ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

විදේශීය නිර්මාණ සිංහල බෞද්ධයින්ට ගැලපෙන ලෙස සමාජගත කළ ඒ ශ්‍රේෂ්ඨයා…

බටහිර ජාතිකයකු බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කරන දැනුමක් වුවත් සිංහල සංස්කෘතියට ගැලපෙන ලෙස අවශෝෂණය කිරීමට හැකි නම් අපි එයට විරුද්ධ නොවෙමු. අපි විරුද්ධ වන්නේ බටහිර සංස්කෘතික යටත්විජිතවාදයෙහි ඇති බටහිර දැනුම් ආධිපත්‍යයටය. ~ මහාචාර්ය නලින් සිල්වා මහතා – “අපේ ප්‍රවාද”

එවැනි මාතෘකාවක් සම්බන්ධයෙන් සිංහල බෞද්ධයා අඩවියේ පෙර ලිපියකින් අපි සාකච්ඡා කළෙමු. ඉහත ප්‍රකාශය එහි උපුටා නොදැක්වුවේ මහාචාර්ය නලින් සිල්වා මහතාගේ ප්‍රකාශ දේව වාක්‍ය මෙන් දක්වමින් අපගේ මතය සනාථ කිරීම නුසුදුසු බැවිනි. කෙසේ නමුත් මීට දසක කිහිපයකට පෙර සිටම ඉහත සඳහන් ලෙස බටහිර දැනුම සිංහල සංස්කෘතියට ගැලපෙන ලෙස සමාජගත කළ, විද්වතෙකුගේ අභාවය නිසා එතුමාගේ හඬකැවීම් තුනක් සම්බන්ධයෙන් මා දකින දේ කෙටියෙන් සඳහන් කිරීම උචිත යැයි සිතමි.

අප සෑම දෙනා තුළම, අපගේ ළමා කාලය නම් කුඩා දරුවෙක් සැඟවී සිටී. සමහර සංවේදී සිදුවීම් වලදී වැඩිහිටියන් ඉකි ගසා ඇඬුවත් එලෙස අඬන්නේ ඒ වැඩිහිටියා නොව ඔවුන් තුළ සැඟවී සිටින දරුවාය. කුඩා කාලයේදී අපව ප්‍රමෝදයට පත් කළ නිර්මාණ බිහි කළ, වැඩිහිටියන් වූ කළ ඒ නිර්මාණ තුළින්ම ජීවිතය ගැනත් සමාජය ගැනත් අවබෝධයක් ඇති කළ විද්වතෙකුගේ අභාවය නිසා, මෙය කියවන ඔබ තුළ සැඟවී සිටින ඒ කුඩා දරුවාත් ශෝක වෙමින් සිටිනු ඇත.

එලෙස කුඩා කාලයේදී අපව ප්‍රමෝදයට පත් කළ, මා දකින විශිෂ්ටතම හඬකැවීම වනාහී “දොස්තර හොඳ හිත” සැකිළි රූ වැඩසටහනයි. බටහිර ඇඳුම් ඇඳි බටහිර දොස්තර කෙනෙක් වුනත් අපිට ඒ දොස්තරව අපගේ කුඩා ලෝකයට ආගන්තුකයෙක් වුනේ නැත. චව් චව් ලා හැමදාම “නා ගන්නා” හැටි දකින කුඩාවුන් එමගින් කොතරම් සතු‍ටු වුනාදැයි, කලක් ඒවා ආසාවෙන් නැරඹූ ඔබට අළුතෙන් කීමට අවශ්‍ය නොවේ.

එහෙත් මීට වසර කිහිපයකට පෙර “දොස්තර හොඳ හිත” රූපවාහිනියේ තිර ගත වූ විට මා දු‍ටුවේ වෙනත්ම දෙයකි. එනම් ටයිටස් තොටවත්ත යන් විසින් ඒ දොස්තර හොඳ හිත තුළින් ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ ගමේ සිංහල බෞද්ධ වෙද මහත්මයාව බවයි. ඇඳුම් සහ මතුපිටින් පෙනෙන දෑ වෙනස් වුවද එහි චරිත වලට හඬ කවා ඇති දෙබස් තුළ ග්‍රාම්‍යත්වය මැනවින් නිරූපණය කිරීමට තොටවත්තයන් දැක්වූ දක්ෂතාවය අති විශිෂ්ටය. “මුහුද මගේ ගොඩ බිමයි, නැව මගෙ මුහුදට සමයි, සියළු සතුන් මගෙ තමයි…” මේ ගීතයෙන් දැක්වෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මතින් බිහි වෙන බටහිර වෛද්‍යවරයෙක්නම් නොවන බව අළුතෙන් කිව යුතු නැත., ඒ ගීතය අසා එය තම සිත තුළ රෝපණය කරගන්නා දරුවා, වැඩිමහල් වූ පසුව බටහිර වෛද්‍යවරයෙක් වුවහොත් තම කුඩා කාලයේ වීරයාව තමා තුළින් නැවතත් ජීවමාන කිරීමට උත්සාහ ගනී. එනම් සිංහල බෞද්ධ හර පද්ධතීන් සහිත බටහිර වෛද්‍යවරයෙක්ගේ ඇරඹුමයි. අන්න ඒකයි ටයිටස් තොටවත්තයන්ගෙන් වුන මහඟු සේවය.

පොඩි කාලයේ හුදු විනෝදයක් පමණක් වූ “පිස්සු පූසා” ගෙන් දැන් මා හටනම් පෙනෙන්නේ එදා සිටි දේශපාලඥයින්ව සියුම් ලෙස උපහාසයට ලක් කිරීමට පිස්සු පූසා චරිතය යොදාගෙන ඇති බවයි. “දෙස්පාලුවෙක්ගේ විලසා – කුණු කූඩෙන් බෙල්ල දමා – බොරු බේගල් ඇද බාලා…” ගීතයෙන් එය තහවුරු වෙයි. [ටයිටස් තොටවත්තයාණන් මෑත කාලයේදී දේශපාලඥයින් වෙනුවෙන් එවැනි හඬකැවීමක් කළානම් ඒ සඳහා "පිස්සු බල්ලා" වැනි මාතෘකාවක් යෙදිය හැකි සැකිළි රූ වැඩසටහනක් කොහෙන් හෝ සොයාගනු ඇති බවත් මෙහිදී සඳහන් කළ යුතුය.] චා‍ටුව, කපටිකම, වංචාව, කෙටවීම, පාවාදීම ආදී සිය ගණනක් දුර්ගුණයන් හෙබි ඒ “පිස්සු පූසා” චරිතය වුනත් අපගේ සිත් ගැනීමෙන් පෙනෙන්නේ කුමක්ද? හරිනම් විය යුත්තේ ඒ දුර්ගුණ වලින් හෙබි පිස්සු පූසා ගැන අපගේ සිතේ අමනාපයක් හට ගැනීමයි, එහෙත් එලෙස නොවිණි. එනම්, ඉන් පෙනෙන්නේ බටහිරින් පැමිණි ඒ දුර් ගුණයන් සමාජයේ අර‍ටුවටම කිඳා බැස ඇති බවයි. ජනතාවගේ මනාපයෙන් එන දේශපාලඥයින්ට විතරක් බනින උදවිය මේ ගැනත් සිතා බැලීම වටී.

ඒ මිහිරි සංගීතය ඇසෙන විට අපගේ ආදරණීය මෑණියන්ව සිහි වෙන තරමටම “ඔෂීන්” අපගේ හදවතේ ගැඹුරුම තැනට කිඳා බැස ඇත. එලෙස ලෝකයේ අනික් පැත්තේ බිහි වූ නිර්මාණයක් අපේම වුනේ කෙසේද කියා ඔබ මදක් සිතුවාද? ජපානයේ පිටිසර බද පෙදෙසක බෞද්ධ පරිසරයක සිටින අම්මා සහ සිංහල බෞද්ධ සමාජයේ අම්මා අතර වෙනසක් නොමැති තරම්ය. ඒ බව වටහාගත් නිසාදෝ ටයිටස් තොටවත්ත යන් විසින් එම ජපන් නිර්මාණය තුලට අපේම “මිහිරි කටහඬකින් යුත්” සිංහල බස් වහරකින් ඔෂීන්ව පණ ගන්වා අප බලාපොරොත්තු වෙන අම්මාගේ භූමිකාව ඔෂීන් තුළින් කුඩා තිරයේ දිගහැරුණි.

එහෙත් කණගා‍ටුවට කරුණ වන්නේ වර්තමාන සිංහල ටෙලි නාට්‍ය මගින් ප්‍රධාන චරිතය ලෙස පණගැන්වෙන්නේ අම්මාව නොව නැන්දම්මාවය. නැන්දම්මාගේ කුරිරු කම හමුවේ අම්මාගේ සතර මහා බ්‍රහ්ම විහරණයන් යටපත් වී ද්වේශ සහගතව, ගොරහැඬි බසින් නැන්දම්මා සමග වාග් සංග්‍රාමයක යෙදෙන අසෝබන දසුනකුයි ඔබ ටෙලි නාට්‍ය තුළින් වර්තමානයේදී දකින්නේ. ඉතින් ඔෂීන් වැනි විශිෂ්ට ගණයේ සිංහල නිර්මාණයක් බිහි කිරීමට තියා එවැන්නක් ‍තෝරාගෙන සිංහල බෞද්ධ මාතෘත්වය ඉස්මතු වෙන පරිදි හඬ කැවීමට පවා, පවත්නා ගැලරියට අප්පුඩි ගැස්සවීමේ ටෙලි නාට්‍ය රාමුවෙන් පිටත සිට බෞද්ධත්වය දෙස බැලීමට නිර්මාණකරුවාට සිදු වෙනු ඇත. එහෙත් එවැනි නිර්මාණකරුවන් අද කෝ?

ගලිවර්, හා හා හරි හාවා, රොබින් හුඩ්, වලස් මාමා, යනාදී විශිෂ්ට හඬ කැවීම් දොළොසක් පමණද ඊට අමතරව හඳයා, රන්මුතුදූව, හන්තානේ කතාව, මරුවා සමග වාසේ ආදී අද්විතීය සිංහල චිත්‍රපට විසි දෙකක් පමණද අධ්‍යක්ෂණයෙන් සහ කර්තෘත්වයෙන් එතුමා දායක වී ඇති අතර ඒවා ගැන මෙලෙස කෙටි ලිපියකින් කතා කළ නොහැකි වීම ගැන කණගා‍ටු වෙමි.

ඇපල් අයිෆෝන්, අයිපෑඩ්, අයිපොඩ් ආදිය දෑහටවත් දැක නැති, ඒවා ගැනීමට සිතීමටවත් නොහැකි උදවිය ස්ටීව් ජොබ්ස්ගේ පින්තූර තම ෆේස්බුක් ප්‍රොෆයිල් වලට දාගෙන ඉකි ගසමින් හඬමින් සිටි අයුරු අපි පසුගිය කාලයේ දුටිමු. ඒත් කුඩා කාලයේ අපිව කුල්මත් කළ නිර්මාණ බිහි කළ ටයිටස් තොටවත්තයන් අන්ත්‍රා වුන එක ගැන ඒ උදවියගෙන්ම සමහරුන් දන්නේවත් නොමැති වීමෙන් පෙනෙන්නේ අප ජාතිය කොතරම් බටහිර ගැති වී තිබේද යන්නයි. බෞද්ධයෙක් වී තම දිවියට බුදු දහම එකතුකරගත් ස්ටීව් ජොබ්ස්ගෙන්, අපිට වුනේ මෙරට ජාතික ධනය තම රටට අද්දවාගැනීම පමණි. එනිසාම, දෙනෝදාහක් ජනතාවගේ රසාස්වාදය වෙනුවෙන් තම ජීවිතයම ගත කළ ටයි මාමා වෙනුවෙන් සුපුරුදු පරිදි මූනුපොත් පි‍ටුවේ සටහනක් තබා ශෝකය පළ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේයැයි සිතුණි.

තම හෙළ වදනින් පිට‍රැටියන්ගේ සැකිළි රූ අපේම කළ, පොඩි දරුවා ප්‍රමෝදයට පත් වෙද්දී වැඩිහිටියා එමගින් ලෝකය ගැන අවබෝධයක් ඇති කරගන්නා නිර්මාණ බිහි කරමින් සිංහල කලා ලොව පුබුදුවාලූ මහා නිර්මාණකරුවාණෙනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා…! ජාතියේ සුවහසක් දරුවන්ගේ සිත් සතන් සතු‍ටු කළ පිනෙන්ම ඔබ නිර්වාණය අවබෝධ කරගන්නා තුරු සුගතගාමී වේවා…!

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]


2584
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

7 comments to විදේශීය නිර්මාණ සිංහල බෞද්ධයින්ට ගැලපෙන ලෙස සමාජගත කළ ඒ ශ්‍රේෂ්ඨයා…

  • sarath

    ඉතාමත් හරවත් ලිපියක්. ඔය හඬකැවීම් 3 ගැන කියන්න ගොඩක් දෙවල් හිතට එනවා, ඒත් දුක නිසා වචන ගැලපෙන්නේ නෑ.
    ටයි මාමට නිවන් සුව ලැබේවා!

    Thumb up 4 Thumb down 0

  • සූරිය

    ආදරණීය “ටයි මාමේ” ඔබට නිවන් සුව!!!

    Well-loved. Like or Dislike: Thumb up 6 Thumb down 0

  • Kushan

    ටිකක් වෙනස් විධියට ලියල තියෙන ලිපියක්. ගොඩක් වටිනව.
    ටයි මාමාට නිවන් සැප ලැබේවා!!!!!!!!!!!!!!

    Well-loved. Like or Dislike: Thumb up 10 Thumb down 0

  • කසුනි

    ඉතාමත් හරවත් ලිපියක් රංග අයියේ. ඔය හඬකැවීම් 3 ගැන කියන්න ගොඩක් දෙවල් හිතට එනවා, ඒත් දුක නිසා වචන ගැලපෙන්නේ නෑ.
    ටයි මාමට නිවන් සුව ලැබේවා!

    Well-loved. Like or Dislike: Thumb up 13 Thumb down 0

  • මලින්ද

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 7 Thumb down 21

    • ඔහු සිංහල බෞද්ධත්වය පෝෂණය කිරීමට දිවා රෑ වෙහෙසුනෙක් ලෙස මෙහි දක්වා නැත. අපි සඳහන් කර ඇත්තේ විදෙස් දැණුම සිංහලයන්ට ගැලපෙන ලෙස අවශෝෂණය කිරීම නිසා ඔහුගෙන් වූ සේවයත්, ඒ ගැන අපගේ කෘතවේදීත්වයත්ය.

      ඔබගේ කොමෙන්‍ටුවෙන් පෙනෙන්නේ වෙනත් අයකුගේ අදහස් දැක්වීමක් ඉවසා ගැනීමට තරම් ශික්ෂණයක් ඔබගේ ආගමෙන් ඔබ වෙත ලැබී නැති බවය. ඒ ගැන අපගේ කණගා‍ටුව.

      Well-loved. Like or Dislike: Thumb up 20 Thumb down 2

    • Dac

      මොන්ත ක්‍රිස්තෝ කතව නම් මාත් බලල තියෙනව​.(අනික නම් නැ)
      මොන්ත ක්‍රිස්තෝ කතාව තුල කියැවෙන දේ (තමන්ට හතුරු කම් කළ අයගෙන් සියුම් ලෙස පළිගැනීම​, අහිමි වූ ආදරය වෙනුවෙන් හිතේ අතිවෙන වේදනාව​, පෙම්වතියගේ පුතාට වෙඩිතබා මරනයට පත්කරන්න තිබූ අවස්ථාවෙන් එසේ නොකිරීම​) මේවා මිනිස් ස්වාභාවයන්. මේවා ලියපු අයගේ ජාතිය හොයල බනින එක නොවේ අපේ කටයුත්ත​.
      තොටවත්තයන් නිර්මාණයක් කර එලිදක්වන තුරු අපි ඒ කලෙ බලාගෙන හිටියා. ළමා මනසට එබීබලන්න ඔය වගේම දක්ශ කෙනෙක් හිටිය​. ප්‍රේමකීර්ති ද අල්විස්. ඒ අය අපේ පුන්චි මනස විනාශ කරන්න බැලුවෙ නැ. හරවත් යමක් දුන්නෙ.

      Thumb up 1 Thumb down 1

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.