(සර්පයා කඳින් අල්ලා ගැනීම හෙවත් ධර්මය වරදවා තේරුම් ගැනීම)

බුද්ධ ධර්මය වනාහි ලෝකයේ යථා ස්වභාවය පෙන්වා දෙන ආර්ය දර්ශනයකි. එම සත්‍ය වූ ධර්මය කිසිදා නොබිඳිය හැකිය. නමුත් සකල සත්ත්වයාගේ අනවබෝධය උත්සන්න වීම නිසාවෙන් කාලයෙන් කාලයට යටපත්ව යන්නේය, නොපෙනී යන්නේය. එකල්හි ලෝක සත්ත්වයෝ ලෝක මායාවේ ගැටී බොහෝ දුකට පත් වෙත්. එම දුක දකින නුවණැති වූ සත්ත්ව තෙමේ දුක පිළිබඳවම වූ ආර්ය ගවේෂණයේ යෙදෙන්නේය. ඉතා දීර්ඝ කාලයක් ගතවීමෙන් පසු වැසී, නොපෙනී තිබූ සත්‍ය දකින්නේ, ලෝක ස්වභාවය අවබෝධ කර ගන්නේය. ඓලෙසින් ලෝකයට බුදුවරුන් පහළ වේ.
මෙම ආර්ය සත්‍ය නොසැඟවී තිබෙන කාලයක සුගතිගාමී ව උපන්නෝ වාසනාවන්තයෝ ය. එවැනි කාලයක ඉපිද, එම ධර්මයම ජීවන හුරු පුරුද්ද කර ගන්නෝ පින්වන්තයෝ වෙති. ඒ ආකාරයෙන්ම, ධර්මය දැන දැන ද මිත්‍යාවන්හි ගිලෙයි නම් එය කෙතරම් අභාග්‍යක් ද?
බුදුහු ධර්මය ලෝකයාට දේශනා කරත්. සත්ත්වයෝ එය තම තම නැණ පමණින්ම අවබෝධ කර ගනිති. ලෝකයේ සත්‍ය ස්වරූපය කියා දෙන එම ධර්මය වරදවා වටහා ගැනීම ඉතා භයානකය. තව තවත් ලෝක මායාවේම ගිලේ. බුදුවරුන් සියක් දහසකට වුව ගලවා ගත නොහැකි ලෙස සසරෙහි ඇලීම වුව සිදුවිය හැකිය. ධර්මය වරදවා තේරුම් ගැනීම, සර්පයකු කඳින් අල්වා මෙල්ල කිරීමට තැත් කිරීමක් යැ යි බුදු හිමියන් දේශනා කළ සේක. ඒ කෙසේද යත්,
ධර්මයේ කියා දෙන්නේ අපේ සිත මෙල්ල කර ගන්නා ක්‍රමයයි. සිත යනු ලොව දැනට ඇති සියලු සම්මුති ධර්මයන්ට වඩා ශක්තියක් සහිත ධර්මතාවයකි. එබැවින් සිත වැරදි ලෙස මෙල්ල කිරිමට යෑමෙන් සිතා ගත නොහැකි භවයන් කරා වුව සත්ත්වයා ගෙන යා හැකිය. ඉතා දුක්ඛිත තත්වයකට වුව පත් කළ හැකිය. සරල ලෝකයෙන් උදාහරණයක් ගෙන මෙය පහදයි නම්, න්‍යෂ්ටික ශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරනවාට වඩා බරපතල අවදානම් කාර්යකි සිත මෙල්ල කිරීම.
සිත සමග නිබඳ ගනුදෙනුවක යෙදී සිටින නිසාම බුදු දහම අධිමානසික ශක්තිය හඹා යන දහමක් ලෙස බොහෝ දෙනා සිතා සිටී. ඒ පිළිබඳව ප්‍රකට වන සමහර පුරුදු ද වත්මන් බෞද්ධ ජනයාගෙන් පෙනෙන්නට තිබෙන ආකාරය පැහැදිලිය. නමුත් මේ සියලු හුරු පුරුදු පෙර සදහන් කළ පරිදි ධර්මය වරදවා හඳුනා ගැනිම නිසා වන ප්‍රතිඵල බව කියනු කැමැත්තෙමි.
බුදු හිමියන් පෙන්වා දෙන්නේ සම්මුති ලෝකයේ කිසිඳු ශක්තියක හෝ පදාර්ථයක, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය හැර ඊට වැඩි හරයක් නොමැති බවයි. එමනිසාම භෞතික ලෝකයේ කිසිවක නොඇලෙන ලෙසට උන්වහන්සේ පැහැදිලිව දේශනා කළ සේක. අධිමානසික ශක්තීන් අතිමහත් බහුතර පුහුදුන් මනසට වඩා උසස් මට්ටමක පවතින මුත් සම්මුති ලෝකයේම පවතින ධර්මතාවක් බව අවධාරණය කරමි.
බුදු දහම තුළ ඉගැන්වෙන, දියුණු කළ මනසින් අවබෝධය කළ යුතු යැයි සදහන් වන්නේ මෙම අධිමානසිකත්වය නොව, ලෝකෝත්තර ධර්මය යි. ලෝකෝත්තර මාර්ගය නම්, අධිමානසිකත්වයද පරයා, පරමාර්ථ ධර්මතා අවබෝධය තුළින්ම පමණක් උදාකරගත හැකි නිර්වාණගාමී මාර්ගයම මිස අන් කිසිවක් නොවේ. නිවන කිසි විටෙක අධිමානසිකත්වය හා සම කළ නොහැක. මන්ද, අධිමානසික ශක්තිය යනු මේ ලෝකය තුළ පවතින ස්වභාවයක් හෙවත් ලෝකය ග්‍රහණය කර, ලෝක ධාතුවෙහි ඇලී පවතින ස්වභාවයක් වන අතර නිවන නම් ලෝකය නම් වූ මිරිඟුව අත්හළ, ඉන් මිදුණු, කිසිවක නොඇලුණු ස්වභාවයකි. සරලවම ගත් කල නිවන තුළ ලෝකයක් නැත.
නිර්වාණාවබෝධය සදහා ද සිත හික්මවා ගැනීම අනිවාර්ය කරුණකි. ඒ සදහා භාවනාව අත්‍යාවශ්‍ය අංගයකි. භාවනාව බොහෝ කොට හුරු පුරුදු කිරීම කළ යුතුය. බොහෝ බෞද්ධයා විසින් නොමග යන අවස්ථාව නම් මෙයයි. සමහරු භාවනාව තුළින්ම ලබන අධිමානසික ශක්තිය ද නිවන් මගෙහි අනිවාර්ය අංගයක් යැයි සිතති. එබැවින් එහි ඇලේ. එසේත් නැතිනම් නිරායාසයෙන්, භාවනාව පුරුදු කිරීමේ දී ලබන්නා වූ අධිමානසික තත්වයක ඇලේ. ඇලීම යන්න ද පුහුදුන් සිතේම ස්වභාවයක් යන සංඥාව එවිට එම මනසට නොවැටහේ.
තවද නිවන යන්න ලොකෝත්තර ධර්මතාවක් බැවින් එහි ආරම්භයක් හෝ අවසානයක් වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදුකළ නොහැක (මෙහිදී සෝවාන් අදී මාර්ගඵල නිවන් මගෙහි සංධිස්ථාන මිස නිවනෙහි ඇරඹුම නොවන බව වටහාගත යුතුය; ඇරඹුමක් ඇතැයි සිතයි නම් එහි අවසානයක්ද තිබිය යුතුය; නමුත් නිවන කිසිදින අවසන් නොවේ). එනමුදු අධිමානසික ශක්තීන් තුළ ආරම්භයක් පවතී. ඒ ප්‍රථම ධ්‍යානය යි. එහි අවසානයක් ද ඇත. ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතන ය වේ. අධිමානසිකත්වයේ ඵලයන් අභිඥා වශයෙන් ධර්මයේ විස්තර වේ. අභිඥාවන් ඔස්සේ අද්භූත දේ කළ හැකිය. නමුත් නිවන යනු කිසි කලෙක අද්භූත දෙයක් නම් නොවන්නේම ය. අධිමානසික තත්වයේ සහ නිවනෙහි වෙනස ඒ ආකාරයෙන් දීර්ඝවශයෙන් වුවද දැක්විය හැකිය. මෙහිදී නිර්වාණගාමී මාර්ගය තුළ අධිමානසික ශක්තීන් සමඟ සිදුකරන ගනුදෙනුව පහත ආකාරයට දත යුතුය.
සත්ත්වයා ලොකයෙන් මිදීම හෙවත් අර්හත්වයට පත්වීම ක්ෂණිකව එක් තැනකින් උස්සා පසෙකින් තබන්නා සේ සිදුකළ නොහැකිය. නිර්වාණගාමී මාර්ගයෙහි ගමන් කිරීම අරඹන්නේ මේ සම්මුති ලෝකය තුළදීමය. ඒ මාර්ගයේ ගමන් කිරීමේ දී වුව සම්මුතියේ පවතින, සත්ත්වයාගේ පැවැත්මට අවශ්‍ය වන සම්පත් ප්‍රයෝජනයට ගනීම සිදුකරයි. ආහාර, නිවාස, ඇඳුම් මෙන්ම මිල මුදල් පවා මෙකි පැවැත්ම අරඹයා අවශ්‍ය වන අතර බුදු දහම පවා ඒවා පරිහරණය ප්‍රතික්ෂේප නොකරයි. ඉතා වැදගත් කාරණය වන්නේ එම සම්පත් හි නොඇලී, ඒවාම පමණක් උපාදානය කර නොගෙන කටයුතු කිරීමය. භෞතික ලෝකය සමඟ පවතින සම්බන්ධය සත්ත්වයා විසින් හරින්නේ පරිනිර්වාණයෙන්ම පමණි.
එසේනම්, භාවනාව තුළ පවතින විවිධ වූ මානසික තත්වයන් සම්බන්ධයෙන් ද මෙම තත්වය පොදු ලෙස සැලකීම යෝග්‍ය වේ. සිත සමාධිගත කිරීම හෝ අනිත්‍ය ආදී වූ ධර්මතා මෙනෙහි කිරීම යන කාරණා එකවරම සිදුකරගත නොහැකිය. පළමුව සිත එක්තැන් කිරීමේ සමථ භාවනාව පුරුදු කිරීම අවශ්‍ය වේ. සමථය වැඩීමේදී නිරායාසයෙන්ම සිත ධ්‍යාන සම්පත්තීන් කරා පැමිණෙනවා ඇත. (සම්මා සමාධිය අවශ්‍ය වන්නේ මෙතැනදී ය) ඒ ඒ අවස්ථාවන් පිළිබඳව මනා සේ අවබෝධයකින් යුතුව සමාධිය ප්‍රගුණ කළ යුතුය. අප සාමාන්‍ය ජීවිතයේ ආහාර, නිවාස ආදි සම්පත්තීන්හි නොඇලුනා සේ සලකා ධ්‍යාන ආදී සම්පත්හි ද තෘෂ්ණාවක් මතු නොකළ යුතුය. ආහාරය ශරීරයේ පැවැත්මට පමණක් අවශ්‍ය වූවා සේම ධ්‍යානය සමාධියෙහි පැවැත්මට අවශ්‍ය සේ පමණක් දැන කටයුතු කළ යුතුය. වඩාත් තීරණාත්මකම කාරණය වන්නේ නිවැරදි පරිදි සිත සමාධිගත වූ අවස්ථාවේ දී විදර්ශනා වැඩීම ආරම්භ කිරීමය. සැබවින්ම ලෝකෝත්තර ගාමී මාර්ගය ඇරඹෙන්නේ විදර්ශනාව සමගින් යැයි කීම නිවැරදිය.
සමථයෙන් පමණක් ලබනා අධිමානසාකත්ව ශක්තීන් තුළ කිසිඳු අයුරකින් විදර්ශනාව හෝ නිර්වාණය නොමැති බව යළිත් වරක් අවධාරණය කරමි.
වැරදි ලෙසට ලෝකොත්තර මාර්ගය අතහැර අධිමානසික ශක්තීන් පිටුපස හඹා යෑමේ එක් භයානක ප්‍රතිඵලයක් ලෙස ඔබට මහා කල්ප 84000 කට නොඅඩු කාලයකට නිවන මගහැරී යාම දැක්විය හැක. ඒ අසඤ්ඤ බ්‍රහ්ම ලෝකයේ ඉපදීම තුළිනි. එහිදී සමාධිය සම්පූර්ණ වශයෙන් භුක්ති විඳ යළි කාම ලෝකයේ ජනිත වේ. එසේ ඉපදීම නිරයේ හෝ මිනිසත් භවයේ ලෙස කිසිවකුට ස්ථිර වශයෙන් දත නොහැක. නිරයේ වුවහොත් තවත් කල්ප ගණනාවක් ධර්මශ්‍රවණය පවා නොලැබේ. මිනිසත් භවයක ඉපදුනද එම කාලය අබුද්ධෝත්පාද හෝ ශුන්‍ය කල්පයක වීමට ඉඩ වැඩිය. ඉදින් සසර දික් වන තරම ඔබටම සිතාගත හැකිය.
මේ සියල්ල වටහාගෙන සමාධිය වඩන යෝගාවචරයා නම් ධ්‍යානයන්හිද අනිත්‍ය භාවය දකී. ධර්මය දැන සම්‍යක් දෘෂ්ටියේ පිහිටා කටයුතු කෙරේ. තමා තුළ අෂ්ට සමාපප්ති පිහිටියද, ඒවා ද, සම්මත ලෝකයේ නිවාස, ඇඳුම්, ආහාර පාවිච්චි කරන ආකාරයටම සලකා ම කටයුතු කෙරේ. විදර්ශනාව වඩවයි. මෙලෙස නිවැරදි මාර්ගය දනී නම් එවැනි බොහෝ යෝගාවචරයන් අෂ්ට සමාපත්තියේ පිහිටියද, නිවැරදි ධර්මාවබෝධය නිසාම, නිවන සාක්ෂාත් කර නොගත්ත ද අනාගාමී ඵලයට පිවිස, ධ්‍යාන බෙලෙන් සුද්ධාවාසයේ උතුම් අර්හත්වයෙන් ජනිත වන බව ද දත යුතුය.
සම්පාදනය – සචිත අමන්දු අබේසේකර.

Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
5
@Edward Theophilus
Every one have their own reality!.
Do not show your damn ignorance idiot.