තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ඇරඹුමක ආරම්භය (ලෝක විනාශය සිදු වන ආකාරය)

[පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විනයාචාර්ය පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වමීන් වහන්සේ විසින් සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පළ කිරීමට එවන ලද ලිපියකි.]

මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතරට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර වූ මෛත්‍රියෙන් ලොව තෙමූ, කල්ප ගණනක් ඇවෑමෙන් ලොවට පහළවන ශාස්තෲවරයෙක් සිව්රඟ සෙනගින් පිරිපුන් මාර බලය බිඳ දමා පහළ වූ සේක් ද ඒ සිද්ධාර්ථ ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වනුව බුදු පදවිය ලැබූ ශාස්තෲවරයාණන් වහන්සේගේ ලොව පහළ වීම සිදු විය. හේ කෙසේද යත්;

දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණය ලැබ දාන, සීල, නෛශ්කම්ම ආදී දස පාරමී, උපපාරමී, පරමත්ත පාරමී නම් තුන් අයුරින් සම්පාදනය කොට අවසන් වශයෙන් පාරමී දම් සපිරීම වෙසතුරු ආත්මයේදී සිදුකොට නමුලොවින් ඉවත්ව දෙව් ලොව බිහිව සුදුසු කල්හි පස්මහ බැලුම් බලමින් දෙවියන්ගේ ආරාධනය පිළිගෙන සුදොවුන් මහ රජුට පුත් රුවනක් වෙමින් සිද්ධාර්ථ නමින් ඉපිද නිසි වයස් එළඹී කල්හි යසෝදරාවගේ අත ගෙන උපතින් විසිනව (29) අවුරුද්දක් සම්පූර්ණ වූ, තම ලෙයින් ජාතක වූ රාහුල කුමරුන්ගේ ජන්ම දිනය දා ගිහි සම්පත්, රජ සම්පත් හැර දමා අභිනික්මන් කොට සයාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට එයද අතහැර දමා මැදුම් පිළිවෙතින්, සුජාතාව දුන් කිරිපිඬු වළඳාඅ හිස් පාත්‍රය උඩුගඟ බලා ගමන් කරන අයුරු දැක තම අභිප්‍රාය සාර්ථක වනු දැන සොත්තිය බමුණානන් විසින් පුදන ලද කුස තන මිටි අට අජපල් නම් නුග රුක මුල එලා සකසාගත් ආසනය මත භාවනා ඉරියව්වෙන් හිඳ සසර භාවිත කළ සියලු භාවනා අරමුණු නැවත සිහි කරමින් අවසාන ආනාපාන සති භාවනා අරමුණ සිත රඳවමින් හුන් කලිහි සියලු විදර්ශනා ඥානයන් උපදවා සියලු සන්තානගත කෙලෙස් මුල් උදුරා සර්වඥතා ඥානය උපදවා ලොවට මෛත්‍රියේ මූර්තිය පහළ විය.

ඉන් අනතුරුව පන් සාලිස් වසක් (වසර 45) ලොව වැඩ වසමින් සූවාසූ දහසක් (84000) වූ ධර්මස්කන්ධය දේශනා කොට උපතින් වර්ෂ අසූවක් සපිරුණු තැන නිරුපධිශේෂ පරිනිර්වාණයට පත් වූහ. ඉන් අනතුරුව වර්තමානය දක්වා ශාස්තෲ කොට ඇත්තේ උන් වහන්සේ දෙශනාකොට වදාළ අසූහාරදහසක් වූ ධර්මස්කන්ධයම පමණි. එම ධර්මස්කන්ධය ප්‍රධාන කොටස් තුනකින් වර්තමානයේ දැකිය හැක. එනම් පිටක වශයෙන් සූත්‍ර, විනය හා අභිධර්ම යයි. මෙම කොටස් තුන නැවත කොටස් දෙකකට බෙදේ, ඒ පරමර්ථ දේශනා හා සම්මුති දේශනා වශයෙනි. ඉන් අභිධර්ම පිටකය පරමාර්ථ වශයෙනුත් සූත්‍ර හා විනය යන පිටකද්වය සම්මුති වශයෙනුත්ය.

සම්මුතිය වනාහී නම් ගොත් වශයෙන් යම් යම් දේ හැඳින්වීම පිණිස ඇති කරන සම්මුති දේ මුල් කරගෙන සිදු කරනු ලැබූ දේශනා වේ. එය ඕනෑම මන්ද ප්‍රාඥ්ඥ කෙනෙකුට වුවද පහසුවෙන් තේරුම් ගැනීම පිණිස දේශනා කරන ලදී. නමුත් පරමාර්ථය එසේ නොව පියවි ඇසට නොපෙනෙන්නා වූ සිත ගැනද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සිද්ධාන්ත විග්‍රහ කරනු පිණිස කරන ලද දේශනා කොට්ඨාසය වේ. එය නුවණින් දියුණු අයට ම බොහෝ සප්පායම් වේ (ගැළපේ).

ඒ අනුව අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ එම සම්මුතිය හා පරමාර්ථය අවබෝධ කර ගැනීම පිණිසය. මේ ව්‍යායාමය ඒ සඳහාය.

වර්ෂ 2012 ඉතාමත් තීරණාත්මක වර්ෂයක් ලෙස සමාජගත ගැටලුව බුදු දහමට අනුකූල වන්නේද යන්න සොයා බැලීම අප සතු යුතුකමකි. මේ විග්‍රහය ඒ සඳහාමය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයට අයත් අංගුත්තරනිකායේ චතුෂ්ක භාගයට අයත් සත්තක නිපාතයෙහි දෙවන පණ්නාසකයෙයි දෙවන මහා වග්ගයේ දෙවන සූත්‍ර දේශනාව නම් සත්ත සූරියග්ගමන සූත්‍රයෙන් විස්තර වන්නේ ලෝක විනාශය සිදු වන ආකාරයයි.

එම සූත්‍රයෙහි සාරාංශය පහත පරිදි වේ.
සුගෙර නම් පර්වතය වනාහී දිගින් පළලින් හා උසින් යොදුන් අසූහාර දහසකි. ඉන් අසූහාර දහසක භූමී භාගය මහ මුහුදේ ගිලී ඇති අතර අසූ හාරදහසක භූමී භාගය මුහුදින් මතුව පිහිටා ඇත. එසේම බොහෝ වර්ෂ ගණනක් වර්ෂ දහස් ගණනක්, වර්ෂ ලක්ෂ ගණනක් වර්ෂාව නොමැති වේද, එවන් කාලයක් අනාගතයෙහි ලොව ඇත. එකල්හි බීජාගාම හෙවත් බීජයන්ගෙන් හටගන්නා වූද, ඥතගාම හෙවත් භූමිය ආශ්‍රය කොට හටගන්නා වූද ඖෂධ තණපත් විශාල ගස් ආදිය එකල්හි වියලී යයි. යළිත් ඒවා පොළෝ තලයෙහි පැන නොනගී. මේ සංස්කාරයන්ගේ අනිත්‍ය හෙවත් වෙනස්වන බව ප්‍රකට කරන, අස්ථීරත්වය ප්‍රකට කරන ලක්ෂණ වේ. එනිසාම මෙය සසර දුක අවබෝධයම පිණිස උත්සාහ ගන්නා අයට ඒ සඳහා ප්‍රමාණවත් වේමය.

එසේම, මෙසේ වැස්ස නොමැතිව දීර්ඝ කාලයක් පැවතීමෙන් අනතුරුව සූර්යයන් දෙදෙනෙකුගේ පහළ වීම මේ පෘථිවි තලයට වන්නේය. එකල්හි යම් නොසිඳුනු කුඩා ගංගා, විල්, පොකුණු ආදිය වෙත්නම් ඒවාද වියැලෙන්නේමය. නැවත හට නොගන්නා ලෙසම වියැලෙන්නේමය. මෙසේද සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙත්.

නැවත සූර්යයන් තුනක ගේ පහළ වීම සිදු වෙයි. එකල්හි විශාල ගංගා ලෙස පවතින ගංගා යමුනා අචිරවතී සරඟ මහී ආදී ගංගාවන්ද සිඳී යත්මය. නැවත හට නොගන්නා ලෙසම සිඳී යන්නේමය. මෙසේද සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙත්.

නැවත සූර්යයන් හතර දෙනෙකුගේ පහළ වීම සිදු වෙයි. එකල්හි ජල උල්පත් ‍රැකගත් මහා විල් ආදිය වන අනවතප්ත, සිංහප්‍රපාත, රථකාරය, කර්නමුණ්ඩ, ෂඩ්දන්ත, මන්දාකිණී යම් මහවිල්ද නැවත හට ඔගන්නා ලෙසම වියැළෙත්.

නැවත දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වන සූර්යයාද පහළ වෙන්නේමය. එකල්හි සප්ත මහා සාගරයෙයි යොදුන් සියය බැගින්ද, මහා සමුද්‍රයෙයි යොදුන් දෙසීයක්ද, මහා සයුරෙහි යොදුන් තුන් සියයක්ද, යන ආකාරයෙන් ජල මට්ටම අඩු වී අවසානයේ මහසයුර පිහිට තැන්ද ජලය නොමැති ගොඩබිම් බවට පත් වෙන්නේමය, නැවත හට නොගන්නේමය.

ඉන් අනතුරුව දීර්ඝ කාලයක් ඇවෑමෙන් සයවන සූර්යයාගේ පහළ වීම සිදුවන්නේය. එකල්හි මැටි බඳුන් පුළුස්සන පෝරණුවක මෙන් මහ පොළොවෙන් දුම් දැමීම ආරම්භ වන්නේය, එසේම පෙර කිවූ සුනෙර පර්වතයෙන්ද දුම් දැමීම ආරම්භ වන්නේය. එසේ ආරම්භ වී දුම පිටකිරීම ක්‍රමයෙන් වර්ධනය වන්නේය. මෙසේ දුම් දමමින් දීර්ඝ කාලයක් පවතී.

අනතුරුව සත්වන සූර්යයාගේ පහළ වීම සිදුවේ. එකල්හි දුම් දමමින් තිබූ සුනෙර පර්වතය හා මහපොළොව රත් වූ යකඩ වල පැහැය ගෙන ගිනි ගෙන දැවෙන්නේමය. දැවෙන්නට දැවෙන්නට වායු ගෝලය අවසන්වී ඒ ගින්න බඹ ලොව දක්වාම පැතිර යයි. එම ගින්නට හසුවන්නා වූ මහපොළොවෙහි අළු දූලි වත් ඉතුරු නොවන්නේමය. මේ ගින්නෙන් ලෝක විනාශය සිදු වන ආකාරයයි.

සත්ත සූරියගමන සූත්‍ර දේශනාවට අනුව ලෝක විනාශය සිදු වන්නේ මෙලෙසිනි. එයට වසර ලක්ෂ ගණනක් ගත වන්නේමය. එසේ නොමැතිව වසරකින් දෙකකින් මෙය සිදු නොවන්නාහ. එනිසාම දෙදහස් දොළහ වර්ෂයේ ලෝක විනාශයක් සිදු වේ යැයි සිතීමද මුළාවකි. නමුත් මිනිසුන්ගේ නොමනා හැසිරීම් නිසා තමන් විසින් සිදු කරගන්නා නොයෙක් විනාශ නම් ඕනෑම කාලයක සිදුවිය හැක. ඒ නව සොයාගැනීම් වශයෙන් ක්ෂණික ආහාර, අවි ආයුධ නිපද වීම ආදිය තුළින් සිදුවන්නා වූ විනාශය ලෝක විනාශයක් නම් නොවේ. ලෝක විනාශයක් වන කල්හි ලොව කිසිදු සත්වයෙක් ඉතුරු වනන්ට ඉඩක් නොමැති බවද සිහියේ තබා ගැනීම වඩා වැදගත් වේ. ලෝක විනාශයෙන් ගැලවීමට මග බුදුරජාණන් වහන්සේ දෙශනා කොට වදාළ නිවන් මග මිස වෙන මගක් නොවන්නේමය.

පූජ්‍ය. විනයාචාර්ය උඩුගම සාරානන්ද හිමි.
විපස්සනා භාවනා මධ්‍යස්ථානය.
දික්හේන පොල්ගස්ඕවිට.

3220
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

23 comments to ඇරඹුමක ආරම්භය (ලෝක විනාශය සිදු වන ආකාරය)

  • savin

    මේ ගැන කතා බහ කලොත් … =]

    http://www.gossip9.com/2011/03/blog-post_1366.html

    Thumb up 0 Thumb down 0

    • //1969 සිට අනාවැකි පලකරන මොහු පලකල බොහෝමයක් අනාවැකි සත්‍ය වී වී ඇති අතර ඔහුගේ අනන්‍යතාව රහසක් ව ඇත්තේ ප්‍රසිද්ධියට ඔහු අකමැති නිසාවෙනි.//

      අන්‍යතාවය ප්‍රකාශ කිරීමට අකමැති කෙනෙක් ඔය වගේ විස්තර ලබා දීමකුත් කරයි කියල හිතන්න අමාරුයි. මොකද අන්‍යතාවයක් නොමැතිව ලබා දෙන ඔය වගේ සංවේදී පුවත් කිසිවෙක් ගණන් ගන්නේ නෑ, ඕනෑම කෙනෙකුට ඔය වගේ දෙයක් ගොතන්න පුළුවන්නේ.

      පුවත්පත් විකුණාගැනීම සඳහා බොහෝ විට බොරු ගොතා පළ කිරීමක් වර්තමානයේදී සිදු වෙනව. එනිසා ඔය වගේ අන්‍යතාවයක් නොමැති සාත්තරකාරයෝ ගැන ලියා ඇති ලිපි සබන්ධයෙන් එතරම් බැරෑරුම්ව සිතිය යුතු නැති බව මගේ අදහසයි.

      කෙසේ නමුත් කුසලයේ යෙදීම කළ යුතුමයි. ඒ ලෝක විනාශයකට බියේ නොව, භවගාමීත්වය ගැන සිතලයි. අනන්ත අප්‍රමාණ භවයන් දෙස බැලීමේදී ලෝක විනාශය නොසැළකිය යුතු තරම් දෙයක්.

      Thumb up 2 Thumb down 0

  • Hasitha

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 2 Thumb down 6

    • lahiru karunarathna

      නවීන විද්‍යාව කියන්නේ මොකක් හරි සිද්දියක් පැහැදිලි කිරීමක් විතරයි.නමුත් ලෝකේ ඊට එහා ගියපු විද්‍යාවක් තියෙනවා.උදාහරණයක් විදියට අපි දන්නවා කෝණික ගම්යතාවයක් ඇති වෙනවා.
      එත් එක ඇති වෙන විදිය අපිට හිත ගන්න බෑ.අපිට ගම්‍යතාවය හොයන්න නම් පුළුවන්.එකෙන් අපේ ජීවිතේට දේවල් ගන්න්නත් පුළුවන්.එත් එක ඇති වෙන විදිය කියන්න බෑ.තවත් ගත්තොත් නිවුටන්ගේ 2නි නියමෙන් කියනවා වස්තුවක් මත යෙදෙන බාහිර අසමතුලිත බලය එහි ගම්‍යතාවය වෙනස් වීමේ ශිග්‍රතවයට අනුලෝමයි කියල. 1න් කියනවා වස්තුවක චලිත ස්වභාවය වේනස් කරන්න භාහිර බලයක් ඕනි කියල. 3න් කියනවා සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රති විරුද්ද විශාලත්වයෙන් සමාන ප්‍රතික්‍රියාවක් තියෙනවා කියල.එත් විද්‍යාවට පුඋවන්ද ඕව පැහැදිලි කරන්න??? බෑ….විද්‍යාවෙන් කරන්නේ ඕව යොදාගැනීමක් විතරි….චුම්බක ක්ෂේත්‍ර ඇති වීම පැහැදිලි කරන්න පුලුවන්ද?? එත් බෑ.එක යොදාගන්න විතරයි පුළුවන්.එකයි නුඋතන විද්‍යාව කියන්නේ අවිද්‍යාව කියන්නේ……………බුදු දහමෙන් සමහර දේවල් පැහැදිලි කරලා තියෙනවා.එහ බොහොම ස්වල්පයයි………

      Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 1

  • Ven B.Wimala

    අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කර ඇති පරිදි ලෝක විනාශය සම්බන්ධව තවත් යමක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. බුදුරජුන් වදාළ දහමට අනුව ලෝකය ඇත්තතේ තමා තුළම ය, එනම් පඤච උපාදානස්කන්ධය යි.එය නිරනිතරයෙන්ම වෙනස් වේ. අප ව්‍යවහාර කරන්නා වූ බාහිර ලෝකය වනාහි නිරතුරැවම විනාශ වේ.(උප්පාද වය) එය ධම්ම නියාමයකි.
    බුදුරජාණන් වහන්සේ නිවනට අදාළ නොවන්නා වූ කිසිඳු දහමක් දෙසන්නට උත්සුක නොවූහ. එහෙයින් අඞ්ගුත්තර නිකායේ සත්තක නිපාතයේ, දුතිය පණ්ණාසක‍යේ මහාවග්ගයේ සත්තසුරියුග්ගමන සූත්‍රය වනාහි හුදු ලෝක විනාශය සම්බන්ධවම වදාළේ යැයි නිශ්චිතවම කිව ‍නොහැක.එහි ප්‍රධන අරමුණ වනුයේ අනිච්චකම්මට්ඨානය පැහැදිළි නර දීමයි.ඒ සඳහා භික්ෂූන් දිරිගැන්වීම් වස් ඉහත ආඛ්‍යානය උපමාවක ස්වරෑපයෙන් වදාර තිබේ. එහෙත් එය හුදු ප්‍රලාපයක් නොවේ. අනාගතයේ සිදුවන්නකි.(අංනි.ටීකාවට අනුව මෙය කප්ප කොළාහලය යි)
    පුද්ගල සන්තානගත රාග දෝස මෝහ උත්සන්න වීමෙන් ද ලොව විනාශ වේ. පුහුදුන් මිනිසාගේ රාගය උත්සන්න වීමෙන් ගින්නෙන් ද දොසය උත්සන්න වීමෙන් ජලයෙන් ද මෝහය උත්සන්න වීමෙන් වාතයෙන් ද ලොව විනාශ වේ.එනිසා මිනිස් සිත් කෙළෙසුන් වැඩිවවන තරමට ලෝකය ද දූෂණය වි ස්වභාව දහම විසින් අයහපත් ප්‍රතිඵල ලබා දෙන බව අප කවුරත් වටහාගත යුතු ය.
    මගේ වැටහීම් බුද්ධියට අනුකූලව සූර්යයන් හතක් පහලවිමක් නොව සූර්යයන් හතකගේ තේජස එක් සූර්යයාගේ ප්‍රසාරණයෙන් ලැබෙන බවයි. (‍ෙමය හුදු විවේචනයකැයි නොසිතන්න.)
    තෙරැවන් සරණයි.

    Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 0

  • I.H.Sirisena

    නවීන විද්‍යාව යනු අවිද්‍යාවයි

    Thumb up 2 Thumb down 1

    • විනිල්

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Like or Dislike: Thumb up 0 Thumb down 3

      • විදර්ශනා භාවනාවේදී ඉගැන්වෙනවා අපේ ශරීරයේ පංචස්කන්ධය අනිත්‍ය බවත් තමා කියා ඇත්තේ සම්මුතියක් බවත්. ඒත් විදර්ශනා භාවනාව වඩන අනාර්ය පුද්ගලයෙක්ට සම්මුතියට අනුව තමන්ගේ ශරීරයක් ඇතැයි උපකල්පනය කරමින් හැසිරෙන්න සිදු වෙනවා. මොකද කියනවනම් නිර්වාණය අවබෝධ නොකර ශරීරය අහෝසි කළහොත් නැවතත් භවයක් හටගන්නා බැවිනි. අන්න ඒ වගේ බටහිර විද්‍යාව විද්‍යාත්මක නොවුනත් අපිට භෞතික පරීක්ෂණ සඳහා වෙන විකල්පයක් නොමැති බැවිනුත්, බටහිර විද්‍යාව භාවිතා නොකළ විට සම්මුතියේදී පැවැත්ම අසීරු වන බැවිනුත් අපට එය භාවිතාකරන්නට සිදු වෙනවා. (එයට හේතු වී ඇත්තේ බටහිර විද්‍යාවේ ආධිපත්‍යය තුළින් අපගේ පෙරදිග විද්‍යාවන් බොහෝ දුරට අතුරුදන්ව පැවතීමයි.) ඒ අනුව කුණපයක් බඳු වූ මේ ශරීරය භාවිතා කරන ආකාරයෙන්ම තමයි අපි බටහිර විද්‍යාව භාවිතා කරන්න වෙන්නේ. ඒත් බටහිර විද්‍යාවට විකල්ප විද්‍යාත්මක ක්‍රමවේදයක අවශ්‍යතාව පැන නැගී තිබෙනවා.

        Thumb up 4 Thumb down 0

  • Hasitha

    බුදුරජාණන් වහන්සේගේ සමය හා සාපේක්ෂව බැලූ විට අද වනවිට විද්‍යාව දියුණු ය. බුදුරජාණන් වහන්සේ බොහෝ විට ධර්මය දේශනා කළේ උපමා යොදා ගනිමින් අසන්නාට පැහැදිලි වන්නේ කෙසේ දැයි බලා ය. උදාහරනයක් දැක්වුවහොත් බුදුරජාණන් වහන්සේ කල්පය පිළිබඳ ව එදා තත්වය යටතේ පැහැදිලි කළ ආකාරය දෙස බලන්න. එහි දී සඳහන් වන පරිදි කිසි දාක එවැනි යමක් සැබෑවටම තිබිය නොහැකි බව එක වසරේ දරුවකු ට වුව ද, වැටහෙනු ඇත. නමුත් බුදුරජාණන් වහන්සේ එයින් අදහස් කළේ කුමක්දැ යි උදාහරනය නිසාම මනාව පැහැදිලි වේ. එසේ නැතිව බින්දු ගොඩක් තියෙන ගණනක් පිළිබඳ දේශනා කළේ නම් මොනවා වෙයිද? මම හිතන විදිහට සූර්යයන් 7ක් පායන බව දේශනා කළේ ද, උදාහරනයක් ලෙස විය යුතු ය. එදා බුදුරජාණන් වහන්සේ එසේ දේශනා නොකර ප්‍රසාරණයක් ගැන දේශනා කළේ නම් මොනවා වෙයිද?
    බුදු දහම එක්ක බලද්දී විද්‍යාව තාම අතදරුවෙක් නම් තමයි. හැබැයි විද්‍යාවෙන් සොයාගත්ත දේවල් ගොඩාක් බුදුදහමෙනුත් සනාත වෙලා තියෙනවා. ඒ නිසා විද්‍යාව බොරු කියලා කාටවත් කියන්න අයිතියක් නැහැ. පෙර මම දැමූ link එකේ ලිපිය නීවීහැනහිල්ලේ කියවලා බැලුවා නම් ටිකක් තේරේවි.

    අවසාන වශයෙන් ගැටලුව එසේම පවතින බව නම් නිවැරදි ය. ඒ නිසා අප කළ යුත්තේ නිවන් මගෙහි ගමන් කර දුකින් මෙදීම පමණි.

    Thumb up 4 Thumb down 0

  • Suresh Lasantha

    @හසිත
    යාලු…
    මම හිතන විදිහට
    කවදාවත් විද්‍යාවෙන් බුදු වදන් නිර්වචනය කරන්න යන්න හොද නෑ.
    එක හරියට එක වසර ළමයෙක් උසස් පෙළ ගණිත ගැටළුවක් ගැන කතා කරනවා වගෙයි.
    බුදු දහම එක්ක බලද්දී විද්‍යාව තාම අතදරුවෙක්.

    Well-loved. Like or Dislike: Thumb up 17 Thumb down 0

    • ඔබගේ ප්‍රකාශයේ ලොකු සත්‍යයක් තිබෙනවා. වර්තමානයේ බටහිර විද්‍යාවෙන් පිළිගන්නේ සූර්යයා ප්‍රසාරණය වී සෞරග්‍රහ මණ්ඩලයන් විනාශ වී කළු කුහර බිහි වෙන බවයි. ඒත් තව ටික දවසකින් ඔය බටහිර විද්‍යාවෙන්ම තවත් යමක් කියාවි. එනිසා අපි දැනට තිබෙන බටහිර විද්‍යාත්මක මතයට බුද්ධ දේශනා ආදේශ කළොත්, දිව දෙකේ කසිකබල් බටහිර විද්‍යාව වෙනස් වෙද්දී බුද්ධ දේශනාවේ නිර් වචනයනුත් වෙනස් කරන සිදුවෙනවා. එය අනතුරුදායකයි.

      Well-loved. Like or Dislike: Thumb up 9 Thumb down 0

  • lalani pathirana

    ගරුතර ස්වාමීන් වහන්ස,
    මෙවැනි ලිපියක් පල කර සියල්ලන්ගේ නුවණ පෝෂණය කර ගැනීම පිණිස කල මහඟු පින්කමට ප්‍රථමයෙන් මාගේ ගෞරවාර්හ ස්තුතිය ඔබ වහන්සේට පුද කොට සිටිමි.. ඉතිපිසෝ ගාථාව තුලින් අප සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ අපමණ බුදු නුවන කොතෙක් දැයි බෞද්ධයන් වශයෙන් අපට දැනුනද මේ ලෝකයේ තවත් ග්‍රහ ලෝක සොයමින් යන වර්තමානයේ ගවේෂණ කරන්නන්ට කලින් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු නුවණැසින් ඒ සියල්ල දැක ඇති බව ඔවුන් නොදනී… මෙවැනි ලිපි ඉංග්‍රීසි සරල බසින් පරිවර්තනය කර තවත් ග්‍රහලෝක සොයන්නන් හට දැන ගැනීමට ලොවට පෙන්වා දීමට විකි පිටු තුලට අනුගත කිරීමට ඇත්නම් මෙම සුත්‍රය ඉතා වටී… (දලයි ලාමා) වැනි භික්ෂුන් වහන්සේලා බටහිර රටවල ප්‍රසිද්ධ වුවද, චීන, කොරියන්, ටිබෙට්, වැනි භික්ෂුන් වහන්සේලා තුලින් ලොවට පිරිසිදු ථෙරවාදී බුදුදහම හා සත්‍යය දැනගැනීමට ඇති ඉඩ කඩ ඉතා අඩුය… බුදු දහමට කැමතිව නැඹුරුවන බොහෝ බටහිර පිරිස් ගැඹුරු ධර්මය නොදනී…මන්ද… බුද්ධ දේශනාවට අනුව… පාලි අක්ෂරවලින් එදා සිට මේ දක්වා අපරටේ අරාක්ෂා කරගෙන මේ වෙන තෙක් ඇති එම සුත්‍ර ඔවු වෙත යාම ඉතා අඩුය…. චීන පන්සලකට ගියොත්.. එකම විදියට “නම් යෝ හෝ රෙන් ගේ ක්යෝ ” යමින් නොනවත්වා කියති…එය කීම ඉතා පහසු නිසා. චීන, කොරියන්, ටිබෙට් පන්සල් වලට යන පිරිසද ඉතා වැඩිය… ඔවුන් සිතන්නේ එහි සියලු ධර්මය ඇතුලත් වී ඇති බවයි.. මේ නිසා… අපෙන් තව ලොවට දිය යුතු ඉතා වටිනා සත්‍යය ධර්ම දැනුම අන් අයටද පැහැදිලිව මෙවැනි එක සුත්රයකින් හෝ දීමට ඇත්නම් ඉතා අගනේය…. මෙය මාගේ අදහසක් පමණි.. ඔබ වහන්සේට මෙවැනි තතු ලොවට පෙන්වා දීමට , දහම් දැනුම වැඩි කිරීමට..මෙවැනි පුණ්‍ය කටයුතුවලට අවශ්‍යය නිදුක් නීරෝගීභාවය, දීර්ඝායුෂ හා තුනුරුවන් ආශීර්වාදය පතමි.

    Well-loved. Like or Dislike: Thumb up 6 Thumb down 0

  • ධම්ම ගවේසී

    බුද්ධ දේශනාව නම් පටිච්ච සම්මුප්පාදයයි. ලෝකයේ පවැත්ම වේවා විනාශය වේවා ඔබේ සසර ගමන වේවා සියල්ල සිදුවන්නේ පටිච්ච සම්මුප්පාදයට අනුවයි.
    හේතුපල ධර්මතාවයට අනුව සිදුවීම් සිදු වේ. ලෝකයා විනාශයකට හේතුන් සකස් කරයි ද ලෝකයේ යම් විනාශයක් සිදු විය හැක. එය මුලු ලොවම විනාශ වන මහා භද්රව කල්ප විනාශය නම් නොවන්නේමය. තතාගත සාසනය තවම පවතින බවින් ද මතු තව බුදු කෙනෙකුගේ පහල වීමට හේතූන් සකස් වී ඇති බැවින්ද මහා භද්රන කල්ප විනාශය දැන්ම නම් සිදු නොවේ. මාගේ දනුමට අනුව ස්වාමීන් වහන්සේ විස්තර කර ඇත්තේ මහා භද්ර කල්ප විනාශයයි. කෙසේ වෙතත් ලෝකයේ යම් විනාශකාරි සිදු වීමකට හේතුන් සකස් වී ඇත් ද එම හේතූන් වෙනස් කලෝත් හෝ වෙනස් වුවහොත් ඵලයද වෙනස් වේ. එම නිසා විනාශයේ හේතුන් වෙනස් කරගැනීම හැකියාව අප සතුය.
    ලෝකය යනු ඔබේ විඤ්ඤාණ සිතමය, උපාදාන ස්කන්ධයමය හැර වෙන කිසිවක් නොවන බව ඔබතුමන්ලාට පටිච්ච සම්මුප්පාද ධර්මය ගැන සුලු යතා අවබෝධයක් ලැබුන දිනයක තෙරුම් ගැනීමට හැකි වේවී.
    ඔබ මිය යනවිට ඔබ නිර්මාණය කරගත් ලෝකය විනශ වී යන බව තෙරුම් ගන්න. එය ඊලග තප්පරය විය හැකිය. එම නිසා ඔබලා කල යුත්තේ ලෝක විනශය සිදුවන දිනය ගැන බල බලා සිටීම නොව සද්ධර්මය පවතින යුගයක මිනිසත් බව ලැබූ දුර්ලබ අවස්තාවෙන් ප්රසයෝජන ගෙන වහ වහා නිවන් මර්ගයට කටයුතු කිරීමයි.
    අවිද්යාුව දුරු වී ප්ර ඥා ආලෝකය පහල වේවා !!!

    Well-loved. Like or Dislike: Thumb up 5 Thumb down 0

  • tharindu

    another website that describe 2012 disaster according to Buddhism. ucro2012.com/mainbody/sinhala/news/extraordinaryEvents.html
    is this a myth?

    Thumb up 0 Thumb down 1

    • I read it and it seems like they are NOT describing according to the Buddhism. They are even not saying any single word about the Buddhism in the article.

      We have to wait only just a year, then we could able to see the reality. There may be some disasters at any time even in this year or after several years, but world NOT be the end in 2012.

      Thumb up 4 Thumb down 1

  • Hasitha

    බොහොම වැදගත් ලිපියක්. නමුත් මා සිතන ආකාරය ට මෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ඉරවල් හතක් පෑයීම ලෙස හිරු ප්‍රසාරණය වීම විය යුතු යි.
    http://buddharashmi.blogspot.com/2011/12/blog-post_08.html

    Thumb up 5 Thumb down 2

    • බිංකෝ

      විය හැකියි / නොවිය හැකියි. කෙසේ වුවත් වෙනස කුමක් ද? කල යුතු දෙය එලෙසම පවතියි.

      Thumb up 2 Thumb down 0

  • Thilochani

    ස්වමින් වහන්ස, ලොකවිනාශය ගැන ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් කලාට ඔබ වහන්සේට බොහොම පින් සිදු වේවා…!!! සමාවෙන්න මට තවත් දැනගන්න දෙයක් තියෙනවා.. සිදුහත් බොසතානන්ට අජපල් නුගරුක මුලේහිදී කුසතන පූජ කලේ සොත්තිය බමුනා නේද? තපස්සු භල්ලුක දෙසොහොයුරෝ හමූනේ බුද්ධත්වයට පසුව නේද?

    Thumb up 4 Thumb down 0

    • udugama sarananda thero

      pinwath Thilochani,
      ඔබ කියන කාරණාව හරි මම ඒ කරුන සම්බන්ධව මගේ ලිපියේ සිදුවු ප්රමාද දොශය පිළිගන්නවා ඒ කාරණාව සම්බන්ධව මාව දැනුවත් කලාට ගොඩක් පිං මේක මම විසින් ලියන ලද පළමු ලිපිය මෙහි වැරදි අඩුපාඩු පෙන්වා දීම සම්බන්ධව ස්තුතියි
      ඉදිරි ලිපිවලදිත් මෙවැනි අඩුපාඩු තිබුනොත් මට පෙන්වා දෙන්න කියල මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා
      තෙරුවන් සරණයි

      Well-loved. Like or Dislike: Thumb up 5 Thumb down 0

    • හිතවත් Thilochani, අදාල නිවැරදි කිරීම සිදු කළෙමි. පෙන්වා දීම ගැන ස්තුතියි.

      Well-loved. Like or Dislike: Thumb up 5 Thumb down 0

  • udugama sarananda thero

    මෙම ලිපිය යුනිකෝඩ් කරද්දි පොඩි පොඩි අකුරු වැරදීම් ඇති බව පේනව එනිසා එවැනි තැන් ගැන සමාවුව මැන

    Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 0

    • යුනිකෝඩ් කළේ මා විසින් බැවින් එය මා අතින් සිදු වූ වරදකි. ඒ ගැන සමාවෙන්න, මම ඒවා නිවැරදි කරන්නම්. එසේම මෙවන් වටිනා ලිපියක් රචනා කර අපව දැණුවත් කිරීම ගැන ඔබවහන්සේට බොහොම පින්. ඉදිරියටත් මෙවන් වටිනා ලිපි මගින් අපව දැණුවත් කරත්වා.

      Well-loved. Like or Dislike: Thumb up 14 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.