා ගන්න. ඇස් ඇරීම හෝ වසා ගැනීම හෝ තමන් හට පහසු පරිදි කරන්න.

තුනුරුවන් සිහි කැරැ ගන්න. එදා සිද්ධාර්‍ථ තාපසයන් වහන්සේට බුදු වීමට උපකාර වූයේ මේ ආනාපාන සතියයි. “මා ද දැන් කරන්නට සූදානම් වන්නේ ඒ උසස් භාවනාව ය. මෙසේ කරන භාවනාවෙන් මේ ආසනයේ දී නැතහොත් මේ ජාතියෙහි දී මාර්‍ගඵල නො ලැබිය හැකි වුවොත් මේ භාවනාව කවර දිනයෙකැ හෝ මාර්‍ගඵල ලැබීමට උපකාර වේවා” යන බලවත් ප්‍රාර්‍ථනාව ඇති කැරැ ගන්න.

දැන් බාහිර චින්තා නතර කරන්න. බාහිර අරමුණුවලින් සිත මුදා ගන්න. සිහිය කර්‍මස්ථානයට යොමු කොට තබන්න. දැන් කරන්නේ ආනාපානසති භාවනාව නිසා ආශ්වාස ප්‍රශ්වාසයන් ස්පර්‍ශ වන ස්ථානය දැනැ ගන්න. නාසයේ කෙළවර හෝ උඩුතොලේ මැද පියෙස හෝ යි බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සිහිය පිහිටුවා ගන්න.

සිහියෙන් ආශ්වාස කරන්න, සිහියෙන් ප්‍රශ්වාස කරන්න. උවමනාවෙන් එක වරකුදු ආශ්වාස ප්‍රශ්වාස නො කරන්න. ස්වභාව වශයෙන් හුස්ම ඇතුළු වන විට හුස්ම ඇතුළු වෙනවා යන සිහියත්, හුස්ම පිට වන විට හුස්ම පිට වෙනවා යන සිහියත් පුරුදු කරන්න. එකේ සිට දහය දක්වා හුස්ම වාර ගණන් කිරීමෙන් පහසුවක් ඇතොත් එසේ කරන්න. මෙලෙසින් භාවනා කිරීම බොහෝ දිනක් පුරුදු කරන්න, සිතේ නොසංසුන්කම නිසා සිහියෙන් තොර වැ හුස්ම ඇතුළු විය හැකි ය, පිට විය හැකි ය. එයින් පසුබට නොවන්න. මිනිත්තු දහයක් ඇතුළත හැම ආශ්වාස ප්‍රශ්වාස වාරයක් මැ දනිමින් පවත්වන්නට පිළිවන් වුවොත් එය භාවනාවේ උසස් දියුණුවෙකි. එහෙත් එයින් සෑහීමකට පත් නො වන්න. අඩු මැ ගණනේ පැයක් වත් සිහියෙන් මැ ආශ්වාස ප්‍රශ්වාසයන් කරන්නට පිළිවන් වන තුරු දෙ වැනි අවස්ථාවට නොයන්න.

දීර්‍ඝ හ්‍රස්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් දැනැ ගැනීමට වෙහෙස නොවන්න. ආශ්වාස ප්‍රශ්වාසයන් බොහෝ වේලාවක් සිහියෙන් මැ පවත්වන්නට පිළිවන් වූ විට දිග කොට භේදය ඉබේට මැ වැටහෙනුවා ඇති. එවිට දිග හුස්මක් ඇතුළු වන විට දිග හුස්මක් ඇතුළු වෙනවා, කොට හුස්මක් ඇතුළුවන විට කොට හුස්මක් ඇතුළු වෙනවා ආදී වශයෙන් දිග කොට භේදය අනුවැ භාවනා කරන්න. එය ද දිගු කලක් කරන්න. දිග කොට භේදය හොඳට මැ පැහැදිලි වන තුරු එලෙසින් භාවනා කරන්න.

දීර්‍ඝ හ්‍රස්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් ගේ පැවැත්ම බොහෝ කාලයක් පුරුදු පුහුණු කරන විට සිහිය දියුණු වීම නිසාත් සිත සමාහිත වීම නිසා සියලු ආශ්වාස ප්‍රශ්වාස කායයන් මැ වැටහෙන්නට වෙයි. එවිට එලෙසින් භාවනා කිරීමට පුහුණු වන්න. හුස්ම ඇතුළු වන විට තත්පර ගණනක් මැ නාසයෙහි කෙළවර හෝ උඩුතොලෙහි හැපී ගෙනැ ඇතුළුවෙනවා දැනෙන්නට පිළිවන,  එලෙසින් සියලු ආශ්වාස ප්‍රශ්වාසකායයන් දනිමින් ආශ්වාස ප්‍රශ්වාසයන් පවත්වන්නට උත්සාහ දරන්න.

අනෙක් කර්‍මස්ථානයක් වඩත් වඩත් මැ අරමුණ වඩ වඩාත් විභූත – ප්‍රකට වෙයි. ආනාපාන සතිය වඩත් වඩත් මැ අරමුණ ක්‍රමයෙන් සියුම් වෙයි. ඒ අතරැ මැ ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳැවීමේ අදහස් ද බලවත් වෙයි. මෙසේ භාවනා කරත් කරත් මැ ආශ්වාස ප්‍රශ්වාසයන් ඇතැයි නැතැයි කිවයුතු තරමට සියුම් වෙනුවා ඇත. ආශ්වාස ප්‍රශ්වාසයන් නැතැයි සිතා කලබල නොවන්න. තමාගේ වාඩිය වත් වෙනස් නොකරන්න. පෙරැ සේ මැ හුස්ම හැපෙන තැන සිහිය රඳවා ගෙනැ භාවනා කරන්න.

ආශ්වාස ප්‍රශ්වාසයන් නො වැටහෙන්නට වූ විට සංසුන් වැ හිඳැ ගෙනැ මෙසේ සිතන්න. ආශ්වාස ප්‍රශ්වාසයන් නැත්තේ කාට ද? මනුෂ්‍යයන් අතරැ දියේ ගිලුණවුනට ද මළවුනට ද චතුර්‍ථධ්‍යානයට සමවැදුණවුනට ද නිරෝධසමාපත්තියට සමවැදුණවුනට ද ආශ්වාස ප්‍රශ්වාස නැත. ඉතින් මම දියේ ගිලුණෙක් ද නො වෙමි. මළ කෙනෙක් ද නො වෙමි. චතුර්‍ථධ්‍යානයට හෝ නිරෝධසමාපත්තියට සමවැදුණෙක් ද නො වෙමි. එහෙයින් ආශ්වාස ප්‍රශ්වාසය නැත්තේ නො වේ. ඇත්තේ මැ ය. සියුම් නිසා නො වැටහේ ය, මෙසේ සිතා සංසුන් වැ හුස්ම හැපෙන තැන මැ සිහිය එළවා තබා භාවනා කරන විට ඉතා සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාසයන් වැටහෙන්නට පටන් ගනී.

ඉතා සියුම් වූ ද ආශ්වාස ප්‍රශ්වාසයන් දනිමින් භාවනා කරන්න. මේ යෝගාවචරයා විසින් අතිශයින් සතුටු විය යුතු අවස්ථාවයි, ධ්‍යානයක් ලැබීමට තරම් ආසන්න ය. දැන් සමාධි නිමිති පහළ වන අවස්ථාව යි. එහෙත් නිමිති ගැන මඳකුදු නොසිතන්න. ආනාපාන අරමුණ මැ ගෙනැ භාවනා කරන්න.

දැන් යෝගාවචරයාගේ සිතත් කයත් ඉතා සංසුන් ය, ඉතා සැහැල්ලු ය, ප්‍රීති වන්න, ප්‍රීති වන්න, මෙසේ භාවනා කරත් කරත් මැ මුව පියසෙහි පුළුන් රොදක් මුතු ගුලියක් දුම් සිළක් වැනි යමක් වැටහෙනුවා ඇත. වඩ වඩාත් ප්‍රීති වන්න. එහෙත් ප්‍රීතියෙන් කලබල නොවන්න. ප්‍රීතිය නිසා හෝ කලබල වුවොත් නිමිත්ත අතුරුදන් වෙනුවා ඇත. නිමිත්ත හොඳින් රැක ගන්න.

මෙතෙක් කල් අරමුණු කැරැ ගෙනැ සිටි ආනාපානය තාවකාලික වැ අත්හැර අලුතෙන් ලැබුණ නිමිත්ත සිතට අරමුණු කැරැ ගන්න. ඒ අරමුණ මැ ගෙනැ භාවනා කරන්න. බොහෝ වේලාවක් බොහෝ දිනක් භාවනා කරන්න. සමහර විට ඒ නිමිත්ත අරමුණු කොට ද මාස ගණනක් භාවනා කරන්නට සිදුවෙනුවා ඇත. තමනට ලැබුණු නිමිත්ත යම් කිසි ලෙසකින් අතුරුදන් වුවොත් නැවැතත් ආනාපානය මැ අරමුණු කැරැ ගෙනැ භාවනා කරන්න.

තමනට ලැබුණු නිමිත්ත අරමුණු කැරැ ගෙනැ තව තවත් භාවනා කරන්න. එසේ කරන භාවනාව දියුණු වෙත් මැ ධ්‍යානයක් ලබන තරමට මැ සිත සමාහිත වෙනුවා ඇත. එයට උපචාර සමාධි යැයි කියනු ලැබේ. වඩ වඩාත් ප්‍රීති වන්න. තව තවත් භාවනා කරන්න. එසේ භාවනා කරත් කරත් මැ “විතක්ක විචාර පීති සුඛ එකග්ගතා” යන චිත්තාංගයන්ගෙන් යුක්ත ප්‍රථමධ්‍යාන චිත්තය පහළ වෙනුවා ඇත. එයට අර්‍පණා සමාධි යැයි කියනු ලැබේ.

තමන් ලැබූ අර්‍පණා සමාධිය රැකැ ගන්න. සමාධිය ආරක්‍ෂා කැරැ ගැනීමට උපකාර වන පරිසරයක් ඇති ස්ථානයෙකැ මැ වාසය කරන්න. තැන්පත් සත්පුරුෂයන් මැ ආශ්‍රය කරන්න. උසස් ගුණයන් හා සම කැරැ බලන විට ප්‍රථම ධ්‍යානය ඉතා සුළු ගුණයෙකි. ඒ නිසා එයින් සෑහීමකට පත් නොවන්න. නැවතත් පළමු පරිදි මැ භාවනා කරන්න. එසේ භාවනා කරත් කරත් මැ ද්විතීයධ්‍යාන – තෘතීයධ්‍යාන – චතුර්‍ථධ්‍යාන චිත්තයන් පහළ වෙනුවා ඇත.

මෙතෙක් කල් සමථ වශයෙන් කළ භාවනාව දැන් විදර්‍ශනාවනට හරවන්න. විදර්‍ශනාවට හැරවීම දෙයාකාරයෙකින් කළ හැකි ය. අරූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් පළමු වැ ධ්‍යාන චිත්තයෙහි තිබෙන චිත්තාංග – චෛතසික වෙන් කැර බලන්න. ඒ චෛතසික යෙදුණු චිත්තය ගැන සලකා බලන්න. මේ චිත්ත චෛතසිකයෝ අරමුණ කරා නැමෙනුයෙන් නාමයෝ ය. මේ චිත්තය කවරක් ආශ්‍රය කොට පවත්නේ ද? හෘදයවස්තු රූපයයි, සෙසු රූප ද ඒ සමග වෙයි. විකාරයට විනාශයට පැමිණෙන හෙයින් රූප නම් වෙයි. මෙසේ නාමරූප ධර්‍මයන් වෙන් කොට බලන්න.

රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් කඹුරුහමේ උපමාව අනුවැ නාමරූපයන් වෙන් කොට බලන්න. කඹුරුහමේ ලනුව අදිනා කල්හි හම ද පුරුෂෝත්සාහය ද නිසා සුළං ඇතුළු වීම පිට වීම සිදු වන්නාක් මෙන් කය හා සිත ද නිසා ආශ්වාස ප්‍රශ්වාස පවත්නේ යයි දැනැ ගන්න. කය හා ආශ්වාස ප්‍රශ්වාසයන් රූපයයි ද සිත හා තත්සම්ප්‍රයුක්ත ධර්‍ම නාම යයි ද නාමරූප ධර්‍මයන් ව්‍යවස්ථා කොට බලන්න. මේ නාමරූප ධර්‍මයෝ මැ ලොවැ පවත්නාහ. මේ ධර්‍මයෝ සත්ත්වයෝ නො වෙති, ප්‍රද්ගලයෝ නො වෙති. ආත්ම නො වෙති. මේ නාමරූප ධර්‍මයනට මැ සත්ත්ව පුද්ගල ව්‍යවහාරය කෙරෙති, ළදරු තරුණ මහලු ආදී ව්‍යවහාරය කෙරෙති. නාමය රූපයටත් රූපය නාමයටත් උපකාර ය. ඔවුනොවුන්ගේ උපකාරයෙන් නාමරූප ධර්‍මයන් මැ පවතිනුවා විනා ඇත්ත වශයෙන් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. මෙසේ නාමරූප ධර්‍මයන්ගේ ඇතිතතු නුවණින් සලකා බලන්න. මෙසේ සලකා බැලීමෙන් දෘෂ්ටි විශුද්ධිය ඇතිවෙයි.

මෙසේ නාමරූප ධර්‍මයන් ව්‍යවස්ථා කොට ඒ නාමරූප ධර්‍මයන්ගේ ප්‍රත්‍යය සොයන්න. අතීත භවයෙහි වූ අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන භවයන් නිසා මේ භවයෙහි විඥාන නාමරූප ෂඩායතන ස්පර්ශ වේදනාත් නැවතත් මේ භාවයෙහි අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන භව යන මොවුන් නිසා අනාගත භවයෙහි විඥාන නාමරූප ෂඩායතන ස්පර්‍ශ වේදනා යන මොවුහුත් පහළ වෙති. මෙසේ නාමරූප ධර්‍මයන් හේතුඵල වශයෙන් සලකා බලන්න. එයින් මාර්‍ගඥානය ලබා ගැනීමට බලවත් බාධාවක් වන සැකය දුරු වෙයි. එසේ මැ මේ ලෝකයෙහි හේතුඵල ධර්‍ම සමූහය විනා සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැතැයි නාමරූප ධර්‍මයන් පිළිබඳ නිසැක අවබෝධයක් ඇතිවෙයි. මෙසේ නාමරූපයන්ගේ ඇති තතු අවබෝධ වෙත් මැ කංඛාවිතරණ විසුද්ධිය ඇති වේ.

නාමරූප ධර්‍මයන් තතු ලෙස දනිමින් විදර්‍ශනා භාවනා කරන විට මීට පෙරැ නොවූ විරූ ආලෝකයක් බලවත් ප්‍රීතියක් ඇතිවිය හැකි ය. සමහරු එබඳු නිමිතිවලට මුළා වී ලෝකෝත්තර මාර්‍ගඵල ලැබුණා යයි සිතයි. එසේ මුළා වුවොත් මාර්‍ගඵල වළකී. ඒ නිසා ඒවා උපක්ලේශයන් ලෙස සලකා අමතක කරන්න. ලෝකෝත්තර මාර්‍ගය කුමක් දැයි හොඳින් දැනැ ගන්න. නාමරූප ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් අනාත්ම වශයෙන් සලකා බලන්න. නැවැත නාමය ද වෙන් වෙන් කොට එකක් පාසා අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. රූපය ද එසේ මැ වෙන් වශයෙන් මෙනෙහි කරන්න. එයින් මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය ඇති වේ.

දැන් ඉතින් අතිශයින් සතුටු වන්න. පාරමී සම්පූර්‍ණ වැ ඇතොත් මාර්‍ගඵල ලබන්නට ඉතා ආසන්න ය. දැන් ඉතිරි වැ ඇත්තේ නව මහාවිදර්‍ශනඥානයන් ලබා ගැනීම පමණ ය. අනිත්‍ය දුඃඛ අනාත්ම ලක්‍ෂණයන් තව තවත් පැහැදිලි වැ වැටහෙන සේ මෙනෙහි කරන්න, ත්‍රිලක්‍ෂණයන් මැනැවින් වැටහීමට උපකාර වන පරිදි සංස්කාරයන්ගේ උදයව්‍යය මෙනෙහි කරන්න. රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය
, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය ඉපිදැ සි‍ඳෙන්නේ ය. රූපස්කන්ධය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.

නැවැත සංස්කාරයන්ගේ භංගය – විනාශය මෙනෙහි කරන්න. රූපස්කන්ධය නිතර නිතර මැ බි‍ඳෙන්නේ ය. සි‍ඳෙන්නේ ය. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද නිතර මැ බි‍ඳෙන්නාහ, සි‍ඳෙන්නා හ. රූපස්කන්ධය අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. මේ ලෝකයෙහි බි‍ඳෙන ස්වභාවය ඇති සංස්කාර ගොඩක් හැරැ සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. සියලු සංස්කාරයෝ අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.

මෙසේ භාවනා කරත් කරත් මැ සංස්කාරයන් බියට කරුණු වශයෙන් වැටහෙන්නට පිළිවන. එය ද සංස්කාරයන්ගේ තත්ත්වාවබෝධයෙන් ඇති වන විදර්‍ශනා ඥානයෙකි. මේ ලෝකයෙහි සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. ඇත්තේ සංස්කාර ගොඩක් පමණ ය. ඒ සංස්කාර ගොඩ ම සි‍ඳෙන්නාහ, බි‍ඳෙන්නාහ. අහෝ! සංස්කාරයන්ගේ භයානකකම ආදී වශයෙන් මෙනෙහි කරන්න. සියලු සංස්කාරයෝ අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.

මෙසේ භාවනා කරත් කරත් මැ සංස්කාරයන් බොහෝ දෝෂ සහිත යයි වැටහෙනුවා ඇත. සංස්කාරයන්ගේ දෝෂ දකිමින් භාවනා කරන්න. එයින් සංස්කාරයන් පිළිබඳ ලොකු කලකිරීමක් ඇති වෙනුවා ඇත. ඒ නිසා සංස්කාරයන්ගෙන් මිදීමේ අදහස බලපවත්වන්නට පටන් ගනියි. අනතුරු වැ සංස්කාරයන්ගෙන් මිදීමට ක්‍රියා කළ යුතු ය. සක්කාය දිට්ඨි ආදී කෙලෙස් බැමි තිබෙන තුරු සංස්කාරයන්ගෙන් මිදීමක් නො වෙයි. ක්ලේශයන් උපදිනුයේත් නැවත නැවතත් මතු වනුයේත් සංස්කාරයන් නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් සලකා බලන විට ය. ඒ නිසා නිතර මැ සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අශුභ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න.

සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් හොඳින් වැටහෙතොත් අතිශයින් සතුටුවන්න. දැන් සියලු සංස්කාරයන් ශූන්‍යතා වශයෙන් මෙනෙහි කිරීමට පුරුදු වන්න. යමක් අනිත්‍ය නම් එය දුක් ය‍, යමක් දුක් නම් එය අනාත්ම ය. යමක් අනිත්‍ය දුඃඛ අනාත්ම නම් එය ශූන්‍ය ය, හිස් ය, රූපය පෙණ පිඬක් බඳු ය. වේදනාව දිය බුබුළක් බඳු ය, සංඥාව මිරිඟුවක් බඳු ය, සංස්කාරය කෙහෙල් කඳක් බඳු ය, විඥානය මායාවක් බඳු යයි නිතර නිතර මැ මෙනෙහි කරන්න.

දැන් නිර්‍වාණාවබෝධයට ඉතා ආසන්න ය. සංස්කාරයන්ගේ අනිත්‍ය දුඃඛ අනාත්ම භාවයන් තත්ත්වාකාරයෙන් වැටහෙත් මැ යෝගාවචරයාගේ සිත මාර්‍ගඥානදර්‍ශනයට මැ සුදුසු වෙයි. මේ ත්‍රිලක්‍ෂණයන්ගෙනුදු සමහරුනට අනිත්‍ය ලක්‍ෂණය, සමහරුනට දුඃඛ ලක්‍ෂණය, සමහරුනට අනාත්ම ලක්‍ෂණය මනා ව වැටහෙනුවා ඇත.

අනිච්චානුපස්සනාවෙනුත් නිර්‍වාණාවබෝධය කළ හැකි ය. දුක්ඛානුපස්සනාවෙනුත් අනත්තානුපස්සනාවෙනුත් නිර්‍වාණාවබෝධය කළ හැකි ය. ඒ නිසා මෙයින් තමනට ඉතා හොඳින් මැ වැටහෙන අනුපස්සනාව සිතට ගන්න. ඒ අනුව මැ භාවනා කරන්න. මෙසේ භාවනා කරත් කරත් මැ පාරමී ධර්‍මයන් සම්පූර්‍ණවී ඇතොත් ප්‍රථම ඥානදර්‍ශනය වන ස්‍රෝතාපත්ති මාර්‍ග ඥානය උපදනේ ය. අනතුරු වැ ස්‍රෝතාපත්ති ඵලචිත්තය පහළ වෙනුවා ඇත. නැවැතත් පෙරැ සේ ම භාවනා කරන විට සකෘදාගාමි මාර්‍ගචිත්තය හා ඵලචිත්තය ද, අනාගාමි මාර්‍ග චිත්තය හා ඵලචිත්තය ද අර්හත් මාර්‍ග චිත්තය හා ඵලචිත්තය ද පහළ වෙනුවා ඇත.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත් වා!

ප්‍රඥාප්‍රභා 4

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

අනුග්‍රහය දැක්වුවේ www.sobhana.net සහෝදර වෙබ් අඩවියයි

3750
Thanks!
An error occurred!

“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි!

එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි.

පහත දැක්වෙන්නේ ඒ ගීතයේ අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝ එකක්, මඳකට එය නරඹන්න…

භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

“සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”

අටවිසි පිරිතේත්, පිරිත් පේ කිරීමේදීත්, මහ පිරිතේ අන්තිමටත් මේ ආශීර්වාද ගාථා රත්නයෙන් ආශීර්වාද කරන බව බෞද්ධ ඔබ දන්නවා ඇති.

මහා මංගල සූත්‍රයේ අඩංගු මංගල කාරණා ජීවිතයට උදාවෙන්න කියලයි මෙහෙම ආශීර්වාද කරන්නේ, ඒත් මෙම ගයාන් පෙරේරා නැමැති පුද්ගලයා විසින් ඔහුගේ කසිකබල් සින්දු වලට ඒ පිවිතුරු උත්තරීතර ආශීර්වාදය යොදාගෙන තිබෙන්නේ ඊනියා මධුසමයක් එක්ක සම්බන්ධ කරලයි.

මිනිසුන්ගේ රාගය අවුස්සන අනඟ ‍රැඟුමක පසුබිකට මේ පිවිතුරු ගාථාරත්නය යෙදීමෙන් මොවුන් මොකක්ද අදහස් කරලා තියෙන්නේ. මඟුල් ගෙදරකදී වුණත් මේ ගාථා වලින් ආශිර්වාද කරද්දී මනාල යුවළ කොතරම් සංයමයකින් සිටිනවාද කියල ඔබ දන්නවානේ.

ගයාන් පෙරේරා

සුනිල් පෙරේරාත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට කොතරම් අපහාස කළ පුද්ගලයෙක්ද කියා ඔබ දනන්වා ඇති. “අයි ඩෝන්ට් නෝ වයි” වැනි ගීත දෙස බලන විට, ඔහුගේ ගීත වල ඇත්තේ සිංහල බෞද්ධයන් කෙරෙහි ක්‍රෝධය නොවේද? ඒ ගැන අනුකම්පා කරමින් කිසිවක් නොකර සිටි නිසා දැන් ඔහුගේ පුතන්ඩියා වන ගයාන් පෙරේරාත් බුදු දහමට දිගට හරහට පහර දෙන්න පටන් අරගෙන. මේ ගැනත් කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටියොත්, රුපියල් ශත ඉදිරියේ ඕනෑම දහදුරා වැඩක් කරන මොවුන් ඉස්සරහට “අකෝන්” කළාක් මෙන් බුදුන් ඉදිරිපිට නිරුවත් කාන්තාවන් නර්තනයේ යෙදෙන ගීත වුණත් හදන්නේ නැතිව සිටීවිද?

මිතුර, මේ අපගේ පූජනීය බුදු දහම ඉලක්ක කරගෙන සැලසුම් සහගතව කරන ලද ප්‍රහාරයක්. අමා මෑණියන් වහන්සේට පස් වරක් පුද දෙන ලද මේ පින් බිමේදීම සිටිමින් ඔවුන් මේ සමච්චලයට ලක් කරන්නේ ඔබගේ මුතුන් මිත්තන් අවූරුදු දෙදහස් හයසීයක් කල් දිවි පුදා ‍රැක ගත් ඒ උතුම් බුදු දහමයි. ඔබට සසර දුකින් එතෙර වීමට උපකාරී කරන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, නිවන් දක්නා තුරා ඔබව ආරක්ෂා කරනා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, එවැනි අසත්පුරුෂයන්ගේ පහත් ආශාවන් තෘප්තිමත් කර ගැනීමට හා නින්දාවට ලක් කිරීමට ඉඩ දී කිසිදු නීතිමය ක්‍රියාවක් ගන්නේ නැතිව උඩබලාගෙන සිටිමුද?

ඔබ අසා තිබෙන්න පුළුවන් ඉහත දැක්වෙන ඉරාජ්ගේ “සිත්ති මනීලා” ගීතය. අන්න ඒ ගීතය දැන් ශ්‍රී ලංකාව තුළ තහනම් කරලා. ඒකට හේතු වුණේ ඒ ගීතය අතරමැද මුස්ලීමුන්ගේ අල්ලාහ් වෙනුවෙන් සලාත් (Pray) කරන නාදයක් ඇතුළු කර තිබීමයි. එහෙම වෙලා තියෙද්දීත්, අමු අමුවේ බුදු දහමට අපහාස කරන “ටිකෙන් ටික” ගීතය තහනම් නොකළොත් ඉන් හැඟවෙන්නේ සිංහලයන්ගේ රටේ සිංහලයන්ට වඩා මුස්ලීමුන් බලවත් කියල නොවෙයිද?

“මට ඔබට වෙඩි තැබිය හැකිය, ඒත් ඔබට ඒ ගැන පොලීසියටවත් පැමිණිලි කළ නොහැක, ඒ ඔබ අන් අයට මෙත් වඩන බෞද්ධයෙක් බැවිනි, පොලිසීයට පැමිණිලි කළොත් ඔබ මට ක්‍රෝධ කළා වෙයි….. අබෞද්ධ අප දඩයක්කරුවන්ය, ඒත් ඔබ බෞද්ධයෙක් නිසා දඩයම බවට පත් විය යුතුය” ඔන්න ඕක තමයි අද කාලයේ අබෞද්ධයින් විසින් සිංහල බෞද්ධයන්ට කියන්නේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ මෙහෙම දැක්වෙනව.

9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).

සිංහල බෞද්ධයින් වන අපි කිසිදාක සතුරෙකුටවත් වෛර කරන්නේ නෑ. එනිසාම විහින් තම සසර ගමන දික් කරගත් ගයාන් පෙරේරා කෙරෙහිත් අපිට වෛරයක් නෑ. ඒ මෛත්‍රීසහගත සිතුවිලි සහිතවම, ගයාන් ඇතුළු බෞද්ධ විරෝධී කල්ලියේ නීතිවිරෝධී වැඩපිළිවෙළට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි සියල්ලන්ම එක්කාසු විය යුතුයි.

සෑම පොහොයකටම තම මැදුරේදී බණ අසන පින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි, මේ සිංහල රටේ ථේරවාදී සම්ප්‍රදායේ භාරකරුවා වන ඔබතුමාගෙන් අපි ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ අංශ යොමු කරන ලෙසටයි. ක්‍රිස්තියානි ආගමට අපහාස වෙන “The Da Vinci Code” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, ළමා අපචාරයක් පෙන්වන අසෝක හඳගමගේ “අක්ෂරය” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, බුදු දහමට අපහාස කරන එම “ටිකෙන් ටික…” ගීතයත් තහනම් කර මේ පව්කාරයාට රටේ නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අදාළ අංශ යොමු කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. ඔබතුමාට පියෙක්ට සේ ආදරය කරන සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු කඩ කර ඔබතුමාට ඇති ජනබලය නැති කරගන්න එපා.

3735
Thanks!
An error occurred!

මනසින් ලෝකය තනා ගැනීම හෙවත් සසරේ ගමන් කිරීම


අප සියලු දෙනා ජීවත් වෙන මේ ලෝකය අවබෝධකිරීම තිබෙන සියලුම ප්‍රශ්න වල විශාලම ප්‍රශ්නයයි. ඒ පිළිබඳව බොහෝ දාර්ශනිකයන් ආගමිකයන් කතා කර තිබේ.

මේ සියලුම මත අභිබවමින් බුදු දහමේ මනස පිළිබඳ ලෝකය පිළිබඳ විග්‍රහය අද්විතීය දේශනවක් වේ. අද මේ දේශනාව අවබෝධ කිරීමට නොහැකි නිසා සමහරු අභිධර්මය බුද්ධ දේශනාවක් නොවන බව කිසිම හිරිකිතයක් නොමැතිව කියයි. ඒ පිළිබඳ තීරණ ගැනීමට අපි මහා සංඝරත්නයට භාර කරමු.

අද බොහෝ පොත් පත් මනස පිළිබඳව පළවන අතර මේ සියලුම දේ බුද්ධ ධර්මයෙන් ණයට ගත් බව සොයාබැලූ විඅ දැකිය හැක. වෙන දෙයක් තබා නවතම දාර්ශනික මත යැයි කියන, පරිසර විද්‍යාව කළමනාකරණ මුලධර්ම, ක්වන්ටම් භෞතිකය පවා බුදු දහමෙන් ණයට ගත්තද ඒවා බොල් ණය පමණක් නොව ඒ ගැන සඳහනක්වත් නොකරයි. ඒ පිළිබඳව අපට කිසිදු චිත්ත වික්ෂෝපයක් නොමැත. ඒ අපිට නියම බෞද්ධ මනසක් ඇති බැවිනි.

දැන් අප මනස පිළිබඳ මනසින් සොයා බලමු. මනස විඥානය (consciousness) යනු එකක් නොව, විඥාන එකතුවකින් සාදන මනසක් හටගෙන ඇත. අපට ඇස කන නාසය දිව හා ශරීරය ඇත. මේ සියලු ස්ථාන වල ඇතිවන ස්කන්ධ 5 ක් පවතී. ඇසින් දැකීම පමණකින් ඒ රූප වේදනා සඤ්ඤා සංඛාර හා විඥාන ඇතිවීම හැරුණුකොට සත්වයෙක් වශයෙන් ඇති ලෝකයක් හෝ සත්වයෙක් නොමැත. මේ ආකාරයෙන් මනසින් සිතීම පවා නැති මනස පිළිබඳව නිවැරදි දැකීමකට මග හෙළි කිරීමකි. දැන් මේ නිවැරදි දැකීම නිසා අවිද්‍යාව එනම් නොසලකා හැරීම මනසින් ඈත්වෙමින් යනු ඇත. මේ ලෙස අප පැවසුවද මෙය තම තමා විසින්ම කළ යුතු ප්‍රත්‍යක්ෂ දැනුමකි. එවිට නිරීක්ෂකයෙන් නොමැතිව ලෝකය (තමා) අවබෝධ කිරීමට හැකි වේ.

නිරීක්ෂකයෙකු සිටීම නිසා ලෝකය පිළිබඳ අවිද්‍යාව පහළ වේ. බටහිර විද්‍යාවේ මූලික ප්‍රශ්නයත් එයයි. අපගේ විද්‍යාවක් නිර්මාණය කිරීමටනම් අප මමය මාගේය යන මායාවෙන් වෙන් විය යුතුය.

අප සමහර සම්මුතියන් සඳහා පමණක් මම තබා ගෙන, සංකල්ප සෑදීමට අභිඥාලාභීන්ගේ පිහිටක් පැතිය යුතු වේ.

එසේ නොමැති වුවහොත් මම හෝ ලෝකයත් යථා කාලයේදී අනිවාර්යයෙන්ම විනාශ වනු නො අනුමානය.

චාමික කරුණාරත්න
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]

3721
Thanks!
An error occurred!