දිනෙන් දින බුදු සසුනට විරුද්ධව එල්ල වෙමින් පවතින බියකරු තර්ජන හමුවේ, මතු පරපුරේ හයපත තකා “බුදු සසුන රැක ගැනීම” කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ. ඒ සඳහා පෙළගැසෙන බොහෝ දෙනා හට දක්වන මතවාදීමය සහයෝගයක් වශයෙන් මෙම ලිපිය දිග හැරෙයි.
… බුදු දහමෙහි ඇති ගුණයක් වන “අකාලික” නැමැති ගුණය …
“අකාලික” දහම් ගුණයට අනුව බුදු දහම සදාකාලිකව ලෝකයේ රැඳේ යැයි සමහර අය අදහන අතර ඔවුන්ට අනුව සදාකාලිකව පවත්නා බුදු දහම අමුතුවෙන් රැක ගැනීමට දෙයක් නැත. නමුත් “අකාලික” යනු “සදාකාලික” යන්න ද? අකාලික ගුණය ගැන සමිද්ධි සූත්‍රයේ මෙලෙස දැක්වෙයි.
[[සූත්‍ර පිටකය, සංයුත්ත නිකාය, සගාථ වර්ගය, දෙවතාසංයුත්තය, නන්දන වර්ගය, සමිද්ධි සූත්‍රයෙන්]]
“මේ ධර්‍මය වනාහී මේ ආත්මයෙහිම තමා ඇස් හමුයෙහි ඵල ඇත්තේය. අකාලිකය (කල් නොයවා පල දෙන්නේය.)”
අකාලික දහම් ගුණ පදය විශුද්ධිමාර්ගයෙහි විග්‍රහ වන්නේ මෙ සේ ය:
“අත්තනො ඵලදානං සන්‍ධාය නාස්ස කාලොති අකාලො, අකාලොයෙව අකාලිකො. න පඤ්චාහසත්තාහාදිහෙදං කාලං ඛෙපෙත්වා ඵලං දෙති, අත්තනො පන පවත්තිසමනන්තරමෙව ඵලං දෙති” -
තමන් ගේ හෙවත් තමන් විසින් කරන ලද කුශල කර්‍මයාගේ ඵලදානය හෙවත් විපාක දීම සඳහා බැලිය යුතු කාලයක් නැත්තේ නු යි අකාල නම් වේ. අකාලය ම අකාලික යි. ලෞකික කුශලයනට මෙන් විපාක දීමට පස් දින සත් දින ආදි හෙද ඇති කාලය ගෙවා පල නො දේ. තමන් ගේ හෙවත් ලොකොන්තර කුශල කර්‍මයාගේ පැවැත්මට අනතුරු වැ ම පල දේ.
ඒ අනුව “අකාලික” පදය ධර්මාර්ථමය වශයෙන් ගත් කල “කිසිදු කාලයක් නොගොස් විපාක දෙයි” යන අරුත ලැබේ. ඉහත නිර්වචන අනුව “අකාලික” යනු “සදාකාලික” හෝ “කාලය රහිත” නොවන බව පැහැදිළි වෙයි.
… බුද්ධ ධර්මය අතුරුදන් වීම …
ධර්මය අතුරුදන් විම යනු, අනිච්ච දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන් තවදුරටත් බලනොපැවැත්වීම ලෙස වරදවා නොගත යුතුය. බුද්ධ ධර්මය යනු නිර්වාණමාර්ගය නිසා, ධර්මය අතුරුදන් වීම යනු නිර්වාණ මාර්ගය අවබෝධ කරගැනීමේ හැකියාව නැති වී යාමක් බව සූත්‍ර දේශනා අනුව පැහැදිළි වෙයි. එනම් ත්‍රිලක්ෂණය හැම කල්හිම තිබුණ පමණට, බුදු දහම අවබෝධ කරගෙන නිර්වාණය ලබාගත නොහැකිනම් බුදු දහම අතුරුදන් වී ඇත. යම් කලකදී බුද්ධ දේශනාව වටහා ගැනීමට නොහැකි වී යාමට හේතු ලිපියේ මැද කොටසේදී විස්තර වෙයි. නමුත් එලෙස අතුරුදන් වු බුදු දහම නැවතත් තවත් බුද්ධෝත්පාද කල්පයකදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්ම විසින් මතු කර ගන්නා බව සංයුත්ත නිකායේ නගර සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් හි දැක්වේ.
… සද්ධර්මය අන්තර්ධාන වෙන ආකාරයන්, සූත්‍ර දේශනා වලට අනුව …
බුදු දහම අන්තර්ධාන වෙන ආකාරය ත්‍රිපිටකයේ දැක්වෙන අතර, අප ණැන පමණින් එම සූත්‍ර දේශනා මෙලෙස පෙළගස්වමු.

[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, පඨම සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.”
“කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහු සකස්කොට ධර්‍මය නොඅසත්ද, සකස්කොට ධර්‍මය නොපිරිවහත්ද, සකස්කොට ධර්‍මය නොදරත්ද, සකස්කොට දරන ලද ධර්‍මයන්ගේ අත්‍ර්‍ථය පරීක්‍ෂා නොකරත්ද, සකස්කොට අන්‍ර්‍ථය දැන, ධර්මය දැන, ධර්මයට අනු ධර්‍මයෙහි නොපිළිපදිද්ද යන පසයි.”
[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, දුතිය සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
“මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්. ”
“කවර පසක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය නොපිරිවහද්ද, මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා නොකෙරෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.”
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොකියවත්ද, මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණස පවතීි.”
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරත්ද, මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.”
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය සිතින් අනුව කල්පනා නොකෙරෙත්ද, අනුව නොසොයත්ද, සිතින් අනුව සළකා නොබලත්ද, මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.”
[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, තතිය සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
´´මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණස අතුරුදන්වීම පිණිස පවතිත්.
´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු නොමනා කොට ගන්නා ලද සූත්‍රාන්තය නපුරුකොට බහණලද පද ව්‍යඤ්ජනවලින් යුක්තව පිරවහද්ද, මහණෙනි, අයහපත්කොට බහණලද පද ව්‍යඤ්ජන ඇත්තහුගේ අර්ථයද දුරවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු නපුරු වචන ඇත්තාහු, අකීකරුභාවය කරන්නාවූ ධර්මයන්ගෙන් යුක්තවූවාහු නොඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් නොගන්නාහු වෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. බහුශ්‍රුතවූ, පැමිණි ආගම ඇත්තාවූ, ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ, මාතෘකා දරන්නාවූ යම් ඒ භික්‍ෂූහු වෙත්ද, ඒ භික්‍ෂූහු සකස්කොට සූත්‍රාන්තය අනිකාට නොකියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන්වූ මුල් ඇත්තේ පිළිසරණ රහිත වේත මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍ය බහුල කොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරි වූවාහු, උතුම් විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තාහු වෙද්ද, නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණස, වීය්‍ර්‍යය පටන් නොගණිද්ද, ඔවුන්ගේ පශ්චම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී, සස්න ලිහිල් කොට ගැණීම ඇත්තී. නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරිවූවා, උතුම් විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තී වේ. නොපැමිණියහුගේ පැමිණීම පිණිස. නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රතයක්‍ෂ කිරීම පිණිස වීය්‍ර්‍යය පටන් නොගණියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. සංඝතෙම බිඳුනේ වේද, මහණෙනි, භික්‍ෂු සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට නින්‍දා කරන්නාහුද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්. එහි අප්‍රසන්න වූවාහුද නොපහදිත්. ප්‍රසන්නවූද ඇතැම් කෙනෙකුගේ අන් පරිදි බව වේ. මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ
මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන පමාද සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳු අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදය සද්ධම්මයාගේ විනාසය පිණිසද අතුරුදන්වම පිණිසද පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන කොසජ්ජ සූත්‍රසූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණසත් අතුරුදන්වම පිණිසත් පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධානමහිච්ඡතා සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ දැඩි ලෝභී බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත්
පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, දැඩි ලෝභී බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන අසන්තුට්ඨිතා සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන අයෝනිසෝමනසිකාර සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ අනුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, අනුවණින් මෙනෙහි කිරම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තර අසම්පජඤ්ඤ සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.´´
ඉහත සූත්‍රයේ දැක්වෙන පරිදි වර්තමානයේදී සමහරුන් එක් එක් මතවාදයන්ට “මුලා වී” එම මතවාදයන් අන් අය ඉදිරියේ ඔප්පු කිරීමට, වරෙක ශ්‍රී සද්ධර්මයේ එම මතවාදය සමීපව යන කොටසක් පමණක් ගනිමින්ද, තවත් වරෙක එම මතවාදයට විරුද්ධ ධර්ම කොටස් පතික්ෂේප කරමින්ද, තවත් වරෙක එම මතවාදය ඔප්පු කිරීමට බුදු දහම විකෘති කර දක්වමින්ද හැසිරෙයි. එනිසා ද්‍රව්‍යවාදීන්, ස්ත්‍රීවාදීන්, මාක්ස්වාදීන්, විඤ්ඤාණවාදීන්, හේතුවාදීන්, ගෝත්‍රිකවාදීන්, ඉතිහාස අතිශෝක්තිකවාදීන් මෙන්ම විද්‍යාගමිකයන්, නිර් ආගමිකයන් ආදීන් බුදු දහම හෝ ශාසනයට බලපාන දෑ විස්තර කිරීමේදී , ඒවා කියවන අය විසින් ත්‍රිපිටක මූලාශ්‍ර අනුව සසඳා බැලිය යුතුය. මන්දයත් ඉහත එක් එක් මිත්‍යාදෘෂ්ඨිකයින්ට අවශ්‍ය තමන් දෘෂ්ඨිගත වූ මතවාදයන් සාධාරණීකරනය කිරීමට මිස බුදු දහම හදාරා නිර්වාණාවබෝධය ඇතිකරගැනීම නොවන නිසාය. “පරස්පර ධර්ම දේශනා සහ ධර්ම ප්‍රතිරූපකයන් අතරින් නිවැරදි ධර්මය හඳුනාගන්නා ආකාරය” ගැන සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ මීට පෙර විස්තර වුණ ලිපිය ඒ සඳහා උපකාර වේවායි පතමි.
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන පාපමිත්තා සූත්‍රයෙන්]]
´´මහණෙනි, එසේම පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මන්තරධාන අකුසලානුයොග සූත්‍රයෙන්]]
´´මහණෙනි, එසේම අකුශල ධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් ( ස්වභාවයෝ ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ ) විනාශය පිණිසද, අතුරුදන් වීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, අකුශල ධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් (ස්වභාවයෝ ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ ) විනාශය පිණසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.´´
… සද්ධම්ම ප්‍රතිරූපක …
සංයුත්ත නිකායේ, කස්සප සංයුත්තයේ, සද්ධම්මප්පතිරූපක සූත්‍රය තුළින් ධර්මය අතුරුදන් වෙන ආකාරය ඉතාමත් මැනැවින් විස්තර කෙරී ඇත.
සද්ධම්මප්පතිරූපක සූත්‍රය.
මා විසින් මෙසේ අසසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති, ආයුෂ්මත් මහා ස්සප තේම් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවු ආයුෂමත් මහාකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
ස්වාමීණි, යම් හෙයකින් පෙර ශික්ෂාපදයෝ ඉතා ස්වල්ප වූවාහුද බොහෝවූ භික්ෂුහු රහත් බැව්හි පිහිටියාහුද ඊට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද ස්වාමීනි, යම් හෙයකින් දැන් ශික්ෂාපදයෝ ඉතා බොහෝ වූවාහුද ඉතා ස්වල්පවූ භික්ෂුහු රහත් බැව්හි පිහිටියාහුද ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද කස්සපය, මෙය වනාහි මෙසේ වෙයි. සත්වයන් පිරිහෙන කල්හි සද්ධර්මය අන්තර්ධාන වන කල්හි ශික්ෂාපද ඉතා බොහෝ වෙත්. ඉතා ස්වල්පවූ භික්ෂුහු රහත්බැව්හු පිහිටත්. කස්සපය යම්තාක් ලොකයෙහි සද්ධර්ම ප්‍රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) නූපදිද, ඒතාක් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය යම් තැනක පටන් ලොකයෙහි සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක් ) උපදීද එකල්හී සද්ධර්මයාගේ අනතර්ධානය වෙයි. කස්සපය, යම්සේ වනාහි යම්තාක් කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලොකයෙහි නූපදීද, ඒ තාක් කල් ජාතරුපයාගේ (රත්රනයේ) අන්තර්ධානය නොවේ. කස්සපය, යම් තැනෙක පටන් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදීද අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය මෙසේම වනාහි යම්තාක් කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදීද ඒතාක් කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය යම් තැනෙක පටන් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලොකායහි උපදීද එකල්හී සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.
කස්සපය , පඨවිධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. අපෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරයි. එතකුදු වුවත් මේ ශාසනයෙිම ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවු මෝඩ (හිස්) පුරුෂයෝ උපදිති. කස්සපය යම්සේ වනාහි නැවක් බඩු පිරවීමෙන් කිඳෙයිද කස්සපය සද්ධර්මය වනාහි එසේ පය්‍ර්‍යප්ති ප්‍රතිපත්ති පිරීමෙන් අන්තර්ධාන නොවේ.
කස්සපය, සද්ධර්මය පිරිහෙන්නාවු සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නාවු මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. කවර පසක්ද? කස්සපය,
[1] මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුනී , උපාසක , උපාසිකාවෝ ශස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද
[2] ධර්මය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද
[3] සංඝයා කෙරෙහි ගෞරව නැතිව , යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද
[4] ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද
[5] සමාධිය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද
කස්සපය මේ කරුණු පස සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නා කරුනු වෙත්.
කස්සපය, සද්ධර්මයාගේ පැවැත්ම පිණස, නැති නොවීම පිණිස, අන්තර්ධන නොවීම පිණිස පවත්නාවූ කරුනු පසක් වෙත්. කවර පසක්ද කස්සපය,
[1] මේ ශාසනයෙහි භික්ෂු භික්ෂුනී ,උපාසක ,උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් ආතිව වාසය කෙරෙත්ද
[2] ධර්මය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද
[3] සංඝයා කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරත්ද
[4] ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද
[5] සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද
කස්සපය මේ ධර්මයෝ පස්දෙන වනාහි සද්ධර්මයාගේ පැවැත්ම පිණිස නැති නොවීම පිණිස අන්.ර්ධාන නොවීම පිණිස පවත්නාහුය.
… සද්ධර්මය රැක ගන්නා ආකාරය, සූත්‍ර දේශනා වලට අනුව …
බුදු සසුනේ පැවැත්ම පිණිස ඉවහල් වෙන සූත්‍ර දේශනා වල උදෘතයන්, අප ණැන පමණින් මෙලෙස පෙළගස්වමු.
[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, පඨම සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතිත්. ´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහු සකස්කොට ධර්‍මය අසත්ද, සකස්කොට ධර්‍මය පිරිවහත්ද, සකස්කොට ධර්‍මය දරත්ද, සකස්කොට දරන ලද ධර්‍මයන්ගේ අත්‍ර්‍ථය පරීක්‍ෂා කරත්ද, සකස්කොට අර්ථය දැන, ධර්මය දැන, ධර්මයට අනු ධර්මයෙහි පිළිපදිත්ද යන පසයි.´´
[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, දුතිය සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
´´මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහනොවීම පිණිස අතුරුදන්නොවීම පිණිස පවතිත්.
´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්‍මය පිරිවහද්ද, මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට කියවත්ද, මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණස, අතුරුදන් නොවීම පිණිස පවතී.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කෙරත්ද, මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය සිතින් අනුව කල්පනා කරත්ද, අනුව සොයත්ද, සිතින් අනුව සළකා බලත්ද, මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධම්මයාගේ මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණස පවතියි.
[[අංගුත්තර නිකාය, පඤ්චක නිපාතය, හතරවන පණ්නාසකය, සද්ධර්ම වර්‍ගය, තතිය සද්ධර්මන්තරධාන සූත්‍රයෙන්]]
´´මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහ නොවීම පිණස අතුරුදන් නොවීම පිණිස පවතිත්.
´´කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු මනාව ගන්නා ලද සූත්‍රාන්තය මනාව බහණලද පද ව්‍යඤ්ජනවලින් යුක්තව පිරිවහද්ද, මහණෙනි, මනාව බහණලද පද ව්‍යඤ්ජන ඇති සූත්‍රාන්තයාගේ අර්ථයද සුඛාවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු යහපත් වචන ඇත්තාහු, සුවචභාවය කරන්නාවූ ධර්මයන්ගෙන් යුක්තවූවාහු ඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් ගන්නාහු වෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. බහුශ්‍රුතවූ, දැනගත් පිටකත්‍රය ඇත්තාවූ, ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ, මාතෘකා දරන්නාවූ යම් ඒ භික්‍ෂූහු වෙත්ද, ඔවුහු සකස්කොට අනිකාට කියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන්වූ මුල් ඇත්තේ නොවේ. පිළිසරණ සහිත වේ. මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු නොවෙද්ද, සස්න ලිහිල් කොට ගත්තාහු නොවෙද්ද, නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබණලද ධුර ඇත්තාහු, උතුම් විවේකයෙහි පෙරදැරි වූවාහු වෙද්ද, නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, වීය්‍ර්‍යය පටන් ගණිත්ද, ඔවුන්ගේ පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී නොවේ, සස්න ලිහිල් කොට ගැන්ම ඇත්තී නොවේ. නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබනලද ධුර ඇත්තී, උතුම් විවේකයෙහි පෙරදැරි වේ. නොපැමිණියහුගේ පැමිණීම පිණිස. නොලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීය්‍ර්‍යය පටන් ගණියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. සංඝතෙම සමගිවූයේ, සතුටුවනු ලබන්නේ, විවාද නොකරන්නේ, එක්ව උදෙසීම් ඇත්තේ, පහසුවෙන් වාසය කෙරේද, මහණෙනි, සංඝයා වනාහි සමගිවූ කල්හි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද නොම වෙත්. ඔවුනොවුන්ට නින්‍දා නොකරන්නාහුද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහුද නොවෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද නොවෙත්. එහි අප්‍රසන්න වූවාහුද පහදිත්. ප්‍රසන්නවූවන්ගේද බහුලතාවය වේ මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිති අප්පමාද සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ අප්‍රමාද බව සද්ධම්මයාගේ පැවැත්ම පිණිසත් නොවිනාසය පිණිසත් අතුරුදන් නොවීම පිණිසත් පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, අප්‍රමාද බව සද්ධම්මයාගේ පැවැත්ම පිණසද නොවිනාසය පිණසද අතුරුදන් නොවීම පිණිසද පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිති විරියාරම්භ සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය සද්ධම්මයාගේ පැවැත්ම පිණසද විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය,සද්ධම්මට්ඨිති සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ අලෝභී බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, අලෝභී බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසච, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨති සන්තුට්ඨිතා සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් වීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිතියෝනිසෝමනසිකාර සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ නුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, නුවණින් මෙනෙහි කිරම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිතිසම්පජඤ්ඤ සූත්‍රයෙන්]]
´´මහණෙනි, යම්සේ මනා ප්‍රඥා ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, මනා ප්‍රඥා ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිති කල්‍යාණමිත්තතා සූත්‍රයෙන්]]
´´මහණෙනි, එසේම යහපත් මිතුරන් ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, යහපත් මිතුරන් ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´
[[අංගුත්තර නිකාය, එක නිපාතය, චතුකොටිකය වර්‍ගය, සද්ධම්මට්ඨිති කුසලානුයෝග සූතයෙන්]]
´´මහණෙනි, එසේම කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද, ´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. ´´මහණෙනි, කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´
ඉහත සූත්‍ර දේශනාවන් මෙම යොමුවෙන් ඔබට පරිශීලනය කිරීමට පුළුවන්.
… අන්‍යාගමික අන්තවාදයන්ගෙන් බුදු සසුන රැක ගැනීම ඒ අනුව අනවශ්‍යද? …
ඉහත සූත්‍ර දේශනා හුවා දක්වන අන්‍යාගමික අන්තවාදීන්, “ඒ සුත්‍ර අනුව අපගේ ආගමේ අන්තවාදයෙන් බුදු දහම රැක ගැනීමට සමහරුන් කතා කිරීම බොරු වැඩක්” බවත් “එවැන්නක් බුද්ධ දේශනාවේ නොමැති” බවත් කීමට ඉඩ තිබේ. නමුත් ඉහත සූත්‍ර දේශනාවන් විමසා බලද්දී හොඳින් වැටහෙන දේනම් බුදු දහම සුරැකෙන්නේ දහමේ යෙදෙන ශ්‍රාවක සංඝයා වහන්සේලා නිසා බවයි. එනම් බුදුරජාණන් වහන්සේ ඉහත සියලුම අවවාදයන් දී ඇත්තේ භික්ෂූන් වහන්සේලාටමය. වර්තමානයේදී සමහර අන්තවාදී ආගමික කොටස් වලින් සසුනට සෘජුව බලපෑම් ඇති වන අතර සමහර ආගම් මෙරට ප්‍රධාන ආගම බවට පත් වුවහොත් එදාට භික්ෂූන් වහන්සේලාට දහමේ යෙදීමට නොහැකි බවට පත් වෙන බව ඔවුන් බහුතරය වී සිටින නමුත් තාමත් බෞද්ධයින් සිටින රටවල්/ප්‍රදේශ වල සිදුවෙන හද කම්පනය වෙන දෑ වලින් පැහැදිළි වෙයි.
ඊට අමතරව “සද්ධම්මන්තරධාන පාපමිත්තා සූත්‍රය” ට අනුව පාප මිත්‍රයින් ඇසුරු කිරීමද සද්ධර්මය අතුරුදන් වීමට හේතුවකි. පාප මිත්‍රයින් ලෙස හැඳින්වෙන අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණී, අපායසහය යන ගති ඇති අන්තවාදී ආගමික කොටස් ගැන අපි හොඳාකාරවම දනිමු. ඔවුන්ව ඇසුරු කිරීම හෙවත් ඔවුන් සමග ගණුදෙනු කිරීමේ සිට ඔවුන් සමග හිතවත්කම් පවත්වාගැනීම දක්වා දෑ වලින් බුදු සසුන අතුරුදන් වීම සිදුවෙන ආකාරය අපට සිතාගැනීමට පුළුවන.
එනිසා අන්‍යාගමික අන්තවාදීන්ගෙන් සසුන රැක ගැනීමත් වැදගත් වෙන අතර, එනමුත් සසුන රැක ගැනීමට යාමේදී කිසිම විටෙකවත් වුවමනාවෙන් බුදුන් වදාල අවවාදයන් කඩ නොකළ යුතුය. ඒ සඳහා, සහස්ස සංයුත්තයේ අටුවාවන් හි මෙන්ම භරු ජාතකයේ දී බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් දැක්වූ පරිදි රටේ පවත්නා නීතිය උපයෝගී කරගැනීම, සප්ත අපරිහානීය ධර්මයන් භාවිතයට ගැනීම ආදිය යොදා ගත යුතුය. එසේම සසුන අතුරුදන් වෙන ආකාරයන් ගණනාවක් බුද්ධ දේශනා තුළින්ම උපුටා දක්වා ඇති නිසා, අන්‍යාගමික අනතවාදීන්ගෙන් සසුන රැක ගැනීම පමණක් බුදු සසුන රැක ගැනීමේ එකම මාර්ගය නොවන බවත් පැහැදිළි විය යුතුය.
… ලෝකය රහතුන්ගෙන් හිස් නොවීමටනම් …
“මාගේ මේ ශාසනයෙහි භික්ෂුහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වී නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය” ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා ඇති බව දීඝ නිකායේ, මහා පරිනිර්වාන සූත්‍රයේ දැක්වේ. අටුවාචාරීන් වහන්සේලා විසින් “විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) ලෙස විග්‍ර කරන්නේද මේ දේ විය යුතුය.
… බුද්ධ ශාසනයේ අවසන් ශ්‍රාවකයා වෙන්න එපා! …
ඔබ “මාඛාදේව ජාතකය” අනිවාර්යයෙන්ම අසා ඇතුවාට සැක නැත. සමහරුන් නොදැනුවත් කමින් ජාතක කතා යනු හුදු සාහිත්‍යමය වර්ණනා යැයි කියමින් අපහාස කළද එම විස්තරය මජ්ඣිම නිකායෙ, මාඛාදේව සූත්‍රයේ සඳහන් වෙයි. එම සූත්‍රයේ අවසානයට භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ශාසනයේ පැවැත්මයට ලබාදෙන අවවදය ලොමු ඩැහැගන්වල සුළුයි, එය සියලුම භික්ෂූන් වහන්සේලාට මෙන්ම ධර්ම මාර්ගයේ යමින් බුදු දහම රැක ගැනීමට උනන්දු සියලුම දෙනාට බලවත් වීර්යයක් ඇතිකරවනවා ඒකාන්තයි!
ඒ කුමක්ද යත්,
´´ආනන්‍දය, දැන් වනාහි මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂ ඤාණය පිණිස, අවබෝධය පිණිස, නිර්‍වාණය පිණස පවතී.
´´ආනන්‍දය, දැන් වනාහි මා විසින් පිහිටුවනලද ඒකාන්තයෙන් කලකිරීම පිණස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශේෂ ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස පවතින ඒ යහපත් පැවතුම කවරේද?
´´මේ අඞ්ග අටක් ඇති ආය්‍ර්‍ය මාර්‍ග, එනම්, යහපත් දැකීම, යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් කර්‍මාන්තය, යහපත් ජීවිකාව, යහපත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය යන මොවුහුය.
´´ආනන්‍දය, දැන් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුම ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, භව නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණස, විශේෂ ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිර්‍වාණය පිණස පවතියි.
´´ආනන්‍දය, මම වනාහි නුඹට මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයෝ නොවව්. ආනන්‍දය, (මාගේ) වංශයෙහිවූ යම් පුරුෂයෙකුගේ කල්හි මෙසේවූ යහපත් පැවතුමගේ සිඳීයාම වෙයිද? හෙතෙම ඔවුන් අතර අන්තිම පුරුෂයා වෙයි.
´´ආනන්‍දය, එහෙයින් තොපට මම මෙසේ කියමි. මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවතුමට අනුව පවතිව්. තෙපි මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයෝ නොවව්´´. (කියාය.)
ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය මත පදනම් වෙමින් හැකිතාක් සංක්ෂිප්තව ලියන ලද මෙම ලිපිය, ගෞතම බුද්ධ ශාසනය තවත් චිරාත් කාලයක් රැක ගැනීමට ඉවහල් වේවා! මෙය ලිවීමට වටිනා සහයෝගයක් ලබාදුන් කණිෂ්ක ඩිල්ශාන් මහතාටත්, සිංහල බෞද්ධයා වෙබ් අඩවිය හා එක් වී සිටිමින් අපව දිරිගන්වන ගෞරවනීය භික්ෂූන් වහන්සේලා ප්‍රධාන සියලුම මිතුරු මිතුරියන්ටත් පින් සිදුවේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි!
- රංග ජයවර්ධන -

නුදුරු සහෘද අදහස්