බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භවය

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ථෙරවාද බෞද්ධ දර්ශනයේ මූලික මෙන්ම වැදගත් ඉගැන්වීමකි. සියලු සංස්කාර ධර්මයන්ට පොදු වූ මෙම අනිත්‍ය බව, දුක්ඛ ස්වභාවය හා අනාත්ම භාවය මත පදනම්ව ව බෞද්ධ දර්ශනයේ එන සුවාසූ දහසක් ධර්මස්කන්ධය විග්‍රහ කෙරෙන බව අප කවුරුත් දන්නා කරුණකි.

පුනර්භවය ද බෞද්ධ ඉගැන්වීමට ම ආවේණික ලෙසින් ධර්මය තුළ මැනෙවින් විග්‍රහ කෙරෙන කාරණයකි. පටිච්ච සමුප්පාදය වැනි මූලික ඉගැන්වීම් වලදී මෙන්ම සත්ත්වයාගේ සංසාරික ගමන විග්‍රහ කිරීමේදී ද පුනර්භවය ඔස්සේ ධර්ම කාරණා පෙළගැසෙන ආකාරය, ධර්මය හදාරන ඕනෑම අයකුට ප්‍රකට වන කාරණයකි. පුනර් + භවය ලෙස නිවැරදි ආකාරයෙන් ධර්මයෙහි මෙම කාරණය සැකසුණද, සාමාන්‍ය ජනයා විසින් ව්‍යවහාරයේදී පුනරුත්පත්තිය (පුනර් + උත්පත්තිය) හෙවත් නැවත ඉපදීම යන අර්ථය ඇතිව මෙම ධර්මතාවය හඳුන්වන ආකාරය දැකිය හැක.

පුනර්භවය බෞද්ධ ධර්මය තුළ ඉතා ගැඹුරින් සාකච්ඡා වූ කාරණයක් වුව ද, වත්මන් බොදු ජන සමාජය තුළ මෙම ධර්මතාව ඉතා ලඝු කොට දැක්වීමක් දැකිය හැකිය. පුනර්භවය යන්න පුනරුත්පත්තිය ලෙස සමාජගත වීම හරහාම එහි අර්ථකථනයන් පවා විශාල ලෙස වරදවා හඳුනාගෙන ඇති ආකාරය පෙනී යන කාරණකි. ඒ අනුව බොහෝ බෞද්ධයින් විසින් පුනර්භවය යනු “සත්ත්වයාගේ මරණයෙන් පසු නැවත ඉපදීම” ලෙස ද, යම් පමණකින් ධර්ම කාරණා දන්නා බහුතරය විසින් ‍එම අර්ථකතනයම “මියයන අවස්තාවේ චුති සිතක් ඇති වී ඒ ඔස්සේ ප්‍රතිසන්ධි සිත ඇතිවී නැවත ඉපදීම සිදුවන” ආකාරයෙන් හැර, ඊට වඩා ගැඹුරකින් මෙම කාරණය විග්‍රහ කිරීමට නොයයි.

එතුළින් උද්ගතව ඇති අවාසනාවන්ත තත්වය නම් බෞද්ධ ධර්මයටම ආවේණික වූ අනාත්මවාදය සහ පුනර්භවය පිළිබඳ‍ව බොදු ජනයා අතරම ඉතා පැටලිලි සහගත බවක් වර්ධනය වීමයි.
නිසි ලෙස අධ්‍යයනය නොකර මෙම ගැඹුරු ධර්මතාවයන් අර්ථකතනය කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ කියවෙන පුනරැත්පත්ති විශ්වාසයන් හරහා ප්‍රකට වන්නේ අනාත්මවාදයක් නොව ආත්මවාදයකි.

නිවැරදි බුද්ධ භාෂිතය තුළ ඉතා නිරවුල් ලෙස විග්‍රහ කර ඇති ධර්ම කාරණා සම්බන්ධයෙන් මෙවැනි ගැටලු ඇතිවීම කිසිසේත් සුලු කොට තැකිය නොහැක.

පුනර්භවය, සාමාන්‍ය ව්‍යවහාරයේදී පුනරුත්පත්තිය බවට පරිවර්තනය වීමට මූලිකවම බලපෑ හේතුවක් ලෙසින් මා දකින්නේ හින්දු ආගමික බලපෑම එල්ලවීමයි. විශේෂයෙන් පොළොන්නරු යුගය වන විට මෙරට යම් පමණක රාජ්‍ය අනුග්‍රහයද ලබමින් හින්දු දර්ශනය ව්‍යාප්ත වීඇති ආකාරය ඉතිහාසය හැදෑරීමේදී අපට පැහැදිලි වේ. දීර්ඝ කාලීන බලපෑම් මත ‍හින්දු ඉගැන්වීම් ඊට අනුරූප බෞද්ධ ධර්ම කාරණා සමග මිශ්‍ර වීම සිදුවී තිබේ. බොහෝ විට සමාන අදහස් සේ දිස් වුවද බොහෝ වෙනස්කම් සහිත හින්දු කර්ම සංකල්පයත්, පුනරුත්පත්තිය පිළිබඳව වන ඉගැන්වීමත්, බෞද්ධ ධර්මය සමග වැරදි ලෙස සන්සන්දනාත්මකව ගැනීම නිසා මෙම වැරදි දෘෂ්ටිය ඇතිවී යැයි සිතිය හැකිය. මේ පිළිබඳව පැහැදිලි කර ගනු වස් පළමුව හින්දු ඉගැන්වීම සලකා බලමු.

නූතන හින්දු දර්ශනයේ ආරම්භය වෛදික යුගය දක්වා දිව යයි. ඒ ගෞතම බුදු හිමියන් ලොව පහළ වීමටත් බොහෝ කාලයකට ඉහතදීය. බ්‍රහ්ම සංකල්පය මත බිහිවුණු වේද ග්‍රන්ථ මූලික කරගනිමින් වෛදික යුගය, උපනිෂද් යුගය ආදී වශයෙන් බ්‍රහ්මවාදී ආගමික මතවාදයන් විකාශය වූ ආකාරය ඉතිහාසය හැදෑරීමෙන් වඩා උගත හැකිය.

වඩාත් වැදගත් ලෙස සලකා බැලිය යුතු කාරණය වන්නේ මේ තුළ බිහි වූ යෝගී ක්‍රම මගින් සාර්ථකත්වයට පත් සෘෂි වරුන් විසින් සිත ඉතා ඉහළට දියුණු කරමින් අෂ්ට සමාපත්තීන් සහ අභිඥා උපදවා ගැනීම යි. මේ සියලු යෝගී ව්‍යයායාමයන් සමථයට ම පමණක් අදාළ බව තේරුම් ගත යුතුය. කෙතරම් ඉහළට මේ ආකාරයෙන් සිත දියුණු කල ද එහි උපරිම ඵලය වන අරෑප ධ්‍යාන පවා පෘථග්ජන භාවය ඉක්මවා නොගිය අවස්ථාවක් බවද අවධාරණය කල යුතුය.

කෙතරම් දුරකට සමථයම ප්‍රගුණ කළද මෙම සෘෂි වරුන්ගේ සක්කාය දිට්ඨිය හීන නොවූ බව අපට අවබෝධ කරගත හැකිය. ඒ වෙනුවට ඉහළ අරෑප තල වලදී, කය හැර සිත ඔස්සේ නොවෙනස් ආත්මයක් ඇතැයි යන සඤ්ඤාව ඔවුන් තුළ ජනිත වන්නට විණි. ලැබුවා වූ අභිඥා ඤාණ බලයෙන් පෙර විසූ කඳ පිළිවෙත් පවා අවබෝධ වන්නට ව්ය. එතුළින්ද වූයේ සිත ඔස්සේ ගොඩනැගී තිබුණු අත්ම දෘෂ්ටිය තවත් ප්‍රබල වීමකි. එ නයින් සසර පුරාවට ඉපදෙමින් මැරෙමින් ගමන් කරන, කර්මානුරෑපී ආත්මයක් ඇති බව ඔවූහු දේශනා ‍කළෝය.

තවද තමන් ලැබූ අරෑපී තලයන්හි ආයුෂ කෙතරම්ද දීර්ඝ දැයි ඔවුන් අවබෝධ කර ගත්තේ එම තත්වයන් සදාකාලික යැයි වරදවා වටහා ගැනීමෙනි. නමුත් එහිද, කල්ප ගණනකින් වුව අවසානයක් ඇතැයි දැනීමට ඔවූහු අපෝසත් වූවෝය. මේ අනුව ඔවුන් දේශනා කළ ආත්මය සහ පුනරුත්පත්තිය අවසාන වූයේ බ්‍රහ්ම ලෝකයෙහි සදාකාලික ජීවනය ලැබීම තුළිනි.

සිද්ධාර්ථ කුමාරයා උපත ලබන්නේ මෙවන් වූ ඉගැන්වීමක් ඉතා ප්‍රබලව භාරත සමාජය තුළ මුල්බැසගෙන තිබුණු යුගයකය. එතුමාගේ පිය රජු, සුද්ධෝදන රජුගේ ගුරුවරයා වූ අසිත තවුසා පවා මෙම සෘෂි ගණයේ ලා සැලකිය හැකි අරූප ධ්‍යාන ලාභියකු බව සඳහන් වේ. ගිහිගෙය අතහැර සත්‍යයම සොයා ගිය සිදුහත් තවුසා පවා පළමුව, එකල භාරතයේ ප්‍රබල සෘෂි වරුන් වූ ආලාර කාළාම, උත්දකරාම පුත්ත යන ගුරුවරුන් සොයා ගිය ආකාරය අප දන්නා කාරණයකි. සිදුහත් තවුසාද ඔවුන් කෙරෙන් සියලු දෑ ඉතා ඉක්මනින් උගත් බවද ප්‍රකට කාරණයකි. එනම් අෂ්ට සමාපත්තිය දක්වා සිත උසස් කරගත් බවයි.

එනම් බුද්ධත්වයට පෙරම සිදුහත් තවුසාණන්, සෘෂි වරුන් තුළ පැවති ඉහළම ඵලයට පත් වී සිටිය ද, එතුමා ඔවුන් කෙරෙන් ඉවත් වූයේ තමන් සොයන ආර්ය සත්‍යයම එම ඉගැන්වීම් තුළ නොවූ බව පසක් කළ බැවිනි. එහෙත් අද අපි දැඩි ලෙස උපාදානය කර සිටින්නේ බුදු හිමියන් බුද්ධ ඤාණයත් ලැබීමට ප්‍රථම ඉවත ලූ මිත්‍යා දෘෂ්ටියක නොවේ දැ? යි සිතා බලන්න…..

සමථ භාවනාවෙන් අවබෝධ කරගත නොහැකි, බෞද්ධ ධර්මයටම පමණක් ආවේණික විදර්ශනාවෙන්ම සත්‍යය අවබෝධය ලබා ලොව්තුරා බුද්ධත්වයට පමිණි තිලෝගුරු අමා මෑණියන් විසින් සමස්ත ලෝකයා වෙත, ලෝකය නම් මායාවේ සැබෑ ස්වරූපයත්, අනාත්ම ලක්ෂණයත් දේශනා කර වදාරන්නේ ඉන් අනතුරුවය.

බ්‍රහ්ම නම් තත්වයට පත් වූ විට ආත්මය සදාකාලික ජීවනයට පත්වන යන, දැඩිව සමාජගතව පැවති මිත්‍යාව දුරුකළ, බ්‍රහ්ම තලයේ සිට වුවද ඉතා දීර්ඝ වූ ආයුෂ අවසානයේ යළි කාම ලොකයට හෝ සතර අපායට පැමිණෙන බවත්, ඒ තුළ ආත්ම යැයි ගතහැක්ක ක් නොමැති බවත් අප අවධාරණය කරගත යුතු කාරණයකි. එසේනම් එසේ පැමිණෙන සත්ත්වයා නම් කවරෙක්ද? බොහෝ දෙනා තේරුම්ගත නොහැකිව සිටින කාරණය මෙයයි.

සත්ත්වයා යනු නාමරූප එකතුවක් බව බෞද්ධ ඉගැන්වීමයි. රූප යනු පඤ්චස්කන්ධය සහ ඊට ගොචර වන/නොවන දේව, මනුෂ්‍ය, තිරිසන් ආදී රූප කලාපයන් ය. සතර මහා භූතයින්ගෙන් සෑදී ඇති රූපයේ ස්වභාවය නම් රුප්පනය වීමයි. මේ රූපය තුළද නොවෙනස් සත්ත්වයකු නොමැති බව ද, ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි ආදී වූ රූප කලාප පමණක් බවද අවබොධ කරගත යුතුය.

මීළඟට ඉතිරි වන්නේ නාම ධර්මයන්ය. ඒවා නම්, වේදනා, සඤ්ඤා, සංස්කාර, ව්ඤ්ඤාණ වේ. පෘථග්ජනයාට ගෝචර නොවන බැවින් මේ පිළිබඳව අවබෝධය ඉතා අපහසුය. සමහරෙක් ආත්ම යැයි රැවටෙන්නේ මෙම නාම ධර්මතා වලට විය හැකිය.

තරමක් හෝ දුරකට ධර්මය දන්නා කෙනෙක් තුළ වුව ආත්මයක් නැත – පවතින්නේ විඤ්ඤාණය යැයි මතයක් ජනිතව ඇති බවද පෙනේ. එහෙත් නොවෙනස් විඤඤාණ ශක්තියක් ඇති බව පැවසීම ද ආත්ම දෘෂ්ටියටම යාමකි. මේ බව බුදු හිමියන් විසින් සාතී භික්ෂුවට කළ කරුණු පැහැදිලි කිරීමෙන් පෙනී යයි. (සාතී භික්ෂුවද සත්ත්වයා සසරින් සසරට ගෙනයන විඤ්ඤාණයක් ඇතැයි යන මතයක් කියා සිටියේය).

විඤ්ඤාණය පවා පංචද්වාරයට අරමුණු ගන්නා ආකාරය අනුව සාපේක්ෂ වේ. එනම් විඤ්ඤාණය ද රූප විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී වශයෙන් අරමුණු ලබාගන්නා ආකාරයට විවිධාකාරයෙන් පහළ වන්නකි. එනම් විඤ්ඤාණය වුවද එකාකාරයෙන් ගත හැක්කක් නොවේ. එතුළින් ඒ ඒ අරමුණු ඔස්සේ ජනිත වන්නා වූ සිත් උප්පාදනය වේ. සිත යන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී නාමපදයක් ලෙස සැලකුවද අභිධර්මයට අනුව එය ක්‍රියාවක් සේ සලකා බැලීම කළ යුතුය. මෙසේ ඇතිවන්නා වූ සිත්හි ආයුෂ ඉතා කෙටිය. කෙතරම්ද යත් අසුරු සැනක දී සිත් ලක්ෂ ගණනක් ඉපදී නිරුද්ධ වී යයි. ඒ අනුව එකකට පසු එකක් වශයෙන් ඇතිවන, එකිනෙකට සහසම්බන්ධ චිත්ත පරම්පරාවක් ජනිත වේ.

සාමාන්‍ය සත්ත්වයා හට මෙම සිත් ඇතිවන නැතිවන වේගය ගෝචර නොවන බැවින් ඒ සිත් සියල්ල එක් සිතක් යන සඤ්ඤාව ඇතිකර ගනී. මෙලෙස එකිකෙකට වෙනස් මුත් කිසියම් පරම්පරාවක නියැඳියක් ලෙස ඇති වන සිත් සමූහය එක් ආත්මයක් සේ සැලකීමට සත්ත්වයා යොමුවී ඇත.

මේ පිළිබඳව උදාහරණයකින් සලකා බලමු,
කඩා හැලෙන දිය ඇල්ලක් ගැන සිතන්න. දුන්හිඳ ඇල්ල සලකමු. එදෙස බලා සිටින විට ඔබ එය දෙස මුලින් බලන විට තිබුණු ජල‍ය දැන් එහි නැත. නමුත් ඊට සමාන ජල කොටසක් එහි ඇත. මෙය ඉතා වේගයෙන් ගලනා නිසා ඒකාකාරී ජල පහරක් සේ ඔබ දකී. එහෙත් ඇත්තේ කුඩා කුඩා, එකකට පසු එකක් එන ජල බිඳු රාශියකි. ‍ඔබට එය එසේ දර්ශනය නොවන අතරම එයට දුන්හිඳ යන එක් නමකින් ම හඳුනාගනී.

අප ආත්මය යැයි රැවටෙන්නේ මීටත් වඩා වේගයකින් ක්‍රියාත්මක වන සිතුවිළි පරම්පරාවකට බව ව‍ටහා ගත යුතුය.

භවය යනු මෙම චිත්ත පරම්මරාවේ පැවැත්ම ඔස්සේ ඇතිවන්නා වූ සාධකයකි. අධිවේගී සිතුවිලි දාමයක් සක්කාය දිට්ඨියෙන් අල්ලා ගැනීමෙන් සත්ත්ව සඤ්ඤාව ඇතිවන අතර ඒ ඔස්සේ ජනිත වන්නා වූ තෘෂ්ණාව හේතුවෙන් එම චිත්ත සන්තානය විසින් සංසාරය දැඩිකොට ග්‍රහණය කර ගැනීම නිසා භවය ඇතිවේ. එනම් නාම රූප ඒකාබද්ධ කොට පංචස්කන්ධය සහිත සත්ත්ව ස්වරූපය ‍ගොඩනැගීමයි. චිත්ත පරම්පරාව තුළ ජනිත වන්නා වූ ශක්ති විශේෂයක් වන කර්මය මගින් මේ ක්‍රියාවලියට අවැසි උත්තේජනය සැපයෙන අතර නිර්මාණය වන සත්ත්වයා එනයින් කර්මාණරූපී වන්නේය. (මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයට පටිච්ච සමුප්පාදය විග්‍රහයක් කියවන්න).

මෙලෙස අල්වා ගත් සත්ව රූපයෙහි ආයුෂ සිඳුණු කල්හි, ජනිතව ඇති කර්ම ශක්තියේ පමණට සෑහෙන තවත් භවයක් අල්වා ගනී. මේ සමස්ත ක්‍රියාදාමය තුළම ඇත්තේ ක්ෂණයෙන් ක්ෂණයට වෙනස්වන චිත්ත දාමයක් මිස ආත්මයක් නොවේ. භවය යනු ඒ ගමන් මග තුළ අල්ලා ගන්නා හා ශක්තිය බිඳුණු කල අතහරින, සතර මහා භූතයන්ගෙන් සැදි රූප කලාපයන් වේ. භවය තුළදී ද සිදුකරන්නේ චිත්ත පරම්පරාවේ පැවැත්මට අවශ්‍ය කර්ම ශක්තිය ජනනය කිරීම වන අතර පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු උපාදානය කිරීම මගින් එම කාර්යය සපුරාගනී. ඊට සහරූපීව භවයෙන් භවයට ඇදෙනවා මිසක එය පුනර් උත්පත්තියක්ද නොවේ. මේ ගමන නිමා වන්නේ නම් ඒ නිර්වාණාවබෝධයෙන් ම පමණි.

මෙලෙසට පුනරුත්පත්තිය සහ පුනර්භවය යන්නේ නිවැරදි තාවය තේරුම් ගත යුතුය. අනාත්ම ලක්ෂණය අර්ථකතනය කෙරෙන ආකාරයද වටහා ගත යුතුය. එමගින්ම සංසාරයේ යථා ස්වභාවය වටහා ගැනීමේ දුෂ්කර කාර්යය ඇරඹිය හැකිය. එසේ වූ විට උතුම් වූ නිර්වාණය තවදුරටත් අපෙන් ඈත්ව නොයනු ඇත.

සම්පාදනය – සචිත අමන්දු අබේසේකර
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]

3454
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

11 comments to බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භවය

  • Nayani Ranasingha

    Namo Buddaya

    Dear Mr.Sachitha

    I read your article.its really a great one.i learnt lot of things. may you attain Nibbana within this Gauthama Budda sasana. obata pin

    Theruvan Saranai

    Thumb up 0 Thumb down 0

  • Meththa

    mewan gamburu dhahamak saralawa paehaedhili kara dheema
    gana oba thumaata bohomathma pin..!!! mema pina obata
    chathuraarya saththaya awabodhaya pinisama hethu weva..!!!

    Thumb up 2 Thumb down 0

  • Asahan

    @roy
    අනේ මහත්තයො අපිට එහෙනම් හරි ආගම මොකක්ද කියලා කියනවාද?
    කියාගන්න බෑරිනම් අපිටත් ඔබතුමාගේ ආගම managkalpitha කියලා තමයි හිතන්න වෙන්නෙ…

    Thumb up 3 Thumb down 1

  • roy

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 2 Thumb down 9

    • එතකොට ලෝකයේ වේගයෙන්ම පැතිරෙන්නේ,
      1. ජුසේගේ අනුදැනුමෙන් තොරව මරියාව ගැබ්බනියක් කළ බවක් කියවෙන
      2. ලෝකය පැතළි යැයි කියන
      3. විශ්වයේ සියලුම දේවල් දෙවියන්ගේ මැවීමක් යැයි කියන
      4. හැම කෙනෙක්ම මැරුනට පස්සේ නඩු අහනවා යැයි කියන

      …ඔබගේ ක්‍රිස්තියානි ආගමද?

      Well-loved. Like or Dislike: Thumb up 10 Thumb down 4

    • A Buddhist

      this comment alone shows ur ignorance and stupidity mate… punarbhawaya is an accepted truth even among modern sciences (though they talk of souls, as the author here explains, buddhism rejects).. and ur comment about buddhism being on the verge of extinction, if u care to do some research, then u’ll notice that more n more westerners are drawn towards buddhism… do some more research and u’ll further find out that the reason they give for it is because they cannot find the answers they’re looking for in the usual religions which keep on preaching that god created everything… and that trend is what none of u can stop.. ever stopped to wonder why even none of the greatest western intellectuals(albert einsteing and stephen hawking would be the greatest examples) reject the ‘god created everything’ idea? that idea definitely doesn’t appeal to anyone who can think for themselves!!

      “Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and the spiritual, and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.” – einstein

      and here’s a little something for u… go and check under the heading ‘Buddhism’ http://en.wikipedia.org/wiki/Claims_to_be_the_fastest-growing_religion

      Thumb up 1 Thumb down 0

  • mohamed kareem

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 0 Thumb down 4

    • Hasitha

      Don’t comment where there is no relevance to you.. don’t be an idiot in front of many.. if there is something to say about the content of the article please do that, otherwise get-lost.. we know who you people are..

      Thumb up 3 Thumb down 1

  • පාඨකයා

    ලිපියට ස්තූතියි. ” සංකල්පය” යන වචන භාවිතය වැරදියි.. හේතුව පුනර්භව යන සංසිද්ධිය මනසින් ගෙතූවක් නොවන නිසා. පුනර්භවය යනු සත්‍යයේ (ධම්ම) කොටසක්. වචන භාවිතයේදි ප්‍රවේසම් වෙමු

    Thumb up 5 Thumb down 2

    • සචිත අමන්දු

      එය පෙන්වා දීම පිළිබඳව ඔබට පින්. එම කරුණ සැබෑවක් බව මටද දැන් වැටහේ.

      මේ සදහා මාතෘකිව “බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භය“ ලෙසින් පමණක් යෙදුවේ නම් සුදුසු යැයි සිතමි. එසේ නැතිනම් “පුනර්භව න්‍යාය“ ලෙස වුවද යෙදිය හැක.

      හැකිනම් එය සංස්කරණය කර දෙන මෙන් වෙබ් අඩවියේ සංස්කාරක තුමාගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.

      මාගේ මෙම ලිපිය පළ කිරීම පිළිබඳව රංග ජයවර්ධනට ස්තුති වන්ත වීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

      ස්තූතියි.

      Thumb up 0 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.