අසිරිමත් බෞද්ධ දින දර්ශනය බෞද්ධයන් වන අපට පමණක් ආවේනික වූවකි. මෙහි මූලාශ්‍රය පිළිබඳ පළමු ඉඟිය හමුවන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් කෙරුණු පළමු සංගායනාවේදීය. ඒ බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගිය තැන සිදුවූ බව ශාසන ඉතිහාසය සාක්ෂි දරයි. එතැන් පටන් සාම්ප්‍රදායිකව බෞද්ධ දින දර්ශනය සඳහා මූලාශ්‍රය වී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයයි.

බෞද්ධ දින දර්ශනයට අනුව දින දැමීමේ පිළිවෙල අතිශයින්ම සංවිධිතය. කලාත්මකය. දින දැමීමේ පිළිවෙල පුරා පිළිබිඹු වන්නේ අමිශ්‍ර වූ සිංහල ලකුණුය. සූර්ය මාස ක්‍රමය වෙනුවට චන්ද්‍ර මාස ක්‍රමය හෙවත් සඳෙහි ‘කලා’ හෙවත් ‘තිථිය’ ආදේශ කොට බිහිවූවකි. ඉංග්‍රීසි දින දැමීමේ ක්‍රමය සමඟ සසඳන කල දිනය, දවස ආදිය සවිස්තරව මෙහි අන්තර්ගතය.
උක්ත ක්‍රමය යටතේ ආරම්භය මෙසේ සටහන් විය යුතුය,
‘ශ්‍රී බුද්ධ වර්ෂ . . . . . . . ‘
මෙහි ‘ශ්‍රී’ යනු බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේගේ පාරිභෝගික වස්තූන්ටත් පමණක් ආවේනික විශේෂණ පදයකි. ජය ශ්‍රී මහ බෝධිය, ශ්‍රී පාදය ආදිය මේ සඳහා උදාහරණ හැටියට දැක්විය හැකිය. එනිසා බෞද්ධ දින දර්ශනය සඳහාද මෙම න්‍යාය බැහැර නොවී ඇති බව පැහැදිළි වේ.
දෙවනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්මවූ වර්ෂ ගණන දැක්විය යුතුය. අදට වසර දෙදහස් පන්සිය පනස් පහක් ඉක්ම වී ඇත.
තෙවනුව සිංහල ක්‍රමයට මාසය දැක්වීම සිරිතයි. සිංහල මාස ක්‍රමය පහත දැක්වේ,
දුරුතු
නවම්
මැදින්
බක්
වෙසක්
පොසොන්
ඇසළ
නිකිණි
බිනර
වප්
ඉල්
උඳුවප්
මාස දැක්වීමේදී සැළකිය යුතු කරුණ නම්, දැනට භාවිතා කෙරෙන ඉංග්ලිශි ක්‍රමය මෙන් නොව සිංහල මාස ගැණෙනුයේ සඳෙහි තිථියට අනුව පොහොය ගෙවීම සහ පොහොය ලැබීම ආදී කොට ඇති චන්ද්‍ර මාස පිරීමෙන් බවයි. එය පහත දැක්වේ,
භාවිතා කිරීමේ පහසුව තකා අමාවක දින සිට ගැණෙන පළමු දිනයේ සිට නිදර්ශන පෙන්වීම සාමාන්‍ය සිරිතයි. අමාවක දින යනු සඳ නොපෙනෙන දිනයයි. ඉන් එළඹෙන පළමු දිනයේ සිට සඳ පිරෙන කාලය නොහොත් පුර පක්ෂයයි. පෑළවිය යනු සඳෙහි කුඩා තීරුවක් පමණක් පෙනෙන දිනයයි පිළිවෙලින්,
පෑළවිය – පළමු දිනය
දියවක – දෙවන දිනය
තියවක – තෙවන දිනය
ජලවක – සිව්වෙනි දිනය
විසේනිය – පස්වෙනි දිනය
සැටවක – සයවෙනි දිනය
සතවක – සත්වෙනි දිනය
අටවක – අටවෙන දිනය – මෙය පොහොය දිනයකි
නවවක – නවවෙනි දිනය
දසවක – දසවෙනි දිනය
එකොළොස්වක – එකොලොස්වෙනි දිනය
දොළොස්වක – දොළොස්වෙනි දිනය
තෙළෙස්වක – දහතුන්වෙනි දිනය
තුදුස්වක – දහහතරවෙනි දිනය
පසළොස්වක – පහලොස්වෙනි දිනය – මෙයද පොහොය දිනයකි
පුර පක්ෂයට අනතුරුව එළඹෙන්නේ අව පක්ෂයයි. එයද පිළිවෙලින් පෑළවිය, දියවක ආදී වශයෙන් ගැනේ. මෙහි ඇති විශේෂය නම් සඳ පිරීමේ හෝ පිරිහීමේ තිථියන් අනුව පුර සහ අව යනුවෙන් පක්ෂ දෙකක් තිබීමයි.
අවසනුව දිනය දැමීම කළ යුතුය. හෙළ ක්‍රමයට දිනය දමන පිළිවෙල පහත දක්වා ඇත,
සඳුදා – සඳුදා
කුජදා – අඟහරුවාදා
බුධදා – බදාදා
ගුරුදා – බ්‍රහස්පතින්දා
කිවිදා – සිකුරාදා
ශනිදා – සෙනසුරාදා
රිවිදා – ඉරිදා
මේ පිළිවෙලට දින දැමීමේදී ඉහත සංග්‍රහ කළ සියලු දේ මෙසේ අවසාන වශයෙන් ලියැවිය යුතුය,
ශ්‍රී බුද්ධ වර්ෂ (සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්මගිය වසර දැක්විය යුතුය) … වැන්නේ (මාසය දැක්විය යුතුය) …මස (පුර / අව වශයෙන් තිථිය දැක්විය යුතුය ) …නම් තිථිය ලත් (දිනය දැක්විය යුතුය)
උදාහරණයක් වශයෙන් අද දිනයට ගැලපෙන පරිදි ඉහත සියලු දේ දක්වා තැබේ.
ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය පනස් පස් වැන්නේ ඉල්මස අව සැටවක නම් තිථිය ලත් බුධදා.
අදට භාවිතයේ නොමැති නමුත් අතීතයේ හෙළ උවසු උවසියන් සතර පොහොය සාදා ඇති පිළිවෙල අනාගත පරපුරටද උරුම කරදීම අපගේ යුතුකම විය යුතුයි.
~ නිමේෂ් ජානක මහතා විසින් රචිත ලිපියකි

attatma hoda kramayak
මෙම ක්‍රමයට දිනය ලිවීමේදී දවස (සඳුදා /අඟහරුවාදා ආදී වශයෙන්) ලබාගන්නා ආකාරය ගැන මට ගැටළුවක් ආවා. සිංහල දින දර්ශනයේ දවස බටහිර දින දර්ශනයේ දවසට සමාන විය යුතුයි කියලා ගන්න බෑ නේද? (උදා: බටහිර සඳුදා == සිංහල සඳුදා වෙනවද අනිවාර්යයෙන්ම?) පැහැදිළි කිරීමක් කරන්න පුළුවන්නම් ලොකු උදව්වක්.