කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
උඹයි මගේ පුතා සමත්
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බුදු දහමේ චිරස්ථිතිය පිණිස දස අවුරුදු වැඩ සැලැස්ම

2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව

(2012 වෙසක් පෝදා සිට ඉදිරියට)

 

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්

2012 වෙසක් පෝ දින සිට ඉදිරි දස වසරක කාලය තුළ

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සහ සදාචාරවත්

ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම සඳහා

ක්‍රියාත්මක කිරීම පිණිස

සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව විසින්

යෝජනා කරන වැඩ සටහන.


2600 සම්බුද්ධත්ව ජයන්තිය ඉතා සාර්ථකව පැවැත්වීම උදෙසා මෙහෙයුම් කමිටුවක් පත්කොට ඒ තුළින් ලාංකික සමාජය ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් පුබුදුවා අර්ථවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීම පිළිබඳව ඉමහත් ප්‍රසාද පූර්වක ආශීර්වාදය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත, පළමුව පිරිනමමු.

එකී වැඩ පිළිවෙළට සම්බන්ධ පහත දැක්වෙන සිව් වැදෑරුම් ක්ෂේත්‍රයන්ට අදාළ යෝජනාවලිය මෙහෙයුම් කමිටුව මඟින් සකසා සම්මත කොට දස වසරක කාලය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් වෙත ශාසනාලයෙන් යුතුව ඉදිරිපත් කරමු.

  1. I. ශාසනාභිවෘද්ධිය
  2. II. සදාචාර වර්ධනය
  3. III. දහම් අධ්‍යාපනය
  4. IV. මාධ්‍ය දායකත්වය

 

1. ශාසනාභිවෘද්ධිය

යෝජනා අංක - 1

පහත දැක්වෙන ශාසනික පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ක්‍රියාත්මක කිරීම.

2600 සම්බුද්ධත්ව ජයන්ති විසිවැදෑරුම් වැඩ පිළිවෙළ යටතේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා  වැදගත් වන ශාසනික අණපනත් කීපයක්ම සඳහන් වේ. මෙහෙයුම් කමිටුව විශේෂ අවධානයක් ඒ වෙනුවෙන් යොමුකරන ලද අතර මෙහෙයුම් කමිටුව විසින් පත්කරගත් අනුකමිටුව මාර්ගයෙන් වාර ගණනාවක් රැස්වී අදාළ පාර්ශ්වයන් කැඳවා සාකච්ඡා කොට අදාළ නිළධාරීන් මෙහෙයවා සමාලෝචනය කරවා ගන්නා ලද පනත් කෙටුම්පත් මෙසේ ය.

 

i.  බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධන කිරීමේ පනත් කෙටුම්පත

දීර්ඝ කාලයක් තිස්සේ පිළියෙළ කොට සාකච්ඡා කරමින් පැවතුනු මෙම සංශෝධන කෙටුම්පතේ විධිවිධාන සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක මාහිමපාණන් වහන්සේලාගේ ද, අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ද ලිඛිත අනුමතිය මේ වන විට ලබා දී ඇත.

ඒ අනුව මෙම කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග නොපමාව ගත යුතුව ඇත.

 

  1. ii. බුද්ධශාසන පනත් කෙටුම්පත -

ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව අර්ථ  නිරූපණය කරමින් එම වගන්තිය බලගැන්වීම සඳහා වන කෙටුම්පතකි. මෙයට ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුමතිය පළකර ඇත.


  1. iii. බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත් කෙටුම්පත -

මුද්‍රිත ගුවන්විදුලි, විද්යුත් ආදි වශයෙන් භාවිත වන සියලු සංනිවේදන මාර්ගවලින් බුදුදහම විකෘති කොට දැක්වීම හා එමඟින් බුදුරජාණන්වහන්සේට, ධර්මයට හා සංඝයා වහන්සේට ආදි වශයෙන් ශාසනය අවමානයට භාජනය කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එම ක්‍රියාවන් වැළැක්වීම බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත් කෙටුම්පතේ අදහසයි. මෙම කෙටුම්පතට ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුමතිය ලබාදී ඇත.


  1. iv. දසසිල්මාතාවන් හා එම ආරාම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත

සිල්මාතාවන්ට හා සිල්මාතා අරාමවලට නෛතික පිළිගැන්විමක් ඇතිකෙරෙන කෙටුම්පතකි. මෙයට ද ත්‍රෛනිකායික මහානායක මා හිමිපාණන් වහන්සේලා අනුමතිය පළකර ඇත.


  1. v. කථිකාවත් ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිකායත්‍රයද, ඒ යටතේ වන නිකායන් හා පාර්ශ්වයන් ද පිළිගෙන තිබෙන කතිකාවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කිරීමට විධිවිධාන සැලැස්වීමද එම කථිකාවත් හි විධිවිධාන අවශ්‍යවන අවස්ථාවන්හීදී අධිකරණය මඟින් බලගන්වා ගැනීමට විධිවිධාන සැලැස්වීම ද මෙමගින් අදහස් කෙරේ.

විනයානුකූල සංඝ සමාජයක පැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් කථිකාවත් ලියා පදිංචි කරවා ගැනීම ඒ ඒ නිකායේ අභිමතය හා අභිලාශය පරිදි ඉටුකරගත හැකි බවට ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා එකඟතාව පළකර ඇත. ඒ ඒ නිකායන්ට සිය අභිමතය පරිදි තම කථිකාවත් ලියාපදිංචි කරවා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ.

 

  1. vi. අසම්මත ලෙස ආගම්වලට හරවා ගැනීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තෙවනවර කියැවීමේ අවස්ථාව දක්වාම ගොස් එතැනින් නතර වී ඇත. ශ්‍රී ලංකාව තුළ ඇති සහ රජය පිළිගත් සියළුම ආගමික සභාවන්ගේ නායකයන් තම තමන්ගේ ආගමිකයන් ආරක්ෂාකර ගැනීම පිණිස මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීම අත්‍යවශ්‍ය බවට දැන් එකඟතාව පළකර ඇත. එබැවින් මේ පනත් කෙටුම්පත නොපමාව සම්මත කර ගැනීමට සඳහා පියවර ගන්නා මෙන් මෙහෙයුම් කමිටුව ඉල්ලා සිටී.

ඉහත කී කෙටුම්පත් අතුරින් ඇතැම් ඒවා දැනටමත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

 

ක්‍රියාත්මක කිරීම සහ අවසන් කළයුතු ඉලක්ක වර්ෂය

 

  1. I.      බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත -  2013  වෙසක් පුණු පෝ දිනට පෙර
  1. II.      බුද්ධ ශාසන පනත් කෙටුම්පත  -  එම
  1. III.      බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත් කෙටුම්පත  -  එම
  1. IV දස සිල්මාතාවන් හා සිල්මාතා ආරාම පිළිබඳ පනත් කෙටුම්පත - එම
  1. V.      කතිකාවත් ලියා පදිංචි කිරීමේ පනත් කෙටුම්පත  - එම
  1. VI අසම්මත ලෙසට ආගම්වලට  හරවා ගැනීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත. - එම

 

ක්‍රියාත්මක කළ යුතු ආයතනය  :-

I.     බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

 

යෝජනා අංක - 2

ත්‍රිපිටක ධර්මය ලියැවී ඇති පාලි භාෂාව ශ්‍රී ලංකාව තුළ සුරක්ෂිත කිරීමට සහ එහි අභිවෘදධිය උදෙසා පියවර ගැනීම. 2015 වෙසක් පුණු පෝ දිනට පෙර

පාලි භාෂාවෙන් (මාගධි භාෂාවෙන්) ලියැවී ඇති සූත්‍ර විනය හා, අභිධර්ම යන ත්‍රිපිටක බුද්ධ ධර්මය හරියාකාරවත් අංග සම්පූර්ණවත් හැදෑරීමටත්, ශ්‍රාවකයන්ට හා දායකයන්ට පැහැදිලිව දේශනා කිරිමටත් පාලි භාෂාව පරතෙරට ඉගෙනගත් පැවිදි හා ගිහි පිරිසක් බිහිවීම සම්බුද්ධශාසනයේ ආරක්ෂාවටත්, චිරස්ථිතියටත්, පෝෂණයටත් ඉවහල්වන අත්‍යවශ්‍ය සාධකය වේ. මේ බැව් මැනවින් වටහාගත් මෙම මෙහෙයුම් කමිටුව ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පාලි භාෂා ප්‍රවිනයන් වශයෙන් චිර ප්‍රසිද්ධව වැඩ සිටින හා කටයුතු කරන සම්භාවනීය පැවිදි සහ ගිහි යන දෙපාර්ශ්වයේම වියතුන් විශේෂ අනුකමිටුවක් වශයෙන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ද, අනුමැතිය ඇතිව පත්කර ගෙන, වාර කීපයක්ම රැස්කරවා ගෙන පාලි භාෂාව මේ රටතුළ තවදුරටත් සුරක්ෂිතව ජීව භාෂාවක් වශයෙන් පවත්වා ගැනීමේ අරමුණින් පාලි භාෂාවේ අභිවර්ධනය පිණිස යෝජනාවලියක් නිර්දේශ කරවා ගන්නා ලදි.

ඒ අනුව කමිටුව විසින් ගන්නා ලද තීරණය පරිදි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය හා බුද්ධශාවක භික්ෂු විශ්ව විද්‍යාලය මඟින් එම කටයුතු ඉටු කරවා ගැනීමට ඇති හැකියාව විමසා බැලීම අමාත්‍ය මණ්ඩලයේ තීරණය වී ඇත. පාලි භාෂාවේ අභිවර්ධනය පිණිස ගතයුතු සම්පූර්ණ ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් මෙහෙයුම් කමිටුව විසින් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත නැවත යොමු කළ කරුණු හා නිරීක්ෂණ කෙරෙහි විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බව කමිටුවේ පිළිගැනීමය.

ක්‍රි.පූ 3 වැනි ශතවර්ෂයේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුදහම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමත් එය මේ රටේ ස්ථාපිතවිමත් නිසා බුදුදහමේ මුලස්ථානය වෙමින් ඉන්දියාව ඇතුළු අනිකුත් රටවලත් බුදුදහම පතුරුවාලීමෙහිලා ප්‍රධානම කාර්යභාරය උසුලමින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු ලෝකය තුළම සැමදාම සිහිපත් කරවන තත්වයට පත් කරවීමට ශ්‍රී ලංකාව සමත් වූයේ පාලි භාෂාව මුල්කරගෙන බව කමිටුව සිහිපත් කරයි.

ශ්‍රි ලංකාවේ සම්බුද්ධශාසනයේ පැවැත්ම තහවුරු විමට නම් පාලි භාෂාව මැනවින් උගත් පැවිදි හා ගිහි පිරිසක් බිහිවීමේ වැදගත්කම, ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුසසුනේ ආරක්ෂාව චිරස්ථිතිය හා පෝෂණය ගැන වගකීම භාරව සිටින ශ්‍රී ලංකා රජය විසින් මැනවින් අවබෝධ කර ගෙන, පාලි භාෂාවේ ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය සියළු අනුශාංගික පියවරවල් රජයේ මැදිහත්වීමෙන් ගත යුතුව තිබෙන බව, මෙහෙයුම් කමිටුව දැඩිව විශ්වාස කරයි. සංස්කෘත භාෂාවේ අභිවර්ධනය උදෙසා ඉන්දියානු රජය ගෙන ඇති පියවර හා සමානව පාලි භාෂාවේ අභිවර්ධනය උදෙසා පියවර ගත යුතු බව මෙහෙයුම් කමිටුව රජයේ අවධානයට යොමු කර සිටී. ඒ අනුව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ පාලි භාෂා අධ්‍යයන අංශ සහිත  විශ්වවිද්‍යාල, ප්‍රාචීනභාෂෝපකාර සමිතිය ආදි වශයෙන් විවිධ රාජ්‍ය ආයතන වෙතින් පාලි භාෂාවේ උන්නතිය වෙනුවෙන් ඉටුවිය යුතු  වගකිම් ඉටුකරවා ගැනීමේ සහ එම සියළුම ආයතන මෙහයවීමේ අධිකාරි බලය සහිත ව්‍යවස්ථාපිත ආයතනයක් ඇති කොට ඊට පාලි භාෂාවේ ප්‍රවීණ වියතුන් පත්කරවා පාලි භාෂාවේ සුරක්ෂිතතාව හා එහි අභිවර්ධනය උදෙසා අවශ්‍ය විධිවිධාන සලසා දෙන ලෙසට 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව අතිගරු ජනාධිපති තුමාගේ අවධානයට විශේෂ කාරණයක් වශයෙන් යොමු කරවා සිටී.

මෙම කටයුතු පාසල් මට්ටමේ සිට ආරම්භ විය යුතු බවද කමිටුව පෙන්වා දෙයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන  :-

I.   බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

II.  අධ්‍යාපන අමාත්‍යංශය

III. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

 

යෝජනා අංක - 3

භික්ෂූත්වයට ප්‍රමුඛත්වය ලැබෙන පරිදි පිරිවෙන් අධ්‍යාපනය සැකසීම. 2015 වෙසක් පුණු

පෝ දිනට පෙර

 

ආරම්භයේදී පිරිවෙන් අධ්‍යාපනය පාලි, සිංහල, සංස්කෘත ආදී භාෂාවනුත් ත්‍රිපිටක ධර්මයත් පමණක් ඉගැන්වීමට සීමාවීම නිසා ඒ මඟින් බිහි වූ ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා සම්බුද්ධශාසනයට ආලෝකයක් වූ නමුදු පසු කාලීනව අධ්‍යයන පොදු සහතික පත්‍ර පාථමාලාවට අයත් විෂයයන් ද ඉගැන්වීම පිණිස පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ද එම නව විෂයයන් ඉගෙනිමට පෙළඹීම නිසා සහ වර්තමානය වන විට එම විෂයයන් ඉගැන්වීම පිණිස පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම හේතුවෙන් වර්තමානය වන විට පිරිවෙන්වල පාලි භාෂාව ආදිය ඉගෙනීම මෙන්ම ඉගැන්වීම ද පිරිහී ගිය බවත්, ඒ නිසා ධර්මධර, විනයධර භික්ෂු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාව ද ඉටුකර ගත නොහැකි වන බවත්, මෙහෙයුම් කමිටුව විශේෂයෙන් සැළකිල්ලට ගන්නා ලදි.

යහපත් භික්ෂු ආකල්පවලින් යුත් ධර්මධර හා විනයධර භික්ෂු පරපුරක් බිහිකර ගනිමින් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා චිරස්ථිතිය තහවුරු කර ගැනීම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදෙන පරිදි පිරිවෙන් අධ්‍යාපනය සකස් විය යුතු බවද මෙහෙයුම් කමිටුව අදහස් කරයි.

ඒ අනුව භික්ෂූත්වයට ද ප්‍රමුඛතාවය හිමිවන පරිදි පිරිවෙන් අධ්‍යාපනය සකස් විය යුතු බවට කමිටුව යෝජනා කරයි.

ක්‍රියාත්මක කළ යුතු ආයතනය  :-

I.   අධ්‍යාපන අමාත්‍යාංශය

 

යෝජනා අංක - 4

සිල් මාතාවන්ගේ දැනුම හා කුසලතා ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැලසීම. 2013 වෙසක් පුණු

පෝ දිනට පෙර

දිවයින පුරා සිටින සිල්මාතාවන්ගේ දහම් දැනුම හා උපදේශන කුසලතා වැඩි දියුණු කර දෙමින් වඩා පුළුල් ශාසනික හා සාමාජික සේවාවක් ඉටුකර දිමට අවස්ථාව සැළසීමක් වශයෙන් අවම වශයෙන් එක දිස්ත්‍රික්කයකට එක අධ්‍යාපන ආයතනයක් බැගින් පිහිටුවීමට කටයුතු කළ යුතු බවත්, ඒවාට රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතු බවත්, මෙහෙයුම් කමිටුව යෝජනා කරයි.

තවද ප්‍රාචීන භාෂෝපකාර සමිතිය පවත්වන විභාගවලට සිල්මාතාවන්ට පෙනී සිටීමේ ඉඩප්‍රස්ථා හා පහසුකම් පුළුල් කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය අනුශාංගික ක්‍රියාමාර්ග ගත යුතු බවත්,  කමිටුව පෙන්වා දෙයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන  :-

I.   බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය,

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

II. අධ්‍යාපන අමාත්‍යංශය


යෝජනා අංක - 5

පුරා විද්‍යා භුමි ආරක්ෂා කිරීම, පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම, සහ සංඥා නාමපුවරු සවිකිරීම හා එම ස්ථානයන්හි භිකෂුන් වහන්සේලාට විහාරස්ථාන පවත්වා ගෙනයමින් ආරක්ෂිතව වන්දනාමාන කිරීමට ඉඩකඩ සැලසීම සහ අනුශාංශික නීතිමය ප්‍රතිපාදන සැළසීම. වාර්ෂිකව අඛණ්ඩව

2600 සම්බුද්ධත්ව ජයන්ති විසිවැදෑරුම් වැඩ පිළිවෙළ යටතේ ශ්‍රි ලංකාව තුළ විවිධ ප්‍රදේශවල  පිහිටි පුරා විද්‍යා භූමි ආරක්ෂා කිරීම, පුරා විද්‍යාස්ථානයන්හි පිහිටා ඇති චෛත්‍යය, ස්ථූප , දාගැබ් ආදී පෞරාණික බෞද්ධ සංකේත සංරක්ෂණය කිරීම, එම පුරා විද්‍යා ස්ථාන හඳුන්වාදෙන සංඥා නාම පුවරු සවිකිරිම මෙන්ම එම පුරා විද්‍යා ස්ථානයන්හි විහාරස්ථාන පවත්වා ගෙන යන භික්ෂූන් වහන්සේලාට ඒ සඳහා ඉඩකඩ දෙමින් බෞද්ධ මහජනතාවට වන්දනා මාන කර ගැනීමට පහසුකම් සලසාදීමට සහ ඊට අනුශාංගික නෛතික විධිවිධාන යෙදීමට පියවර ගත යුතු බව මෙහෙයුම් කමිටුව අවස්ථා ගණනාවක දී සාකච්ඡා කොට එම විෂයයන් හා සම්බන්ධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත දන්වා ඇත. මෙම කාරණා සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුව විශේෂයෙන් ජාතික උරුම අමාත්‍යාංශය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, එවකට පැවති පූජා භූමි සංවර්ධන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී විෂය පැවරි ඇති රාජ්‍ය ආයතන නියෝජිතයන්ද එම ස්ථානයන්හි විහාරස්ථාන පවත්වා ගෙන යමින් ඒවායේ ආරක්ෂාව සළසා දෙන භික්ෂුන් වහන්සේලා ද අවස්ථා ගණනාවකදීම කැඳවා සාකච්ඡා පවත්වා සුදුසු තීරණ ගෙන ඒ අනුව එම කාර්ය භාරයන් ඉටුකරවා දෙන මෙන් අදාල ආයතන වලට විශේෂයෙන් දැනුම් දෙන ලදි.

එහෙත් පුරා විද්‍යා භූමි සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවී තිබූ දීඝවාපිය, හෙනන්නේගල, කූරගල, මුහුදු මහා විහාරය, මගුල් මහා විහාරය, ගෝකණ්ණ විහාරය, ආදී ස්ථාන වල පවත්නා ගැටළු පිළිබඳව මෙතෙක් විසඳුම් ලැබී නැත.

දිවයිනේ පිහිටි පුරාවිද්‍යා ස්ථාන, ඒවා නරඹන සංචාරකයන් උදෙසා සංරක්ෂණය කිරිමටත්, ශ්‍රී ලාංකික ළමා පරපුරට සිය ප්‍රෞඩ ඉතිහාසය ගැන දැන ගැනීමටත්, එම ස්ථාන හඳුන්වා දීමේදී පුරාණයේදී භාවිතාවූ නම් ද දක්වමින් සංඥානාම පුවරු සවි කිරීමටත් පියවර ගැනිමට ජාතික උරුම අමාත්‍යාංශය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ද මෙහෙයුම් කමිටුව විසින් උපදෙස් දි ඇත. එම නාම පුවරු සාදවා දීමට ඉදිරිපත්වීම අගය කරන අතර ලාහුගල පිහිටි මඟුල් මහා විහාර පුරා විද්‍යා භූමිය තුළ ද යම් සංවර්ධන කටයුතු ඉටුකළ යුතුව ඇති බවද පෙන්වා දෙයි.

විශේෂයෙන් 2013 වර්ෂයේ දැයට කිරුල ප්‍රදර්ශනය හා සමගාමීව නැගෙනහිර පළාතේ ඉහත කී පුරා විද්‍යා ස්ථාන මහජනතාවගේ වැඳුම් පිඳුම් පිණිස සංරක්ෂණය කොට සංවර්ධනය කර ගැනිම අරභයා විධිමත් මෙහෙයවීමක් කළ යුතුව ඇති බව මෙහෙයුම් කමිටුව විශේෂයෙන් අවධාරණය කර සිටී.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද රජය විසින් සළසා දිය යුතු බවද කමිටුව යෝජනා කරයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන  :-

I.  ජාතික උරුමය අමාත්‍යංශය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව

II. පරිසර අමාත්‍යංශය, වන ජීවි සංරක්ෂණ දෙර්පාර්තමේන්තුව, වන සංරක්ෂණ        දෙපාර්තමේන්තුව

III. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,

 

යෝජනා අංක – 6

සමස්ත ලාංකික සමාජය තුළ සාමය ගොඩනැගීම පිණිසත් සාරධර්ම ස්ථාපිත කිරීම සඳහාත් සුදුසු කුළදරුවන් සසුන්ගත කිරීමටත්, කැපකරුදායක ක්‍රමයක් තුළින් අධ්‍යාපන ආදී පහසුකම් සැලසීමටත් පියවර ගැනිම.

ත්‍රෛනිකායට අයත් සියළු නිකාය හා පාර්ශ්වයන් විසින්, විහාරස්ථාන කේන්ද්‍රකොටගෙන, ශාසනයට කැපවන සුදුසු කුලදරුවන් සසුන්ගත කිරීමෙන් සමස්ත ලාංකීය සමාජය තුළ ප්‍රධාන ජන කොට්ඨාශ අතර අන්‍යොනය සුහදතාවය, මිත්‍රත්වය හා සහජීවනය පිණිස මනා අත්තිවාරමක් වැටෙන බැවින් එය රටතුළ සාමය තහවුරු වීමටත්, සාරධර්ම ස්ථාපිත වීමටත්, හේතු සාධක වන බව මෙහෙයුම් කමිටුව අවධාරණය කර සිටී. එබැවින් සුදුසු කුල දරුවන් ඒ ඒ නිකායන් හා පාර්ශ්වයන් විසින් සසුන් ගත කිරීමේදී, රජය විසින් පහසුකම් සලසා දීමට පියවර ගතයුතු බවත්, සසුන් ගත කරනු ලබන නවක සාමණේර හිමිවරුන්ට අධ්‍යාපන කටයුතු ආදියේදී කැපකරු දායක ක්‍රමයක් තුළින් පහසුකම් සලසාදීම අත්‍යවශ්‍ය  වන බවත්, පෙන්වා දෙන කමිටුව, බුද්ධශාසන අරමුදලේ අනුග්‍රහයෙන් එබඳු වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවිය හැකි බවත්, ඒ සඳහා බොදු මහජනතාව දායක කරගැනීම සඳහා සුදුසු වැඩසටහනක් රජය විසින් සැකසීම සුදුසු බවත්, යෝජනා කර සිටී.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන

I.  බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය,

II. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

 

යෝජනා අංක – 7

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සදාචාර, හා සංස්කෘතික වැඩ සටහන් මඟින් ශ්‍රී ලංකාව පිළිබඳ පුළුල් හා නිවැරදි අවබෝධයක් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් ලෝකය වෙත ලබාදිම.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවාසීන් තුළ පවතින සදාචාරාත්මක අතින්ද සංස්කෘතිකමය අතින් ඉතා උසස් වැඩ සටහන් පිළිබඳව ලෝක වාසීන් දැනුම්වත් කිරීම මඟින්, ශ්‍රී ලංකාවේ විශේෂත්වය මුළු ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමටත්, ඒ මඟින් ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදිවූ ද, පුළුල්වූද අවබෝධයක් ලෝක වාසීන් තුළ ඇති කිරීමටත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාල සකසා ගත යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ආදී පහසුකම් විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සළසා දිය යුතු බවත්, මෙහෙයුම් කමිටුව යෝජනා කර සිටී.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය,  ශ්‍රී ලංකාවාසීන්ගේ සිරිත් විරිත්, ආචාරධර්ම කලාශිල්ප හා ගෘහ නිර්මාණ ආදී විශේෂිත අංශයන් පිළිබඳව ලෝකය දැනුම්වත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අභිමානය පිළිබඳව නිවැරදි  චිත්‍රයක් ඉදිරිපත් කිරීමට මේ මඟින් අවස්ථාව සැලසෙන බව ද කමිටුව වැඩිදුරටත්, පෙන්වා දෙයි.

 

ක්‍රියාත්මක කළයුතු ආයතන

I. විදේශ කටයුතු අමාත්‍යාංශය

II. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය.

 

යෝජනා අංක - 8

1998 ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේ යෝජනා පරිදි බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය සඳහා මහානායක චාරිකාරාම පරිශ්‍රයෙහි විශේෂයෙන් ඉදිකළ ගොඩනැගිල්ලේ ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කිරීම. 2013 වෙසක් පුණු  පෝ දිනට පෙර

1998 දී ශ්‍රී ලංකා රජයේ මෙහෙයවීමෙන් ලෝකයේ විවිධ රටවල බෞද්ධ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේදී සම්මත කර ගත් යෝජනා අතුරින් ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන අතර සම්බන්ධතා තහවුරු කර ගනිමින් බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව මුල්කරගෙන ආරම්භ කොට පවත්වා ගෙන යා යුතුය යන්න වැදගත් නිර්දේශයක් වන බව කමිටුව සිහිපත් කරයි.

මෙම නිර්දේශය පිළිගත් ශ්‍රී ලංකා රජය එම ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කොළඹ 7, විජේරාම මාවතේ අංක 115 දරණ ස්ථානයෙහි විශේෂ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු යොදන ලදි. 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටු කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන්නේ එම ගොඩනැගිල්ලෙහිය.

මෙහෙයුම් කමිටුවේ කටයුතු 2012 වෙසක් පෝ දිනයෙන් අවසන්වන බැවින් ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය කල් නොයවා එම ගොඩනැගිල්ලේ ආරම්භ කළ හැකිය. එම තොරතුරු මධ්‍යස්ථානය සඳහා විදේශීය බෞද්ධ රාජ්‍යයන්ගේ හා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානවල අනුග්‍රහය ලබාගත හැකිය.

ක්‍රියාත්මක කළයුතු ආයතනය :-

I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

 

2. සදාචාර වර්ධනය

යෝජනා අංක - 9

පාසල් හා දහම්පාසල් සිසු දරුවන් අතර සංවරය, සංයමය හා විනීත ගති පැතුම් වර්ධනය කර පෞරුෂ වර්ධනය කිරීම. වාර්ෂිකව අඛණ්ඩවම

පාසල් හා දහම්පාසල් තුළින් ඉහත අරමුණු ඉටුකර ගැනීමට ප්‍රායෝගික ක්‍රියාකාරකම් හඳුන්වා දී ක්‍රියාත්මක කළ යුතු බව මෙහෙයුම් කමිටුව විශේෂයෙන් අධ්‍යාපන අංශයන්හි නිළධාරින් සමඟ පවත්වන ලද රැස්විම් වාර ගණනකදී දැනුම් දෙන ලදි.

ආරම්භයක්  වශයෙන් ප්‍රාථමික පන්තිවල අධ්‍යාපනය ලබන සිසු දරුවන් අතර සංවරබව, සංයමය හා විනීත බව වර්ධනය කොට ඔවුන් පෞරුෂයෙන් යුත් පිරිසක් බවට පත්කර ගැනීමට තුඩු දෙන ක්‍රියාකාරකම් අඩංගු වැඩ පිළිවෙළක් සම්පාදනය කිරීම වැදගත් බව මෙහෙයුම් කමිටුව අදහස් කරයි. ප්‍රාථමික පන්ති ඉලක්ක කර විනීත හා ගුණගරුක සිසු පිරිසක් ඇති කර ගැනීමට නිපුණතා වර්ධනය කරදීම සාමකාමී සහජීවනයෙන් යුත් යහපත් ශ්‍රී ලංකාවක් බිහිකර  ගැනීමට අඩිතාලම වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි.

එමඟින් සමානාත්මතාවය, ඉවසීම, උදව් කිරීම, යුතුකම් ඉටුකිරීම, කළ යුතු දේ කිරීම, හොඳ හා ප්‍රියවචන කතා කිරීම, පිළිවෙළට කටයුතු කිරීම, දෙමාපිය ගුරු වැඩිහිටියන්ට ගරු කිරීම, නිශ්ශබ්දතාව රැකීම, වැරදි  දේ නොසළකා හරිදේ අගය කිරීම, දොස් නො අසා කටයුතු කිරීම, හොඳ මිතුරන් ඇසුරු කිරීම වැරදි පිළිගැනීම, දිනුම මෙන්ම පරාජය ද ඉවසීම, බෞද්ධ වත් පිළිවෙත් වලට හුරුවීම, පොදු කටයුතුවලට උදව්වීම, ආත්මාර්ථකාමී නොවීම, ආදී ගුණාංග වර්ධනය කෙරෙන වැඩ සටහන් තුළින් සිසු දරුවන්ගේ නිපුනතා නංවාලිය හැකිය.

පාසලේදීත්,  දහම්පාසලේදීත්, පන්සලේදීත්, ගෙදරදීත්  අනුගමනය කළ යුතු වත් පිළිවෙත් පිළිබඳව බොදු දරුවන් හුරුකරවිය යුතුය. 2012 සිට ඉදිරියට ද පාසල් පද්ධතිය තුළ හා දහම් පාසල් තුළ විශේෂයෙන් ප්‍රාථමික පන්තිවල සිසුන් යහපත් පුරවැසියන් වශයෙන් සකස් කර ගැනීමේ මූලික අරමුණින් ඒවාට ගැළපෙන සදාචාරවත් සංවර්ධන වැඩ පිලිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිගටම ක්‍රියාත්මක කළ යුතුය. දහම්පාසල් වලද විශේෂයෙන් 05 වැනි ශ්‍රේණිය දක්වා වූ සිසුන් මුල්කරගත් ඒ හා සමාන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රධානව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගත යුතුය.

පාසල් පෙළපොත්වලත් දහම්පාසල් පොත් වලත් අඩංගු කොට මුද්‍රණය කර බෙදා හැරිය යුතු බවට දන්වමින් 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව විසින් ධර්ම පාඨ රාශියක් ද, රුවන්වැකි හා ආප්තෝපදේශ ද සකස් කොට අධ්‍යාපන අමාත්‍යාංශය වෙතත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙතත් භාර දි කාලයක් ගත වී ඇත. එම ධර්ම පාඨ, රුවන් වැකි හා ආප්තෝපදේශ පාසල් පොත්වලත්, දහම්පාසල් පොත්වලත් මුද්‍රණය කර බෙදාහැරීම මඟින් යහපත් සිසු පිරිසක් බිහිකර ගැනීමට මහෝපකාරී වන බව මෙහෙයුම් කමිටුව අවධාරණය කරයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. අධ්‍යාපන අමාත්‍යාංශය,

II. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය,

III. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.

 

යෝජනා අංක - 10

දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් ජනතාව මුදා ගැනීමේ අරමුණු ඉටුකර ගැනීම පිණිස දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ශක්තිමත් කිරීම සඳහා යෝජිත සංශෝධන නීතිගත කිරීම. 2013 වෙසක් පුණු පෝ දිනට පෙර

දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් ජනතාව මුදා ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තීන්හි හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණුවලට අනුකූල වෙමින් කටයුතු කිරීමේ වැදගත්කම මෙහෙයුම් කමිටුව අවධාරණය කරයි. එයින් ඇතිවන ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා ආදායමට වඩා වැඩි මුදලක් රජය විසින් වැය කරනු ලැබේ. එමගින් සෑම පාර්ශවයකටම ඇතිවන හානි හා උවදුරුද , අපරාධ ආදියද, සළකන විට ඒ වෙනුවෙන් දැරීමට සිදුවන තත්ථ්‍ය වියදම ඊට වඩා විශාලය.

එබැවින්  ව්‍යවහාර වර්ෂ 2020 වනවිට දුම්කොළ හා මද්‍යසාර භාවිතය  ක්‍රමයෙන් අවම කිරීමේ රජයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහස්‍රක ඉලක්කවලට හා ප්‍රතිපත්තීන්ට අනුකූල වෙමින් සෞඛ්‍යය සම්පන්න ජනසමාජයක් බිහිකිරිම සඳහාත්, නීති විරෝධි මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමටත්, 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පනතට අවශ්‍ය සංශෝධන ඇති කිරීමට කමිටුව යෝජනා කරයි.

අවස්ථා ගණනකදීම ඒ පිළිබඳව අවධානය යොමු කරන ලද අතර 2012.03.27 වැනි දින ගරු සෞඛ්‍ය ඇමතිතුමා සමග මෙහෙයුම් කමිටුව පවත්වන ලද සාකච්ඡාවේදී ද මෙම පනතේ සංශෝධන ඉක්මන් කර ගැනීමට අවධානය යොමු කරන ලදී.

ශ්‍රී ලාංකික සමාජය තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහනක් වශයෙන් මෙම පනත හැකි ඉක්මනින් සංශෝධනය කරමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ශක්තිමත් කොට සක්‍රීයව පවත්වා ගෙන යා යුතු බවත්, මෙහෙයුම් කමිටුව පෙන්වා දෙයි.

එකී පනත ක්‍රියාත්මක කරන බලධාරී ආයතනය වන එම අධිකාරියටම වෙන්වූ කාර්ය මණ්ඩලයක් සහිත සංවිධිත හා විධිමත් කාර්යාලයක් වත් මෙතෙක් නොමැතිවීම ගැන ද අවධානය යොමු කරන මෙහෙයුම් කමිටුව එම ආයතනය ශක්තිමත් කොට පවත්වා ගෙනයාමට ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතු බවද අවධාරණය කර සිටී.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතනය :-

I. සෞඛ්‍ය අමාත්‍යංශය

  1. මුදල් අමාත්‍යාංශය

III. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය.

 

යෝජනා අංක 11

සංවර්ධන ක්‍රියාවලියේදී සදාචාර වර්ධනය දේශීය සංස්කෘතිය හා අනන්‍යතාවය ආරක්ෂාවන පරිදි ප්‍රතිපත්තීන් සකස් කර ක්‍රියාත්මක කිරීම. වාර්ෂිකව අඛණ්ඩව

තිස් අවුරුදු ත්‍රස්ත්‍රවාදී යුද්ධය නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධනයකට භාජනය වෙමින් පවතින බව පැහැදිලිය. එය තවදුරටත් පෝෂණය කොට රටේ සියළු මහජනතාවගේ ආර්ථික සුභ සිද්ධියට පියවර ගත යුතු බව අවධාරණය කරන මෙහෙයුම් කමිටුව දැනට වර්ෂ 2300 කට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා භූමිය තුල ස්ථාපිතව තිබෙන සංස්කෘතික හර පද්ධතියට හානි නොවන අයුරින්ද , ඊට පුමුඛතාව දෙමින්ද සංවර්ධන ක්‍රියාවලීන් සැළසුම් කළ යුතු බවත්, ථේරවාදී බෞද්ධ මූලස්ථානය වශයෙන් ලෝකය විසින් සළකන ශ්‍රී ලංකාවේ අභිමානය පලුදු නොකොට රට සංවර්ධනය කිරීමේ සැළසුම් සකස් කළ යුතු බවත්, යෝජනා කරයි.

එයින් ඉදිරි දරු පරපුරට අභිමානවත් දේශයක් දායාද කළ හැකි බව ද කමිටුව අවධාරණය කරයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන

I. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

II. මුදල් අමාත්‍යාංශය

III. අදාළ වන සෙසු අමාත්‍යාංශ

 

යෝජනා අංක 12

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය දේශීය සංස්කෘතිය හා  අනන්‍යතාවයට පටහැනි නොවන පරිදි සංවර්ධනය කිරීම - වාර්ෂිකව අඛණ්ඩව

ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් සංචාරකයන් මේ රටේ සංස්කෘතිය හා ආචාර ධර්ම පිළිබඳ දැනුවත් වී නැති කමින් අනවබෝධයෙන් සිදු කරන කටයුතු නිසා සමාජය තුළ ඇතිවන නුරුස්නාකම් දුරලීම පිණිස ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේ සිටම දේශීය සංස්කෘතිය මෙන්ම ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කොට හැසිරිය යුතු ආකාරය දැක්වෙන පත්‍රිකා , අත් පත්‍රිකා හා කුඩා පොත් ආදිය මෙන්ම ඔවුන්ට මේ රටේදී නැරඹිය හැකි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු පුරා විද්‍යා ස්ථාන හා ‍ෙවනත් වැදගත් ස්ථාන පිළිබඳ තොරතුරු හා ප්‍රවේශ මාර්ග සිතියම් සහිතව සැකසූ අත් පත්‍රිකා , පත්‍රිකා හා කුඩා පොත්ද විදේශ භාෂා කීපයකින්ම සකසා ගුවන් තොටුපල , හෝටල සහ තොරතුරු මධ්‍යස්ථාන වල මෙන්ම පුරා විද්‍යා ස්ථානවලත් සුලභ කළයුතු බව මෙහෙයුම් කමිටුව යෝජනා කරයි.

එවකට පැවති සංචාරක අමාත්‍යාංශයත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත්, කැඳවා මෙහෙයුම් කමිටුව අවස්ථා කීපයකදී සාකච්ඡා කොට සංචාරකයන්ගේ හැසිරීම් සමබන්ධයෙන් අදාළ වන මාර්ගෝපදේශ මාලාවක්ද සකසා දෙන ලද අතර අදාළ පත්‍රිකා , අත් පත්‍රිකා හා කුඩා පොත් මුද්‍රණය කර අදාළ තැන් වලට ලබා දීමට එවක පැවැති සංචාරක අමාත්‍යාංශය එකග වී පියවර ගන්නා ලදී. එම අමාත්‍යාංශය දැන් ක්‍රියාත්මක නොවන අතර එම විෂය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පැවරී ඇති බැවින් මෙහෙයුම් කමිටුව එහි අවධානය පිණිස එම කරුණු යොමු කර ඇත.

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය.

II. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

 

යෝජනා අංක 13

අංග සම්පුර්ණ ජාතික මට්ටමේ බෞද්ධ විද්‍යාලයක් සම්බුද්ධත්ව ජයන්ති ඵෙතිහාසික සිහිවටනයක් වශයෙන් ජාතියට දායාද කරදීම. 2013 වෙසක් පෝ දිනට පෙර

2600 සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිහිවටනයක් වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් අංග සම්පූර්ණ ජාතික මට්ටමේ රජයේ බෞද්ධ විද්‍යාලයක් ජාතියට දායක කර දීමට පියවර ගන්නා මෙන් 2600 සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුව අතිගරු ජනාධිපතිතුමා වෙත ශාසනාලයෙන් යුතුව යෝජනා කර සිටී.

මේ වෙනුවෙන් සුදුසු ඉඩකඩ සහිත භූමි භාගයක් නාරාහේන්පිට ප්‍රදේශයෙන් ලබාදිමට අතිගරු ජනධිපති තුමා මේ වනවිටත්, කැමැත්ත පළකර තිබීම ගැන මෙහෙයුම් කමිටුව එතුමා වෙත ප්‍රශංසාව පළකරයි. ශාන්ත, බෞද්ධ පරිසරයක් සහිතව පවත්වා ගෙන යා යුතු මෙම විද්‍යාලය මඟින් සිංහල හා පාලි භාෂා ඉගැන්විමට ද බෞද්ධ හැදියාවන් යුත් ළමා පරපුරක් බිහිකිරීමට ද පියවර ගතයුතු බවද කමිටුව අවධාරණය කරයි.

මෙම විදුහල, පැවිදි හා ගිහි බෞද්ධ විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මඟින් කළමණාකරණය කිරීම මැනැවැයි කමිටුව පෙන්වා දෙයි.

1956 දී සැමරූ තථාගත බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් උදා වූ වරිෂ 2500 ක ජයන්තිය අනුස්මරණය කිරීම පිණිස විශේෂ ඓතිහාසික සිහිවටන රාශියක් රටතුළ ආරම්භ කිරීමට එවක රජය කටයුතු කළ අතර, ඒ වෙනුවෙන් “ජයන්ති පුර” නමින් නව නගර හා ගම්මාන බිහි වූ අතර විශේෂ පාඨශාලා ද වරාය ජයන්ති චෛත්‍ය ද එ‍ෙළස ඇතිවූ ඓතිහාසික සිහිවටන වන බවත්, මෙහෙයුම් කමිටුව සිහිපත් කරයි.

එපරිද්දෙන් ඓතිහාසික සිහිවටනයක් වශයෙන් 2600 සදම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට අංග සම්පූර්ණ බෞද්ධ රජයේ විද්‍යාලයයක් රජය විසින් ආරම්භ කොට පවත්වාගෙන යායුතු යයි මෙහෙයුම් කමිටුව ශාසන ගෞරවයෙන් යුතුව නිර්දේශ කරයි.

මෙම අභිනව විද්‍යාලය දැනට කොළඹ නගරය තුළ පවත්නා පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමට ඇති ගැටළු ආදියට ද ඉතා හොඳ විසදුමක් වන බවත්, මෙම පියවර සමස්ත මහජනතාවගේ ප්‍රසාදය හිමිවන ඉතා වැදගත් ආයෝජනයක් වන බවත් කමිටුව පෙන්වා දෙයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

II.අධ්‍යාපන අමාත්‍යාංශය

 

3. දහම් අධ්‍යාපනය

යෝජනා අංක 14

දහම් පාසල් අධ්‍යාපනයට රාජ්‍ය පිළිගැනීම හිමිකර දෙන ප්‍රතිපත්තී සැකසීම. 2013 වෙසක් පුණු පෝ දිනට පෙර

දහම් අධ්‍යාපනය ලබන සිසු පරපුර සහජීවනයෙන් , සංවරයෙන් හා අන්‍යොන්‍ය ඉවසීමෙන් මෙන්ම සාමයෙන් කටයුතු කිරීමට මනා හික්මවීමක් ලබන බැවින් ඔවුන් අතින් සමාජයට අයහපතක් වීමේ ඉඩකඩ ඉතාමත් විරල බැවින් , සියලුම පාසල් දරුවන්ට දහම් අධ්‍යාපනය අනිවාර්ය කර ලබා දිය යුතු බවත්, එය රජයේ පාසල් වලට පමණක් නොව පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන සියළු ආගමික ළමුන්ට පොදුවේ බල පැවැත්වෙන නීතියක් බවට පත්කළ යුතු බවත්, ඒ ඒ ආගමික සිසුන් තම තමන්ගේ ආගම් වලට සම්බන්ධ දහම් අධ්‍යාපනය ලබා ගැනීමට මේ මගින් පෙළඹවිය යුතු බවත්, මෙහෙයුම් කමිටුව අවධාරණය කර සිටී.

දහම් අධ්‍යාපනය සඳහා මේ රටේ මුළු සිසු පිරිස යොමු කරවා ගැනීමෙන් යහපත් සමාජයකට සවිමත් අත්තිවාරමක් වැටෙන බවත්, මුළු මහත් ශ්‍රී ලාංකික සමාජය ගුණවත් විනය ගරුක සමාජයක් බිහිවීමට එමගින් මෙහෙයවීමක් ලැබෙන බවත් පිළිගන්නා 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව සෑම විටම දහම් අධ්‍යාපනය සෑම සිසු දරවකුටම ලබා දීමට රජය මැදිහත් වී ක්‍රියාකළ යුතු බවද පිළිගනී.

දහම් අධ්‍යාපනය සඳහා මෙරට සිසු පරපුර යොමු කිරීමට දිරි දීමක් වශයෙන් දහම් අධ්‍යාපනයේ යෙදෙන්නන්ට විශේෂ සැළකිල්ලක් දැක්වීමේ අවශ්‍යතාව මෙහෙයුම් කමිටුව මෙම කාලය තුළදී පවත්වන ලද සාකච්ඡා වලදී අවධාරණය කරන ලදී. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන ඉහළ ප්‍රමිතියකින් යුක්ත බෞද්ධ ධර්මාචාර්ය විභාගය වැනි විභාග සමත්වන ශිෂ්‍යයන් , විශ්ව විද්‍යාලවලට , ගුරු විද්‍යා පීඨවලට හෝ රජයේ වෙනත් රැකියාවලට බදවා ගැනීමේ දී  සම්මුඛ පරීක්ෂණ වලදී ඒ සඳහා විශේෂ සැළකීමක් වශයෙන් එක ලකුණක් ප්‍රදානය කිරීමට රජය මැදිහත් වී කටයුතු කළයුතු බවත්, ඒ සඳහා චක්‍රලේඛ උපදෙස් නිකුත් කරමින් ක්‍රියාත්මක කළයුතු බවත්, මෙහෙයුම් කමිටුව යෝජනා කර සිටී.

උසස් පෙළ හා ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරුවරුන්ට රජයේ පාසල්වල දහම් ගුරුපත්වීම් පිරිනැමීමට තීරණය කිරීම පිළිබඳව ද මෙම කමිටුව අතිගරු ජනාධිපති තුමා වෙත ප්‍රසංශාව පළකර සිටි.

මෙම අදහස හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි කමිටුව බලාපොරොත්තු වේ.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

II. අධ්‍යාපන අමාත්‍යාංශය

III. මුදල් අමාත්‍යාංශය

IV. රාජ්‍ය සේවා කොමිෂන් සභාව

 

යෝජනා අංක 15

රජයේ පාසල්වල බුදුදහම උගන්වන ගුරුවරුන් සහ දහම් පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම. 2013 වෙසක් පුණු පෝ දිනට පෙර

රජයේ පාසල් වල බුදු දහම විෂය විධිමත් ව හා ක්‍රමවත්ව ඉගැන්වීම සඳහා සියළුම පාසල් වලට දහම් ගුරුවරුන් පත්කළ යුතු බවත්,  දැනට පවතින දහම් ගුරු පුරප්පාඩු වලට ධර්මාචාර්ය විභාගය සමතුන් අතුරින් උසස් පෙළ සමත්ව සිටින සුදුස්සන් බඳවා ගතයුතු බවත්, එම සියළු දහම් ගුරුවරුන් බුදු දහම ඉගැන්වීම පිණිස විධිමත්ව හා ක්‍රමවත්ව පුහුණු කළ යුතු බවත්, මේ වෙනුවෙන් පුහුණු කිරීමේ අභ්‍යාස මධ්‍යස්ථානයක් රජය විසින් ආරම්භ කොට පවත්වා ගෙන යායුතු බවත්, එම මධ්‍යස්ථානය මගින් සියළු දහම් ගුරුවරුන්ට සංස්කරණ සම්මේලන හා පුහුණු වැඩ මුළු ආදිය පවත්වමින් ක්‍රමානූකූලවූ ද, අංග සම්පූර්ණ පුහුණවක් ලබා දියයුතු බවත්,  2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව තරයේ නිර්දේශ කරයි.

ඇතැම් පාසල් වල බුදුද දහම විෂය ඉගැන්වීමට ඒ පිළිබඳ මනා දැනුමක් නැති ගුරුවරුන් හෝ වෙනත් අය යොදා ගැනීම වර්තමානයේ දී පවා සිදුවන බව පෙන්වා දෙන මෙහෙයුම් කමිටුව රජයේ පාසල් වල දහම් ගුරුවරුන්ද දහම් පාසල්වල ගුරුවරුන් ද වෙනුවෙන් මෙම පුහුණුව ලබාදිය යුතු බවත්, ප්‍රාථමික පන්තිවල දහම් ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදීම යෝග්‍ය බවත්, අවධාරණය කරයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I.  අධ්‍යාපන අමාත්‍යංශය

  1. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

 

යෝජනා අංක 16

දහම් පාසල්වලට උපකාර කිරීම හා ශ්‍රේණී පොත් සකසාදීම 2015 වෙසක් පුණුපෝ දිනට පෙර

ශ්‍රී ලංකාවේ විහාරස්ථාන ආශ්‍රීතව සිංහල මාධ්‍ය යෙන් දහම් පාසල් විශාල සංඛ්‍යාවක් පවත්වා ගෙන එන අතර ඉංග්‍රීසී මාධ්‍ය දහම් පාසල් කීපයක් ද මේ වන විට ආරම්භ වී ඇති නමුදු ශ්‍රේණී පොත් ද නිසියාකාරව සැකසී නැති බැවින් සිංහල මාධ්‍ය දහම් පාසල් වෙනුවෙන් මෙන්ම ඉංග්‍රීසී මාධ්‍ය දහම් පාසල් වෙනුවෙන්ද රජයෙන් ලබා දිය හැකි සෑම උපකාරයක් හා අනුබලයක්ද රජය මගින් ලබා දීම යෝග්‍ය බවත්, ඒ සඳහා ශ්‍රේණී පොත් රජය මගින් සකසා මුද්‍රණය කරවා දීම සුදුසු බවත්, මෙහෙයුම් කමිටුව නිර්දේශ කරයි.

විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල් සඳහා 1 හා 2  ශ්‍රේණී ඉංග්‍රීසී පොත් සකසා දී ඇතත් 3, 4හා 5 යන සෙසු ප්‍රාථමික ශ්‍රේණී සඳහා පොත් සැකසී නැති නිසා රාජ්‍ය අනුග්‍රහයයෙන් එම ශ්‍රේණි පොත් සකසා මුද්‍රණය කරදීමේ වැදගත්කම මෙහෙයුම් කමිටුව පෙන්වා දෙයි. ඉංග්‍රීසී මාධ්‍ය මෙන්ම දෙමළ මාධ්‍යයයෙන් ද, දහම් පාසල් ආරම්භ කිරීමට ද ඒ හා සමානවම රජය විසින් අනුග්‍රහය දැක්වීම ද මෙහෙයුම් කමිටුව තරයේ නිර්දේශ කරයි.

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

II. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

 

4. මාධ්‍ය දායකත්වය

 

යෝජනා අංක 17

සදාචාරවත් සමාජයකට හිතකර මාධ්‍ය ප්‍රතිපත්ති සැකසීම හා ක්‍රියාත්මක කිරීම. 2013 වෙසක් පුණු පෝ දිනට පෙර

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අරමුණු කොටගත් ගුණවත්, නීතිගරුක දැහැමි සමාජය බිහිකර ගැනීමට සමාජය තුළ නොයෙක් ආකාරයේ අපරාධ හා සැහැසි ක්‍රියා හැකිතාක් අවම කරගත යුතු හෙයින් වර්තමානයේ ක්‍රියාත්මක වන සියලු ආකාරයේ මුද්‍රිත මාධ්‍ය, ගුවන් විදුලි හා හා විද්‍යුත් මාධ්‍ය, වල අවධානය ඒ සඳහා යොමු කළ යුතු බවත්,  ඔවුන්ගේ සහය හා මැදිහත් වීම රහිතව යහපත් සමාජයක් ගොඩනගා ගත නොහැකි බවත්, අවධාරණය කරන මෙහෙයුම් කමිටුව 2012 වෙසක් පුණු පොහෝ දිනට පසුව එළඹෙන ඉදිරි කාලය තුළදී ද එම සහාය අත්‍යවශ්‍යවන බවත්,  සමාජය යහමගට ගැනීම සඳහා මාධ්‍යයන්ට විශාල කාර්ය භාරයක් ඉටුකළ හැකි නිසා වර්තමාන සමාජයට නැතිවම බැරි මාධ්‍ය ආයතනවල සම්පූර්ණ සහය ලබාගෙන සමාජ ශෝධන කටයුතු කරගෙන යා යුතු බවත්,  පෙන්වා දෙයි.

ඒ නිසා සමාජ යහපත පිණිස හේතුවන, අපරාධ ආදී සැහැසි ක්‍රියාවන්ට යොමු නොකරන, සිත් සතන් සන්සුන් කරවන වැඩ සටහන් ප්‍රවෘත්ති ආදියට මුල්තැන දෙන අයුරින් මාධ්‍ය මගින් කටයුතු කරවා ගත යුතු බවද,  ඉදිරියටද දිගටම එම සහය ලැබිය යුතු බවද. මෙහෙයුම් කමිටුව නිර්දේශ කරයි.

මෙම අදහස් ඉටුකර ගැනීමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයත්, සංස්කෘක හා කලා කටයුතු අමාත්‍යාංශයත්,  ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයත්, ආදී රාජ්‍ය ආයතන මැදිහත්ව ක්‍රියා මාර්ග ගත යුතු බවද, මෙහෙයුම් කමිටුව නිර්දේශ කරයි.

2300 වසරකට වැඩි දිගු කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව ඇති සංස්කෘතික හර පද්ධතියත්, රටේ ජනතාව පොදුවේ පිළිගෙන තිබෙන ආචාර ධර්ම සමූහයත් උල්ලංගනය නොවන පරිද්දෙන් හා ඒවාට අනුගතව ක්‍රියා කිරීමට සියළුම මාධ්‍යයන් මෙහෙයවීම සඳහා කටයුතු කළ යුතු බවත්,  ඒ සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකසා එය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට සියලුම මාධ්‍යයයන් එකඟ විය යුතු බවත්,  එම කාර්යභාරය රජය වෙනුවෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය සංස්කෘක හා කලා කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව හා සාමූහිකව ඉටුකළ යුතු බවත්,  මෙහෙයුම් කමිටුව නිර්දේශ කර සිටී.

එසේ පිළිගනු ලබන ආචාර ධර්ම පද්ධතියට අනුකූලව කටයුතු කිරීම මගින් මේ රටේ සියළු මාධ්‍යයන්ට , ශ්‍රී ලංකාවේ සියළු ක්‍රියාකාරකම් වලදී ජන ප්‍රසාදය ඇතිව පැවතීමට හැකියාව ලැබෙන බවද මෙහෙයුම් කමිටුව තරයේ විශ්වාස කරයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන

I.ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය

II.සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යාංශය ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය

III.බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

 

යෝජනා අංක - 18

සම්බුද්ධත්ව ජයන්ති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බෞද්ධ උපදේශක මණ්ඩලයක්

පත්කිරීම2012 වර්ෂය ඇතුළතදී

තථාගත සම්මා සම්බුදු රාජාණන් වහන්සේ උතුම් සම්බෝධියට පත්වීමෙන් වසර 2600 ක ජයන්තිය සැමරීම නිමිත්තෙන් ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනයෙන් හා සම්මුතියෙන් සැකසූ විසිවැදෑරුම් වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අතිගරු ජනාධිපති තුමා විසින් ත්‍රෛවාර්ෂික ව්‍යාපෘතියක් වශයෙන් පිළිගෙන සම්භාවනීය පැවිදි හා ගිහි සාමාජිකයන් 26 දෙනෙකු ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුව 2009 ජනවාරි සිට බලපැවැත්වෙන පරිදි පත්කිරීම සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුව එතුමා වෙත ප්‍රසාදය පළකර සිටී.

බෞද්ධ කටයුතු විෂය පැවරී ඇති රාජ්‍ය ආයතන වන බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයටත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත්, තනිව ඉටුකරගත නොහැකි වූ කාර්යයන් රාශියක් විවිධ රාජ්‍ය හා වෙනත් ආයතන හා තැනැත්තන් රැස්කරවා ඔවුන්ගේද සහය ඇතිව සම්බන්ධීකරනය කරමින් ඉටුකර ගැනීමට මෙම මෙහෙයුම් කමිටුව සමත් වු අතර මෙම කමිටුවේ නිල කාලය 2012 වෙසක් පුණු පොහෝ දිනයෙන් අවසන් වේ.

ඉහත කි විසි වැදෑරුම් වැඩ පිළිවෙළ හා යෝජිත දස අවුරුදු වැඩ පිළිවෙළ සමාජගතව ඉදිරියටත් ක්‍රියාත්මකවිම අවශ්‍ය බවට අවධාරණය කරමින් ඉහත කී මෙම මෙහෙයුම් කමිටුව අහෝසිවීමේ හිඩැස පුරවාලමින් ඉදිරියට ද බුද්ධශාසන කටයුතු වෙනුවෙන් රජයට උපදෙස් දීම සඳහා අතිගරු ජනාධිපති තුමා විසින් සුදුසු උපදේශක මණ්ඩලයක් පත්කරන මෙන් යෝජනා කරසිටී.

මෙම යෝජනාව කඩිනමින් ඉටුකිරීමෙන් දස අවුරුදු ඉදිරි වැඩපිළිවෙළ ඉදිරියට අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට හැකියාව ලැබෙන බව ද මෙහෙයුම් කමිටුව විශ්වාසය පළකර සිටී.

2600 සම්බුද්ධත්ව ජයන්තිය විවිධ අංශයන්ගෙන් සාර්ථක කිරීම සඳහා අතිගරු ජනාධිපති තුමා ප්‍රධාන රජය ලබාදුන් සහය ඉතා අගේ කරන අතර මෙහි ඉහතින් දක්වා ඇති යෝජනාවලිය මෙතැන් පටන් දස අවුරුදු කාලයක් ඇතුළත ක්‍රියාවට නංවන මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු.

මෙයට,

2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව වෙනුවෙන්

නියංගොඩ විජිතසිරි අනුනායක ස්ථවිර ,

ගරු සභාපති.

මෙහෙයුම් කමිටුව

  1. අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  2. ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දී.මූ ජයරත්න මැතිතුමා
  3. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  4. අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  5. ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  6. දර්ශනපති පූජ්‍ය අකුරටියේ නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  7. පූජ්‍ය වලව්වාගොඩ විමලබුද්ධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන්පුජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  8. පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  9. ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  10. මහාචාර්ය පූජ්‍ය වරාගොඩ පේමරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  11. මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  12. පූජ්‍ය දිවියාගහ යසස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  13. පූජ්‍ය තිරිකුණාමළයේ ආනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  14. පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  15. පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  16. පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  17. ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  18. පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  19. දර්ශනපති පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  20. දේශබන්දු ඕල්කට් ගුණසේකර මහතා
  21. ජගත් සුමතිපාල මහතා
  22. ආචාර්ය හේමා ගුණතිලක මහත්මිය
  23. ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා
  24. එච්.පී කැෂියන් හේරත් මහතා
  25. එම්.ඩී.ඩබ්ලිව් ආරියවංශ මහතා
  26. චන්ද්‍රප්‍රේම ගමගේ මහතා
  27. සරත්චන්ද්‍ර සෙනෙවිරත්න මහතා
  28. කේ. කළුපහන මහතා (කමිටුවේ ලේකම්)

 

ක්‍රියාත්මක කළ යුතු ආයතනය :-

I. ජනාධිපති කාර්යාලය

 

බුදු දහමේ චිරස්ථිතිය පිණිස යෝජිත මෙම දස අවුරුදු වැඩ සැලැස්ම අන්තර්ජාලය භවිතා කරන සිංහල බෞද්ධ ජනතාවගේ අවධානය පිණිස පළ කිරීම සඳහා සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙත ලබා දුන් පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමිපාණන් වහන්සේට මෙයින් අපගේ කෘතවේදීත්වය පළ කරමු.

4447
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

15 comments to බුදු දහමේ චිරස්ථිතිය පිණිස දස අවුරුදු වැඩ සැලැස්ම

  • Dulantha

    මේ ලිපියෙන් පෙන්වාදී තිබුන කරුනු සේරම මම පිලිගන්නව. ඒ වාගෙම මෙම පියවර සියල්ල ඉතා ඉක්මනින් ගතයුතුයි. මෙම ලිපියෙන් පෙන්වාදී තිබෙන ගොඩක් කරුනු නීතිමය පත්තක් තියෙන ඒවා. මම කෑමතියි තවත් කරුනු කීපයක් එකතු කරන්න නීතිමය පෑත්තට ඒ තරම් සම්බන්ද නෑති.
    පලමුව බුදු දහමට එරෙහි විජාතික මූලාශ්‍ර ගෑන දෑනුවත් වියුතුයි. ප්‍රධානම බලවේග වෙන්නෙ ක්‍රිස්තියානි මුල්ධර්ම වාදයයි මුස්ලිම් ආක්‍රමනයයි. මේ බලවේග ඉදිරියෙහි ක්‍රියාත්මක වෙනකොට ඔවුන් සතු ආර්තික හයියත් ඔවුන්ගෙ උපක්‍රමශීලී බවත් ගෑන තේරුමක් ඈතිව ක්‍රියා කළයුතුයි. වෑදගත් වෙන්නෙ අපද උපක්‍රමශීලී වීමයි.
    දෙවෙනි වශයෙන් අප දෑනගත යුතු වෙන්නේ දේශීයව ක්‍රියාත්මක වන බලවේග ගෑන. දේශීයව ක්‍රියාත්මක වෙන්නේත් විජාතික බලවේග වල ජරාව කන එවුන්. මේ අය විතරක් නෙවෙය් බටහිර නූතනත්වයෙන් මොඩ් වෙච්ච මොඩ් සි0හල බෞද්ධයොත් නොදෑනුවත්ව අපේම ජාතික හතුරු පාර්ශවයට සහය දෙනවා.
    අප මෙහිදී නීතිමය පෑත්තට අමතරව අපේම න්යායන්ට අනුව ආර්තික දේශපාලන හා ස0ස්කෘතික වශයෙන් අපේ වෑඩපිලීවෙලක් ක්‍රියාවට නෑගියයුතුයි. පලමුව දෑහිතකාමී දෙශීය අයතන හා ව්යාපාර ශක්තිමත් කළයුතුයි. ඒ වාගෙම රටට ගෑලපෙන අදහස් අත්තවුන්ට විවිද විශයන් සම්බන්ද දෑනුම ලබාදී ඉදිරියට ගෙන ඔවුන් මෙරට ඉදිරිගමන තීරනය කරන තීරක බලවේගය බවට පත් කළයුතුයි.
    දේශපාලන වශයෙන් බලන කල අප සෑමදා කරන මෝඩකම නම් ඉතා සුලු පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් රටට ජාතියට හතුරුකම් කරන විජාතික ගෑති අමන දේශපාලුවන්ට චන්දය දීමයි. මෙය තවදුරටත් නොකර කුහකකම් පෑත්තක තබා රටට ජාතියට හරි ආදරයක් ඈති වගකීමෙන්යුතු පිරිසක් අපේ නායකයන් හෑටියට තෝරා ගතයුතුයි.
    සමාජ හා ස0ස්කෘතික වශයෙන් ක්‍රියාවට නෑගියයුතු කාරනා තරමක් ස0කීර්නයි. හේතුව යටත්විජිතවාදයෙන් අපට ලෑබී තිබෙන බටහිර මතවාදවල ආභාශයෙන් මුලුමනින් ගෑලවෙන්න අපහසු වීම. පළමුව අපේ රට බටහිරට වඩා හෑම අතින්ම පහත් තත්වයක තියෙන බවට ඈති මතය ඉවත් කලයුතුයි. බටහිර නූතනත්වය ලෝකෙට පොදු නෑති බව රටට ඒත්තුගෑන්වියයුතුයි. මාක්ස්වාදය, ලිබරල්වාදය, පස්චාත් නූතනවාදය, කාන්තාවාදය ආදී බටහිර විජාතික මතවාද කරපින්නාගත් ව්යාජ උගතුන් පිටුදෑකියයුතුයි.
    සි0හල සමාජය වෙලාගෙන ඈති මත්ද්‍රව්ය උවදුර තවත් එක හූනියමක්. මේ මත්ද්‍රව්ය වලට ගොඩදෙනෙක් පුරුදුවෙලා තියෙන්නෙ 60 ගනන් 70 ගනන් වල චිත්‍රපටි වලින්. ඒ චිත්‍රපට් හරහා මත්ද්‍රව්යක් භාවිතා කරන එක පිරිමියෙකුට ලාක්ශනික පෞරුශත්වයත් එක්ක වෑරදි විදිහට එකතු කරල ගෑටගහලයි තියෙන්නෙ. ඒ කාලෙ චිත්‍රපටි බලපුඅය ඒවයින් තමයි ගොඩක් දුරට සිගරට් බොන්න හුරු වෙලාතියෙන්නෙ. අද ගමක් ගානෙ කසිප්පු ජාවාරම් සරුවට කෙරෙනව. රටේ පිරිමි ජනගහනයෙන් සෑලකියයිතු කොටසක් කවර හෝ මත්ද්‍රව්යක් භාවිතා කරන තත්වයකුයි තියෙන්නෙ.රටක පිරිමි ජනගහනය දුර්වල අකර්මන්ය තත්වයක සිතින විට අතිවන තත්වය අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.අද මේ සම්බන්දයෙන් බලන කළ මත්ද්‍රව්ය උවදුරෙන් ගෑලවෙන එක මූලිකම කාර්යක්.
    සි0හල බෞද්ධ සමාජයේ තිබුන වෑදගත්ම ලක්ශනයක් වෙන්නෙ ස්ත්‍රී පුරුශ භාවය මත පුද්ගලයන්ගෙ තිබුන සුවිශේශී හෑඩගස්මයි. ස්ත්‍රී පුරුශ භාවය මත තම ජීවිත ක්‍රමවත්ව හෑඩගසාගෑනීම අපේ වටිනාකමක්. නමුත් බටහිර නූතනත්වය ගිලපු වියාජ උගතුන් මෙය අපේ දුර්වලකමක් විදිහට හන්දුන්වනව. බටහිර නූතනත්වයෙන් මොඩ් වෙච්ච මොඩයන් මෙන්ම අනුකාරක පුහු උගතුන් මේ ලක්ශනය විනාස කළේ ලි0ග බේදයක් එපා කියල විකුර්ති ලි0ගික ක්‍රියාකාරකම් වලට සිත් සේ වෑඩෙන්න ඉඩසලසමින්. මෙය විශෙශයෙන් අධ්යපනය හා ක්‍රීඩාව හරහා සිද්ද වෙනවා.
    මේ අමනකම දන්වත් නවත්වා පවුල් පදනමේ සිට සමාජය නෑවත අපේම මතවාද මත පිහිටලා ප්‍රතිස0ස්කරනයක් කළ යුතුයි. සි0හල පවුල්වල සෑම තාත්තලාම තමන්ගෙ පිරිමි ළමයින් පෞරුශත්වය පදනම් කරගෙන හෑඩගස්වන අතරතුර ගෑනු ළමුන් ස්ත්‍රීත්වය පදනමටගෙන කුඩාකල සිට හෑඩගස්වීමට අම්මලාට බාරදියයුතුයි. ස්ත්‍රී පුරුශභාවයෙහි මනෝවිද්යාත්මක සාදකය නිසි ලෙස ගොඩනගීම අනිවර්‍රය වියයුතුයි. ලි0ගිකත්වය යනු පිරිමියෙකුගෙ හෝ ගෑනියෙකුගෙ උනත් ජිවිතයෙහි ප්‍රදාන අ0ගයක් බව කුහකකම් පසෙක තබා පිලිගතයුතුයි. ක්‍රමවත් ලි0ගික ජීවනරටාවක් යනු කවර ස0ස්කෘතියක වුවත් මධ්ය නාරටියක් බවද අමතක නොකළයුතු දෙයක්.
    ලි0ගිකත්වය ගෑන නොසෑලකිල්ලෙන් දරුවන්ට තම ස්ත්‍රී පුරුශභාවයට ලාක්ශනික වටිනාකම් ජීවිතවලට ආදේශ කරගන්න ඉඩ නොදී ඔවුන් හෑදීම යනු අවසාන වශයෙන් සමලි0ගිකත්වය ඈතුලුව සියලු ව්කුති ලි0ගික ක්‍රියාකාරකම් වලට සරු පසුබිමක් සෑපයීමයි. අන්ය ජන කොටස් මෙවෑනි මෝඩකම් නොකරන බවද කිවයුතුයි. බටහිර නූතනත්වය ගිලපු සි0හල දෙමවුපියන් තමයි ලමයින්ගෙ ස්ත්‍රී පුරුශ භාවය කුඩා කල සිට හෑඩගස්වීමක් නොකර නපුන්සක වෑඩ පුරුදු කරන්නෙ. මේ තත්වයමයි අපේ සමාජයේ ලි0ගිකතවය ව්යාකූල වෙලා ජනගහනයත් අඩුවෙන්න අනියම් විදිහකට බලාපන්නෙ.අප මේ මහා ගොන් කමෙන් වහා අත්මිදියයිතුයි.
    අවසාන වශයෙන් ඉහත කාරනා සියල්ල සෑලකිල්ලට ගෙන රටට ගෑලපෙන ආර්තිකයක් , දේශපාලනයක්, අධ්යාපන ක්‍රමයක් හා නීතිරීති පද්දතියක් නිර්මානය කර රට සුරක්ශිත කිරීමට අප සියලුදෙනා අනාගතයේදී එක්ව ක්‍රියා කළයුතුයි.

    http://spiritofnature99.blogspot.com/

    Thumb up 2

  • මාතර ආතර

    අප නිසා රැකුන ‘ථෙරවාදී සිංහල බුද්ධාගම’ (සහ එය නිසා රැකුන අප රැකීමට)
    මේ රටේ රැකීමට නම්
    ජාතික සමගිය මෙසේ ඇති කල යුතුය.

    මේ රටට ඉන්දියාවෙන් ආනයනය කල දුම්කොළ වවන්නන් යාපනයේ දිගටම තබා ගැනීමට දිරිදීමක් ලෙස,
    ඒ ඇත්තන්ට ප්‍රධානය කරන ලද ඉඩම් අන් ජන වර්ගයකට විකිණීම තහනම් කල,ලෝකයේ කිසිම රටක නැති, තේසවලාමේ නීතිය ගෙනා, ලන්දේසි ආක්‍රමණයේ පටන් ඇතිවුන
    සහ
    ලන්දේසින් විසින් උන්ගේ පහසුවට අඳින ලද Cleghorn සිතියම පාදක කරගත් උතුර නැගෙනහිර එක් කිරීම වැනි
    බෙදුම්වාදී අත්තිවාරම් ඇති කරමින් පලුදු කරන ලද ජාතික සමගිය ඇති කිරීමට
    කවදටත් අදාළ
    මග;
    1.
    සමහරුන් කියන්නා වූ මෙතෙක් දෙමල ඇත්තන්ට (සහ මුස්ලිම් ඇත්තන්ට) ‘සිංහල ජාතිවාදී සුළු පිරිසකගෙන්’ වුනා වූ කෙනෙහිලිකම් සෑම එකක්ම එළිපිට කතා කර / විවාද කර (සජීවී රූපවාහිනී තියෙන්න ඕන මේවටයි) නැවත ඒවා ඇති නොවෙන පරිදි විසඳා ගත හැක.
    2.
    එවන් සිදුවීම් උතුර නැගෙනහිර එක් කෙරීමෙන්වත්, බලය බෙදීමෙන්වත් නොවැළකෙන අතර,දෙමල ඇත්තන්ගේවත් මුස්ලිම් ඇත්තන්ගේවත් ‘ආත්ම ගරුත්වය’ ඒවා ලබා දීමෙන් ඇති නොවන අතර, කොළඹ සිටිනා මුස්ලිම් සහ දෙමල ඇත්තන් ගේ ‘ආත්ම ගරුත්වය’ උතුර නැගෙනහිරට ඒවා ලබා දීමෙන් ඇතිවේද?ඒ ඇත්තන්ගේ ආත්ම ගරුත්වය ඇති කිරීමට කල යුත්තේ කුමක්ද?
    3.
    දෙමල ඇත්තන්ට වෙනම බල ඒකක දුන්නොත්,’අපටත් අපේ ආත්ම ගරුත්වය ඇති වීමට අම්පාර ඕනය’ කියා මුස්ලිම් ජාතිවාදී නායකයන් ඉල්ලයි!
    4.
    ඊට පස්සේ කඳුකරයේද ‘ආත්මගරුත්වය’ ඉල්ලනවා සිකුරුය.
    5.
    මෙහි ඇති භයානක කම නම්, බලය බෙදීමෙන් සහ උතුර නැගෙනහිර එක් කිරීමෙන් ඔය කියන්නා වූ ‘කෙනෙහිලිකම්’ දිගටම ඇති වීමෙන්,’මේවා ලැබිලත් අපේ ප්‍රශ්න විසඳුනේ නෑනේ,එනිසා දැන් අපට වෙන් වෙන්න ඕන’කියන බයිලාව ජාතිවාදී දෙමල සහ මුස්ලිම් නායකයන් ගායනයට අනාගතයේදී සූදානම් වීමයි.
    6.
    ඉන්පසු රටවල් වශයෙන් වෙන් වී දේශසීමා සටන් ඇති කර, මේ රටේ සිංහල දෙමල මුස්ලිම් අපව කොටවපු ‘ආයුද වෙළෙන්දන්ගේ’ මලු පිරවෙනු ඇත!
    7.
    මුළු ලොවම සිටින දෙමල ජනයාට ‘ආත්ම ගරුත්වයෙන් සිටීමට රටක් වශයෙන් වෙන්කර ගන්න පුළුවන්’,ඉතිහාසයට සහ ජනගහනයට අනුව සධාරනම ප්‍රධේශය වනාහි තමිල් නාඩුව වන අතර, මුස්ලිම් ඇත්තන්ට නම් ලෝකේ රටවල් ඕන තරම් තිබේ.ඔස්ට්‍රලියාවේ කලින් සිටි අගමැති එහි සිටින මුස්ලිම් ඇත්තන්ට අවවාදයක් කළා මතකද? හැම රටකම වෙනවා සේ,මේ රටේ ඉතිහාසයෙන් ප්‍රධාන භාෂාවට සහ ආගමට හිමි තැන,අන් ජන වර්ගයා පිළිගත යුතු අතර,නීතිය ඉදිරියේ කවුරුත් සමානය.
    8
    හැබැයි වෙනස්කම්,(discimination ) ලෝකේ මොන රටෙත් යම් පමණකට තිබේය.සමහර බටහිරයෝ තවමත් ආසියාතිකයන් දෙස, ‘සක්කිලි / අප්‍රිකානු වහල් ආකල්පයෙන්’ බලන බව කියැවේ.
    9.
    ක්‍රිකෙට් ක්‍රීඩකයන් එලිපිට තෝරනවා මෙන් නොව,සම්මුඛ පරීක්ෂණ සහ රහසිගත විභාග ප්‍රතිපල වල බොහෝ ප්‍රශ්න විසන්දීමට,හැම රැකියාව දීමක්මත්,තෘතීය අඩ්යාපනය ට සිසුන් තේරීමත්,ජන අනුපාතෙටත් කල හැක.
    10.
    නමුත්,බටහිර රටවල් වලවත්,ඒ අය ගේ භාෂාව ඉගෙන ගත්තේ නැත්නම්,ඒ භාෂාවෙන් වැඩ කලේ නැත්නම්,තවම මේ අන්දමේ 100%සමානත්වයක් අන් ජනවර්ගයාට දී නැත.
    11.
    මේ රටේ සමනාත්මකතාව ගැනීමට නම්,සිංහල බස හදාරපල්ලා කියා,බටහිර රටවල් වල කරනවා මෙන්,අපේ රජවරු අන් ජන වර්ගයාට බල කලේ නැත.
    12.
    භාෂාව හා බද්ධ වුන හුඟක් ප්‍රශ්න මේ රටේ මොන භාෂාව කතා කරන කට්ටියටත් තිබේ.
    ‘කඩ්ඩ’ (ඉංග්‍රීසි)බැරි ‘සිංහල දෙමල මුස්ලිම්’ එකාව, කඩ්ඩ (ඉංග්‍රීසි)පුළුවන් ‘දෙමල සිංහල මුස්ලිම්’ පොරවල් කොන් කරන්නේ නැත්ද?කඩ්ඩ බැරි සිංහල දෙමල මුස්ලිම් ඇත්තන්ට ‘ආත්ම ගරුත්වය’ අදාලද?
    1948 ඉඳන් තියෙන ඒ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද?
    13.
    ඉන්දියාවේ බමුනොයි,බටහිරයෝය් අපට බලෙන් පටවන,අනාගතේදී මේ රට 3 කට කැඩී යා හැකි,බලය බෙදුව කියල, ඔය ප්‍රශ්න එකක්වත් විසඳෙන්නේ නැතිය.අප දුර දක්නා නුවනින් ජාතික සමගිය උදෙසා වැඩ කල යුතුය.

    Thumb up 2

  • සුරේන්

    ඉර මුදුන් ද්වීපස
    http://ghazniboogi.blogspot.com

    Thumb up 0

  • ranmal

    අද සඟ සමාජය අන්ත දුශිතෛ. මෙවන් දුෂිත සඟ සමාජයකින් මිනිසුන් ඇත වීම පුදුමයක් නෙමෙඉ.
    සංඝාධිකරණය බලගන්නල විනය විරෝදින් සඟ සමාජයෙන් පහ කලයුථුඉ.
    ඉන් පසු විනයධර තරුණ උගත් බික්ෂුන් වහන්සේලා පුරුදු කර පෙරට ගෙන ආ යුථුඉ.
    බුදු දහම නිදහස් ආගමක් කියා සියලු දේ නිදහස් කලොත් සංගයා වුනත් ගාල කඩා ගත් හරක් වගේ හැසිරීම නවත්තන්න බහ. අද වෙන්නේ එක යි.

    Thumb up 4

  • Thilaka Randeni

    මෑතක සිට අපේ රටේ බෞද්ධකමට සුද්දාගේ කාලයේවත් නොතිබුණු කෙණහිලිකම් දක්නට ඇත. බොහෝ විට මේ කෙණහිලිකම් කරන්නේ අන් කවරකුවත් නොවේ බෞද්ධ යයි කියා ගන්නා අපේ දේශපාලනඥයන් ම ය. ‘ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට ම`ගුල්’ කීවාක් මෙන් මෙයින් ප‍්‍රයෝජන ගන්නේ අන්‍ය ආගම්වාදීන්ය.
    එදා වත්තල විජයබා පිරිවෙන තිබූ තැන පෘතුගී‍්‍රසි කාලයේදී කතෝලික පල්ලිය ඉදි කෙරුණි. ඒ එදාය. රටට නිදහස ලැබුණාට පසුව පාලනයේ සිටින්නේ බෞද්ධයන් කියා ගන්නා අයය.
    දීඝවාපිය ඩෝසර් වුණි. ලංකාවට බුද්ධ ධර්මය ගෙනාවා යැයි බෞද්ධයන් බොහෝ දෙනකු විශ්වාස කරන මිහිඳු හිමි වැඩි මිහින්තලා කන්ද අද නගින විට අපූරුවට පෙනෙන්නට කතෝලික පල්ලියක් ඉදි වූයේත් 1994 න් පසුය. කූරගල වැනි ඉතා පැරණි බෞද්ධ සිද්ධස්ථානයක මුස්ලිම් පල්ලියක් ඉදි කර ඇත. මහමෙවුනාවෙත් මුස්ලිම් පල්ලියක් අටවන ලදි. ඇත්ත, ආගම ඇදහීමට කාටත් අවසර තිබේ. එහෙත් අන්‍ය ආගමිකයන්ගේ පල්ලි දේවස්ථාන අපේ ලිප්බොක්ක අස්සේම අටවන තෙක් බෞද්ධයා නිවටව බලා සිටිය යුතුද?
    රජ කාලේ සිටි සංඝයා වහන්සේලා රජවරුන්ට විරුද්ධ ව තීන්දු ගැනීමට පවා බලවත් වූහ. ඇයි අද බැරි? මෙයට බොහෝ දුරට හේතුව විය හැක්කේ අද සංඝාධිකරණය බල රහිත වීමයි. රජුන්ට පමණක් නොව තම නිකායට අයත් ව සිටින භික්‍ෂුවකගේ විනය සම්බන්‍ධවත් දඬුවමක් දීමට නොහැකිය.
    යුද්ධාධිකරණය පිළිගන්නා මේ බෞද්ධ රටේ සංඝාධිකරණයේ තැන කොතැනද?
    දැන් ඇති පරිද්දෙන්ම සෑම දිස්ති‍්‍රක්කයකටම සංඝාධිකරණයක් පිහිටවමු. (මේ අධිකරණ සංඝයාගෙන්ම සැදුම් ලද යුතු යයි අප සිතුවද බුදු රජාණන් වහන්සේ වරක් මහා ප‍්‍රජාපති මෙහෙණින් වහන්සේලා වැනි අය සිටිද්දීත් කුමාර කශ්‍යප මාතා භික්‍ෂුණියගේ අවනඩුව ඇසීමට බාර දුන්නේ විශාකා සිටු දේවියටයි. ඇත්තටම මෙහි විශාල වැදගත්කමක් ඇත. සංඝයා වහන්සේලා පමණක් රැුස්වී පොහොය කර්මය කරන සේක. එහෙත් සංඝ විනය බොහෝ සෙයින් පල්ලම් බැස ඇත. විනිවිද භාවයටත් එක්කම ධර්මය හොඳින් ඉගෙන ගත් ගිහි බෞද්ධයන්වත් අධිකරණයට එක් කර ගතහොත් එය වඩාත් හොඳය. මෙයින් ලැබෙන තීන්දුවකින් යම් භික්‍ෂූන් වහන්සේ කෙනෙක් සෑහීමට පත් නොවේ නම් ශ්‍රේෂ්ඨ සංඝාධිකරණයට යා හැකිය. මෙය අනිවාර්යෙන්ම තුන් නිකායෙන් සෑදුණක් විය යුතුය.

    Well-loved. Thumb up 8

  • sanju

    ඉක්මනින් කීයත්මක කල යුතුය.

    Thumb up 0

  • kasun

    රජවරුන් කෙරේ ඇති වෙන්නෙ පුදුම කරුනාවක්…
    වෙසක් දිනයෙවත් බනක් භාවනාවක් කරන්න විදියක් නෑ..
    ආශ්චර්ය මවන්න වෙසක් එක අලලා බඩුමිල වැඩිකරන්න වෙහෙසෙන්නේ..
    යම් මතු දිනයක නිවන්දැක බණ කියනා කල්හි,
    නිරයෙහි දුක් වින්දිනා මෙකල්හි රජවරුන් ගැන එකල්හි පැවසීමට සිදුවීම දුකක්…

    Well-loved. Thumb up 5

  • AW

    ඒතකොට නිර් ආගමික හෝ ඉතාමත් දුර්ලභ (ලංකාවේ ප්‍රධාන ආගම් වලට අයත් නැති ) ආගමක් අදහන ළමයෙකුට දහම් අධ්‍යාපනය අනිවාර්‍ය කරන්නේ කොහොමද? පොඩ්ඩක් පැහැදිලි කරන්න?

    Hot debate. What do you think? Thumb up 5

  • Fire Lion

    සාදු සාදු සාදු.

    Thumb up 0

  • kasun

    “The original language of the sutras seems to have been Magadhi, which Shakyamuni used in preaching. Of all the Indic language versions of sutras used as Buddhist texts today, those written in Pali are the most numerous and are widely used in the Southern Buddhist countries Sri Lanka, Burma, and Thailand. According to Southern Buddhist tradition, Pali is regarded as the language that Shakyamuni spoke, and therefore is called Magadhi or the fundamental language. However, recent studies show that although a little of the Magadhi influence is still evident in the Pali language, the basic characteristics of the two languages are different.

    Thumb up 1

  • kasun

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 5

    • බුදුරජාණන් වහන්සේට නිශ්චිත භාෂාවක් තිබුණේ නෑ. තුන් ලොව තතු මැනැවින් දත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක් එක් අයගේ මනසට ගෝචර වෙන භාෂාවකින් වදාරා ඇති බව සූත්‍ර පිටකය කියවීමේදී තේරෙනව. මිනිසුන් බඹුන් දෙවියන් මරුවන් ආදී සියල්ලන්ම එකම භාෂාවක් භාවිතා කළා වෙන්න බෑනේ.

      Well-loved. Thumb up 11

    • Diyasena Kumaraya

      ත්‍රිපිටකයේ ඇති බුදුන් වහන්සේගේ දේශනා නියම ආකාරයෙන් ඝන පිහිටවලා දේශනා කරලා තියෙන්නේ. ඒ විදියටයි අදත් දේශනා කරන්න ඕනේ. සිංහලෙන් හෝ වෙනත් භාෂාවකින් හෝ මිනිස්සුන්ට කියල දෙන එක හරි. නමුත් බුද්ධ දේශනා ඒ තිබෙන ආකාරය වෙනස් කිරීමෙන් අර්ථ රසයත් ශබ්ධ රසයත් දෙකම නැති වෙනෙවා. දැන් කෙරෙන්න ඕනේ, පාලි දන්නා හාමුදුරුවන් විසින් බුද්ධ දේශනාව මොකක්ද කියන එක මිනිස්සුන්ට තේරුම් කර දීමයි. නැතුව සිංහල භාසාවට බුද්ධ වචනය පරිවර්තනය කිරීම නෙවෙයි. කෙනෙක්ට අවශ්‍ය නම් පාලි ඉගෙන ගෙන ත්‍රිපිටකය කියවන්නට පුළුවන්. නමුත් එසේ ඉගෙන ගත ය ඒ ධර්මය හරි ආකාරව කියා දෙනවා නම් ඊට වැඩිය වැඩි පිරිසක් සුගතියට ගන්නට පුළුවන්.
      බුදුන් වහන්සේ පාලියෙන් කතා කලේ නෑ කියලා ඔබ හරියටම දන්නේ කොහොමද කියන එක මට පැහැදිලි නෑ.

      Well-loved. Thumb up 8

    • Kanishka | කණියා

      කසුන් වගේ පොෂ් ‍මෝඩයෝ නිසා තමයි අපිට අපේ දේ නැති වන්නේ..

      Hot debate. What do you think? Thumb up 8

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.