වර්තමානයේදී සමහර ධර්ම දේශකයාණන් වහන්සේලා සුළු පිරිසකගේ දේශනා, වෙනත් ධර්මදේශකයාණන් වහන්සේලාගේ ධර්මදේශනා සමග සසඳන කල එකිනෙක පරස්පරවිරෝධී වෙන අවස්ථා දැකිය හැකිය. සමහර මිතුරන් මෙම සිංහල බෞද්ධයා අඩවියේම ප්‍රතිචාර දක්වමින්, අර අසවල් හිමියන්ගේ දේශනාවන් නිවැරදිද කියා විමසා තිබුනි. කොතරම්ද කිවහොත් එක් දේශනාවක් නිවැරදිනම් ඊට වෙනස් දේශනාව පැහැදිලිවම වැරදි යැයි කිව හැකි මට්ටමටම තත්ත්වය දුරදිග ගොස් ඇත. එයට පහත කරුණු ද හේතු වී ඇති බව මම පුද්ගලිකව විශ්වාස කරමි.
[1]පාළි ත්‍රිපිටකය කියවා තේරුම්ගැනීමේදී වැරදීම් සිදු වීම.
[2]එලෙස වැරදියට අවබෝධකරගෙන සිංහලට පරිවර්තනය කර ඇති ත්‍රිපිටක දේශනා මත පදනම්ව ධර්මය දේශනා කිරීම.
[3]පසුකාලීනව වෙනත් මිත්‍යා අදහස් බුදු දහම යැයි පෙන්වා දෙමින් ලියා ඇති පොත් පත් පරිහරණය කිරීම.
[4]තමන් දෘෂ්ඨිගතව සිටින මතය අන් අයටත් ඔබ්බවාලීම සඳහා මාධ්‍යයක් වශයෙන් බුදු දහම විකෘති කර දේශනා කිරීම.
[5]කිසියම් ගුරුකුලයක මතයට දෘෂ්ඨිගත වීම හෝ, ඒ ගුරුකුලයට විරුද්ධ නිසා ඊට විරුද්ධ අයගේ මතයට දෘෂ්ඨිගත වීම.
[6]ධර්ම ප්‍රතිරූපක අතරින් නිවැරදි ධර්මය කුමක්දැයි වටහාගැනීමට බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කර වදාළ මාර්ගය අනුගමනය නොකිරීම.
ධර්මය ගැඹුරටම අවබෝධ කරගෙන යථා ස්වභාවයෙන් ධර්ම ප්‍රතිරූපක හඳුනාගැනීමටනම්, විචිකිච්චා සංයෝජනය බිදී “ලෝකෝත්තර සම්මා දිට්ඨිය” ලත් පංචාභිඥාලාභී ආර්යයන් වහන්සේ නමක්ම විය යුතු බව මෙහිදී වෙසෙසින්ම සඳහන් කළ යුතුයි. එනම් ධර්ම ප්‍රතිරූපකයන් හඳුනාගන්නේ කෙනෙකුගේ සිතින් බැවින් ඒ සිත සම්පූර්ණයෙන්ම ප්‍රභාමත් නැත්නම් එයට හසුවන දැණුම හරි හැටි අවබෝධ වෙන්නේ නැත.
එහෙත් එතනට ගොස් නැති අප වැනි උදවියට පරස්පරවිරෝධී ධර්ම කරුණු දකිද්දී නිවැරදි ධර්මය කුමක් දැයි වටහාගැනීමේ ගැටළුවක් පැන නගී. ඒ සඳහා ඉහත [6] කරුනේ දක්වා ඇති පරිදි ලෞකික සම්මා දිට්ඨිය තුළින් ධර්ම ප්‍රතිරූපක මොනවාද – ධර්මය කුමක්ද යැයි හඳුනාගැනීම සඳහා නිවැරදි මාර්ගයක් බුදු දහමේම ඇතුළත්ය., ඒ ගැනයි සිංහල බෞද්ධයා අඩවිය හරහා මෙලෙස විස්තර කෙරෙන්නේ.
෴ …පළමු පියවර…෴
කිසියම් දැණුමක් අපගේ පන්චේන්ද්‍රියන් තුළින් ලබාගනිද්දී, එහි යහපත යහපත ලෙසිනුත්, අයහපත අයහපත ලෙසිනුත් අපගේ මනස තුළින්ම තේරුම් බේරුම් කරගැනීමේ ස්වභාවය හෙවත් “යෝනිසෝමනසිකාරය” අපතුළ වර්ධනය කරගත යුතුය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැනවදාල, බුදු දහමේ අන්තර්ගත පුද්ගල චින්තන නිදහසේ අද්විතීයත්වය හෙළි කරන වටිනාම සූත්‍ර දේශනාව වන්නේ අංගුත්තර නිකායේ “කාලාම සූත්‍රය” යි.
කාලාම සූත්‍රය තුළින් ගම්‍යමාන වන වැදගත් කරුණු දහය මෙලෙස පෙළගැස්විය හැකිය.
[01] මා අනුස්සවේන – අනුන් කියන නිසා,
[02] මා පරම්පරාය – පරම්පරානුගතව පැමිණි නිසා,
[03] මා ඉතිකිරාය – මෙසේවිය හැකියයි අනුමාන කිරීම නිසා,
[04] මා පිටක සම්පදානේන – සාම්ප්‍රදායිකව ග්‍රන්ථානුගතව පැවත ආ බැවින්,
[05] මා තක්ක හේතු – තර්කයට එකඟ යෑයි වැටහුනු පමණින්,
[06] මා නය හේතු – න්‍යායට එකඟයයි වැටහුනු පමණින්,
[07] මා ආකාර පරිවිතක්කේන – මේ කරුණ යහපත් යෑයි සංකල්පනය කිරීම නිසා,
[08] මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා -කලින් තීරණය කොට බැසගත් නිගමනයන්ට හා දෘෂ්ඨින්ට සමාන නිසා,
[09] මා භබ්බරූපතාය – අවවාද දෙන්නා ගුණවතෙකු වූ පමණින්ම,
[10] මා සමණෝ නෝගරූති – තම ශ්‍රමණයාණන් වහන්සේගේ කීමක් පමණින්ම,
….. යන කරුණු දහය කේන්ද්‍රගත කොටගෙන “විවෘත මානසිකත්වයකින් තොරව අවිචාර පූර්වක ලෙස” කිසිවක් පිළිනොගන්න.
එනම් ඉහත කරුණු අනුව සිතෙන ඒවායේ මිත්‍යා විශ්වාස තිබිය හැකි බවයි. එහි දස වැනි කරුණට අනුව බුදුරජාණන් වහන්සේ වදාල “පමණින්ම” (එමගින් බුද්ධ වචනය අවිශ්වාස කරන ලෙස නොදැක්වේ, ඉන් අදහස් වෙන්නේ ණුවනින් විමසා බැලීමකින් තොරව නොපිළිගන්නා ලෙසයි) හෝ උන්වහන්සේ වදාලා යැයි කවුරුන් හෝ කිව් පමණින්ම වුවද කිසිවක් එකහෙළාම පිළිනොගන්න ලෙස අරුත් ගැන්වේ.
කාලාම සූත්‍රය ට අමතරව, තර්කයට වැටහුණු පළියටම යමක් නොපිළිගැනීම සඳහා මනා උදාහරණ සහිතව විස්තර කර ඇති තවත් දේශනා වන, දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රය, මජ්ජිම නිකායේ සන්දක සූත්‍රය සහ චංකී සූත්‍රය සහ අරිය පරියෙසන සූත්‍රය, අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය සහ සුත්ත නිපාතය, අට්ඨක පාරායන වග්ගය ආදියත් ගැඹුරින් අධ්‍යයයනය කිරීමට මෙහිදී යෝජනා කරමි.
෴ …දෙවන පියවර…෴
ඉහත සඳහන් කළ ආකාරයට බාහිරින් එන කරුණු සිහි බුද්ධියෙන් යුතුව විමසා බලා යෝනිසෝමනසිකාරය වර්ධනය කරගන්නා අතරතුර, තම මනස වැඩකරන ආකාරය දෙසත් විමසා බැලිය යුතුය. එක් එක් අයගේ දෘෂ්ඨි විතානයේ පිහිටීම අනුව සකල මනුශ්‍ය වර්ගයාම තමතමන්ගේ ඇස් වලින් දකින වර්ණයන් එකිනෙකට ඉතාමත් සියුම් වශයෙන් වෙනස් වන්නේ කෙසේද…, එසේම සියල්ලම ග්‍රහණය කරගන්නේ තම මනසින් බැවින් මනසේ විවිධත්වය මත අප එකිනෙකා දකින (සම්මුති) ලෝකය එකිනෙකට වෙනස් වේ. කැඩපත පිරිසිදු වෙන තරමට එහි ප්‍රතිබිම්බය පැහැදිලි වෙනවාක් සේම තම මනසේ ඇති ප්‍රභාවේ තරමටම එමගින් බාහිර කරුණු නිවැරදිව ග්‍රහණය වීමේ තරමත් තීරණය වේ. මනස ප්‍රභාමත් කරගැනීම සඳහා සඳහා සමථ භාවනාව කළ හැකි නමුත්, බුදු දහමෙන් අනුමත කරන විශේෂිතම ක්‍රමවේදය වන්නේ විපස්සනා භාවනාවයි. ඒ සඳහා මුලික පදනම වන්නේ සතර සතිපට්ඨානය නමින් හඳුන්වන කය (සිරුර හෝ හුස්ම), වේදනා (ස්පර්ශය හෝ දැනීම), චිත්ත (සිත), හා ධම්ම ( සිතේ පවතින අදහස) යන කරුණු සතරයි.
෴ …තෙවන පියවර…෴

“නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය දැනටමත් සමහරුන් විකෘති කරමින් තම තමන්ගේ මතයන් අනුව පවසයි. ඉතින් අනාගතයේදී ශ්‍රාවකයන් වහන්සේලා ඔබවහන්සේගේ දේශිත ශ්‍රී සද්ධර්මය නිවැරදිව තෝරාබේරා ගන්නේ කෙලෙසද?” කියා දිනක් මහා ප්‍රජාපතී තෙරණියන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලදී. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ, “කිසියම් දේකින් රාගාක්ෂය වේද, ද්වේශාක්ෂය වේද, මෝහාක්ෂය වේද… එසේනම් එය මා දෙසූ දහමක් ලෙස ගන්නා සහ එසේ නොවේනම් එය බැහැර කරන්න” යනුවෙනි.
රාගය යනු පුද්ගලයනට හා ද්‍රව්‍යයනට තමන්ගේ සිතෙන් ඇති කරගන්නා බැඳීම හෙවත් ලෝභකමයි. එහෙම නැත්නම් මමය, මාගේය යන සංකල්ප ඇති තාක් රාගය වර්ධනය වේ.
ද්වේශය යනු තරහ ගතිය, නොඉවසන සුලු බව. ද්වේශයට පත්වන පුද්ගලයාට කළ නොහැකි අපරාධයක් නැත කියා බුදුන්වහන්සේ වදාළහ. අකුසලකර්ම රාශියක් කළ හැකි ශක්තිය එහි තිබේ.
මෝහය යනු මුළාවයි. ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විච්කිච්ඡා යන මේ නීවරණ ද මෝහ චරිතයාට අධිකව ඇත. මෝහයට පත්වූ පුද්ගලයා සෑම විටම සිතන කියන කරන සැම දේ මුලාවෙන් සිදුකරන්නේ.
යම් දේශනාවකින් ඉහත දැක්වෙන ත්‍රිවිධ ක්ලේෂයන් වන රාග ද්වේශ මෝහ යන තුන ඉවත් කෙරේනම් එය නිවැරදි බුද්ධ වචනය ලෙස ගත හැකියි. ඒ සඳහා පළමු පියවරේ සඳහන් කළ යෝනිසෝමනසිකාරය මෙන්ම රාග ද්වේශ මෝහ යනුවෙන් හැඳින්වෙන්නේ මොනවාද යන්න ගැන නිවැරදි “අවබෝධය” ත් ඉවහල්කරගත යුතුයි.
දහම් ගැටළුවක් බුදු දහමට අනුව විමසා බැලීම යන්න ඉහත ක්‍රමයට වඩා තවත් පුළුල්ව සහ සියුම්ව ද බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළහ. එනම්, සූත්‍රයට බහා බලන්න, ධර්මයට බහා බලන්න, විනයට බහා බලන්න යනුවෙනි.
සුත්‍රය ලෙස හැඳින්වෙන්නේ චතුරාර්ය සත්‍යයයි.
ධර්මය ලෙස හැඳින්වෙන්නේ පටිච්චසමුප්පාදයයි.
විනය ලෙස හැඳින්වෙන්නේ රාග ද්වේශ මෝහ ප්‍රහීන කරන විනයයි.
යමක් ඒවාට ගැලපේනම් එය ශ්‍රී සද්ධර්මයට අයිතියි.
෴ …සිව්වන පියවර…෴
යම් ධර්ම කරුණක් පිළිබඳව ඇති වන ගැටළුවක් නිරාකරණය කිරීමේදී අනුගමනය කල යුතු සුවිශේෂී පර්යේෂණ විධි ක්‍රමයක් බුද්ධ දේශනාවේ පෙන්වා දී ඇත. එනම් පෙර දක්වා ඇති පරිදි කාලාම සූත්‍රයෙහි දැක්වෙන දස වැදෑරුම් වූ ඥාන මාර්ගයන් හා බැඳුනු නිදහස් විමර්ශනයෙන් පිරි යෝනිසෝමනසිකාරයෙන් යුතුව, මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සහ සමන්තපාසාදිකාවෙහි එන මහාපදේශ ක්‍රමය අනුගමනය කිරීමයි.
මහාපදේශ යනු සුත්ත, සුතනුලෝම, ආචරියවාද සහ අත්තනොමත යන හතරයි. ධර්ම ගැටළුවක් විමසීමේදී මෙය අනුපිළිවෙළින් භාවිතා කළ යුතුය.
[1]. සුත්ත – පළමුව අදාල ගැටළුව ත්‍රිපිටකයේ දැක්වෙන දේශනා ඇසුරෙන් ධර්මය විමසිය යුතුය., පාළි ත්‍රිපිටකය භාවිතා කළ හැකිනම් ඉතාමත් අගනේය. පෙළ දහමට බහා බැලීම යෙනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. එහිදී සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වලට, අදාල ගැටළුකාරී ධර්ම කරුණ ගැලපේනම් පමණක් පිළිගත යුතුයි.
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ලෙස හැඳින්වෙන්නේ,
සතර සතිපට්ඨාන
සතර ඍද්ධිපාද
සතර සම්‍යක්ප්‍රධාන
පංචේන්ද්‍රිය
පංච බල
සප්ත බොජ්ජංග
ආර්ය අෂ්ටාංගික මාර්ගය
යන ශ්‍රී සද්ධර්මයෝ 37 යි.
[2]. සුතනුලෝම – දෙවැනුව අදාල ගැටළුව සූත්‍රාගත ධර්මය විවරණය කෙරෙන අටුවා, ටීකා, ටිප්පනි අදියට බහා පරීක්ෂා කළ යුතුය.
[3]. ආචරියවාද – තුන් වැනිව අදාළ ගැටළුව තම ගුරුවරයාණන්ගේ හෝ ගුරුකුලයේ මතයන් හා සසඳා පරීක්ෂා කළ යුතුය.
[4]. අත්තනොමත – අවසානයේදී අදාළ ගැටළුව සම්බන්ධයෙන් අත්තනෝමතයට ඉඩ දෙමින් ඒ ගැන තමන්ගේ මතය ඉදිරිපත් කළ යුතුය. සමන්තපාසාදිකාවෙන් අවධාරණය කරන්නක් නම්, මෙලෙස අත්තනෝමතයට ඉඩ දුන්නත් එය සූත්‍ර දේශනාවට ගැලපේනම් පමණක් පිළිගත යුතු බවයි.
ඉහත පළමු පියවර, දෙවැනි පියවර… යනාදී වශයෙන් දැක්වුවේ තේරුම් ගැනීමේ පහසුව උදෙසාය. මේවා අනුපිළිවෙළින්ද අවපිළිවෙළින්ද මිශ්‍රවද යොදාගැනීම සිදුවේ. ඉතින් ඉදිරියේදී කිසියම් හිමිනමකගේ ධර්ම දේශනාවක් හෝ ධර්මය ලියා ඇති ලේඛනයක්, බුදු දහමට අනුකූලදැයි ගැටළුවක් ඇති වුවහොත්, එය ඔබටම විමසා බැලීමට ඉහත ක්‍රමවේදයන් තුළින් හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
තෙරුවන් සරණයි.

ඉතාමත් හොද විග්‍රහයක් !!!
නැවත නැවතත් ඉස්මතුවන කරුනක් නම් “බුද්ධ ධර්ම” යමෙකුහට වටහාගත හැක්කේ “නුවනින්ම” පමනක් බවය.
Well-loved. Like or Dislike:
6
0
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
13
Roshen Alwis෴
නිවන කියන්නේ නම් කෙටියෙන් ම කිවහොත් චතුරාර්ය සත්‍යය ම බව සැබෑ ය. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම හා කටපාඩම් කිරීම කියන්නේ දෙකක් බව ඔබ ට අවබෝධයක් නැති බව යි පෙනී යයි. ආනන්ද හාමුදුරුවෝ රහත් වන්නට පෙර අසූහාරදහසක් ධර්මස්කන්ධය කටපාඩම් කර තබාගත්තා මිස අවබෝධ කරගෙන සිටියේ නැත.
ඒ වගේ ම තවත් කාරණාවක් කියන්නම්. චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම කියන්නේ බුදුදහමේ මූලික ම ඉගැන්වීම් වන ත්‍රිලක්ෂණය, පටිච්ච සමුප්පාදය, ආදී වූ ධර්මයන් කටපාඩම් කිරීම නො ව අවබෝධ කර ගැනීම ය.
චතුරාර්යසත්‍යයේ ගැඹුරු බව අවබෝධය කෙසේවෙතත් අධ්‍යනය සඳහා රේරුකානේ චන්දවිමල හිමියන් ගේ “චතුරාර්ය සත්‍යය” පොත කියවන්න. http://www.ogatharana.org/
අවබෝධය ට නම් තමා ම උත්සාහවත් විය යුතු ය.
යමක් කියාදීම, තේරුම්කර දීම කිසිවෙකු ට හෝ කළ හැකි වුව ද, අවබෝධ කරවීම එ සේ කළ හැකි දැ යි සිතා බලන්න.
තමා හිස ට තම අත ම ය සෙවණැල්ල ෴
තීර්යක්.
Well-loved. Like or Dislike:
12
5
@Roshen Alwis, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම කියන එකේ තේරුම ඉහත තීර්යක් හොඳින් පැහැදිළි කළ විධියටම, කටපාඩම් කරගැනීම නොව එය ජීවිතයට එක් කරගනිමින් ත්‍රිවිධ ක්ලේෂයන් මුලිනුපුටා දමා ඒ අනුව හැසිරීමයි. එහිදී රාග ද්වේශ මෝහ යන තුන මුළිනුපුටා දැමිය යුතුයි. එනම් චතුරාර්ය සත්‍යය තියා සම්පූර්ණ ත්‍රිපිටකය වුවද කටපාඩම් කිරීමෙන් එය කළ නොහැකි බව පැහැදිලි වේවි, ත්‍රිපිටකය යනු ඒ සඳහා ඇති මගපෙන්වීමක් පමණයි.
අප නැවත නැවත භවයන් ලබන්නේ (නැවත ඉපදෙන්නේ) “තෘෂ්ණාව” නිසා බැවින් තෘෂ්ණාව මුලිනුපුටා නොදමන තාක් කල් නැවත නැවතත් භවයන් ලැබීම සිදුවේ. එනම් නිර්වාණය ලබා ගැන හැක්කේ තණ්හාව ආදී කෙළෙස් සම්පූර්ණයෙන්ම සිඳ ලීමෙනි.
නිර්වාණය ලබා ගැනීම සඳහා “ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ” ගමන් කිරීම සිදු වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ග අටයි. ඒවා ගැන වැඩිදුර පැහැදිළි කිරීම් අවශ්‍යනම් මේවා “Google” හි සෙවුමක් කර තව විස්තර ලබාගන්න.
බොහෝ ක්ලේෂයන්ට මග පාදන මිනිස් සමාජය තුළ සිටිමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම අපහසු යැයි සිතෙන බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ සඳහා පෘථක්ජන ආශ්‍රයෙන් තොර ආරණ්‍ය(වනාන්තර) තෝරා ගනී. කෙළෙස් ඉවත් කිරීම සඳහා භාවනාව වඩයි. එහෙත් නිවන් දැකීමට ආරණ්‍යගතවීම අත්‍යවශ්‍ය බව ඉන් පැවසෙන්නේ නැත.
ඔබට මෙය පැහැදිළි වුවායැයි සිතමි, තවත් ඒ ගැන ගැටළු ඇතොත් විමසන්න.
Well-loved. Like or Dislike:
13
0
සම්බුද්ධ පරිණිර්වානයෙන් තෙමසක් ගතවත්ම ධර්ම සංගායනාවක් පවත්වන්නට හේතු වූයේද බුද්ධ දේශණාව සංඝ සමාජය තුළින්ම විවිධ අර්ථකථනයන්ට භාජනය වීම නිසාය. නමුත් බුදුන් වහන්සේ කිසිවිටෙකත් පුද්ගල නායකත්වය ගරු නොකළ සේක උන්වහන්සේ හැමවිටම ගරු කළේ ධර්මයයි. බුදුන්වහන්සේ ධර්මය තමන්වහන්සේගේ ගුරුවරයා ලෙස තෝරාගත් බව විනය මහා වග්ගයෙහි බුද්ධ චරිතයෙන් මනාව පැහැදිලි වේ.
උන්වහන්සේ අනඳ හිමියන් අමතා මේ බව ප්‍රකාශ කළ අයුරු පරිණිබ්බාන සූත්‍රයෙහි මෙසේ දැක්වේ.
“යෙ වො ආනන්ද මයා ධම්මොව විනයොච – දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථා”
ධර්ම විනය දෙක ශාස්තෘවරයා ලෙස සැළකීමට බුදුන්වහන්සේ එමඟින් දේශනා කළ සේක. ධර්මය පිළිබඳ යම්කිසි සැකයක් ඇති වුවහොත් එය කරුණු සතරක් මත පිහිටා නිරාකරණය කරගත යුතු බව උන්වහන්සේ දීඝ නිකායේ මහා පරිණිබ්බාන සූත්‍රයෙහි සවිස්තරාත්මකව දේශනා කළ සේක. යම්කිසි කරුණක් බුදුන්වහන්සේ විසින් අසන ලදැයි කිසිවෙකු කී පමණින් එය පිළිනොගෙන ධර්මය විනය දෙක හා සසඳා බලා පිළිගැනීමටද සංඝයාවහන්සේ දෙසූ පමණින් පිළිනොගෙන ධර්ම විනය දෙක හා සසඳා බලා පිළිගැනීමටද බහුශ්‍රැතයන් කී පමණින් හා උගත් මහා තෙරනමක් කී පමණින් එය පිළිනොගෙන ධර්ම විනය දෙක සසඳා බලා පිළිගැනීමටද උන්වහන්සේ දේශනා කළ සේක.
මේ නිසා අප බුද්ධ දේශනය සම්බන්ධ කරුණු වලදී පුද්ගලික මතවාද වල එල්බ නොසිට විචාරබුද්ධියෙන් විමසා බලා නිරවුල් තත්ත්වය අවබෝධ කර ගනිමු.
Well-loved. Like or Dislike:
8
0
මෙම ධර්ම දානය වෙනුවෙන් ඔබට පින් ලැබේවා.
එක් එක් හාමුදුරුවරුන්ගේ දේශනා හරිද වැරදිද කියල තැන තැන කතා කර කර යනවාට වඩා එය තමන්ටම අවබෝධ කරගැනීමට මහඟු අවස්තාවක් බුදු දහමේ තිබෙනවා. මෙය අපි පිළිපදිමු.
Well-loved. Like or Dislike:
14
0