දේශපාලන හෝ සමාජ අසාධාරණයකට තමන්ව හෝ අප රටේ ජනතාව ලක් වී ඇතැයි සිතන සමහරුන් ඊනියා “කම්කරු විප්ලවයක්” කරමින් සමාජය සුඛිත මුදිත කිරීමට දරණ නිරර්ථක උත්සාහයක් කලක පටන් දක්නට ලැබෙයි. හාස්‍යජනක දේනම් මෙම ඊනියා කම්කරු විප්ලව සෑම කල්හිම ආරම්භ කිරීමට නායකත්වය දෙමින් දඟලන්නේ කම්කරුවන් නොව බටහිර විශ්වවිද්‍යාල වලින් අධාපනය ලැබූ පඬියන් විසින් වීමයි.
මාක්ස්වාදීන්ට අනුවම මාක්ස්වාදයේ ඉගැන්වෙන කම්කරු විප්ලවයක් කිරීමෙන් කිසිදා ඔය කියන ඊනියා සුඛිත මුදිත ජීවිතය ලැබෙන්නේ නැහැ. මහා ජන ඝාතනයන් තුළින් වැරදිලා හෝ සමාජවාදී රජයක් ඇති වුනොත් සෑම විටම සිදු වන්නේ ජනතාව පවත්නා නිදහසද අහිමි කර ගැනීමක්. හිට්ලර්, ඉඩි අමින් සහ පොල්පොට් වැනි ඊනියා විප්ලවවාදීන් ගැන ඔබ දන්නවා ඇති. අවසානයේදී ඔවුන්ගේ විප්ලවය අවසාන වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඇතිකරගන්නා ඔවුන්ගේ රජයක පැවැත්ම උදෙසා ඒකාධිපතීත්වය රජකරවමිනි.

රුසියන් විප්ලවයෙන් සිදු වුනේද එය බව සිංහල බෞද්ධයා අඩවියේ පෙර ලිපියකින් දැක්වුවා ඔබට මතක ඇති. වර්තමානයේ චීනය දියුණුව කරා ගමන් කරන්නේ මිශ්‍ර අර්ථක්‍රමයකින් බව පැහැදිලි වෙන අතර තවමත් තිබෙන සමාජවාදී ගති ලක්ෂණ නිසා ඔවුන්ගේ රටේ ඔය කියන ඊනියා දේශපාලන / ජනමාධ්‍ය / සමාජ නිදහසක් නැති බව අළුතෙන් කිව යුතුද?
ඕනෑම දියුණුවක් ලබා ගැනීමටනම් උත්සාහයයි අවශ්‍ය වෙන්නේ. පුද්ගලයන් තනි තනිව දියුණු වෙනවානම් රටක් ලෙස ඉබේම දියුණු වෙයි. “අතේ සල්ලි නෑ, කන්න නෑ, බොන්න නෑ නෑ නෑ කෝ ආශ්චර්යේ…” කියන නමුත් ශාරීරික සහ මානසික නීරෝගී බව තිබෙන තරුණයන්ගෙන් මම ප්‍රශ්නයක් අහන්න කැමතියි, ඒ තමයි සාමාන්‍ය පෙළ යන්තම් පාස් වෙලා කාර්මික අධ්‍යාපනයක් ලබාගන්න බැරි ඇයි? බැකෝ එලවන්නෙකුටත් මසකට රුපියල් 40,000 ක් කට වඩා උපයයි. එවැන්නෙකුට විදේශයකදී මසක ශුද්ධ වැටුප රුපියල් වලින්නම් 300,000 පනී. මෙතන තියෙන්නේ තමන්ගේ නොහැකියාව හෝ අලසකම හෝ තමන්ගේ කුහක දේශපාලන න්‍යායපත්‍රයයි, ඒක වහගන්න තමයි ඔය දේශපාලන / සමාජ පීඩනයක් ගැන කතා කරන්නේ.

එනිසා විප්ලව කරන්න හදන අය විප්ලව කරලා සසර දිගු කරගන්නේ නැතිව යම් වෘත්තීය අධ්‍යාපනයක් ලබලා හොඳ ජීවන තත්ත්වයක් ඇති කර ගන්න, එවිට ඉබේම රට දියුණු වේවි. ඔබ බෞද්ධයෙක්නම් විප්ලව හෝ රතු සහෝදරයෝ ගැන සිතන්නවත් එපා. මොකද නරකය, තිරිසන්, ප්‍රේත, අසුර අපාය වල මොන විප්ලවද? හිතලා බලන්න. මීලඟ භවයේදී වෙනත් ජීවීන් වෙසෙන ග්‍රහලෝකයක ඉපදුනොත් ඒකෙත් විප්ලව කරනවාද? කෙළවරක් නොමැති සංසාරයේ ඒ ඒ භවයන් වලදී කොතරම් විප්ලව කරමින් යන්නද? තිලෝගුරු බුදුරජාණන් වහන්සේලාත් ධර්මය දේශනා කර කුසල් ඇත්තන්ට වටහාගන්න කියනවා, එච්චරයි, නැතිව මායාවක් වන සම්මුති ලෝකය දියුණු කරන්න යන්නේ නෑ. මාක්ස්වාදය ගැන කියනවානම් ඉන් පෙනෙන්නේ එක්කෝ බුදු දහමේ ප්‍රාථමික ඉගැන්වීම් වන සංසාරය, නිර්වාණය, පුනර්භවය ආදිය නොදන්නා බව, නැත්නම් දැනගෙනත් තමන්වම රවටගන්නා බව. අන්න ඒ නිසයි පවසන්නේ “මාක්ස්වාදීන්ට ආගම අබිං” කියලා.
ඔය ඊනියා පීඩිත පන්තියක් ගැන බෞද්ධ චින්තනය තුළ හැඳින්වෙන්නේ නෑ. වරක් මහාචාර්ය නලින් සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ බොහෝ වැඩකරන ජනතාව අභිමානයට පත් වන්නේ තමන් සිංහලයෙක් වීම නිසා මිස කම්කරුවෙක් වීම නිසා නොවන බවයි. එක් එක් කෙනාගේ කායික හෝ/හා මානසික ශක්තියේ හැටියට තම තමන් ධනය රැස් කරයි, ඒකයි ඇත්ත. දුප්පත් පොහොසත් කියන්නේ තම සිතිවිලි වලට සාපේක්ශ දෙයක්, කෙනෙක්ගේ භෞතික වුවමනා සීමිතනම් සහ ඒවා සඵල වුනානම් ඔහු සුපිරි පෝසතෙක්. නැතිව ඩොලර් බිලියන ගණනින් ධනය තිබුනත් සාපේක්ෂව වුවමනා අසීමිතනම් ඔහු දුප්පතෙක්ම තමයි.
දේශපාලඥයෝ දැන් කොච්චර ගසා කෑවත් ජනතාව බුද්ධිමත් සහ නිකළැල් වුන දාට ඒ දේශපාලඥයෝ බලයට එන්නේ නෑ. ජනතාව හදන්නේ නැතිව විප්ලව කලත් ඒ එන විප්ලවවාදීන් විසින් ඒකාධිපතිත්තවය යටතේ රට විනාශ කරාවි. ඒත් යථාර්තයනම් මේ පවතින තත්ත්වය යටතේ කොයි ජගතාටවත් තනිවම ජනතාව හදන්නත් බැරි බවයි, මේ ගැන සිංහල බෞද්ධයා අඩවියේ පෙර ලිපියක දක්වා ඇත. එනිසා අපිට භෞතික දියුණුව ලබා ගන්නනම් කළ යුත්තේ එක් එක් පුද්ගලයා තනි තනිව දියුණු වීමමයි. නැතිව ලේ හැලීම නෙමෙයි.
නමුත් මාතෘකාවේ සඳහන් “විප්ලවය” යන්න “කම්කරු විප්ලවය” ලෙස ඉහත උපකල්පනය කළත් ඉහත සඳහන් නොවූ විප්ලවත් ඇත. ඉන් එකක් වන්නේ බුදු දහමේ චිරස්ථිතිය පිණිසම කරන විප්ලවයයි. එදා දෙටුගැමුණු රජතුමා කළ විප්ලවය කොතරම් උදාරතරද? එවැනි ශ්‍රේෂ්ඨ විප්ලව වලට මෙරටෙහි දොර සැමදා විවරව විවරව පවතී.
අනෙක් අතට පසුගිය මානුෂික මෙහෙයුම ගතහොත් එය කිසි සේත්ම කම්කරු විප්ලවයක් හා සැසඳීමට නොහැකියි, එහිදී සිදු වුනේ රජයක් විසින් කැරළිකරුවන්ව අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම නිසා සිදුවූ සිද්ධීන් දාමයක් පමණයි. රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම ඕනෑම රජයක වගකීම වන අතර රට තුළ කැරළි කෝළාහල ඇති නොවන තැනට කටයුතු කිරීමට පසුගිය රජයන් කටයුතු කළානම් එවැනි ලේ හැලීමක් සිදු වන්නේ නෑ.

බුදු දහමෙන් අනුමත කර ඇති විප්ලවය වන්නේ ආධ්‍යාත්මික විප්ලවය බව සිංහල බෞද්ධයා අඩවිය පරිශීලනය කරන මිතුරන්ට පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුයි. එහි ආරම්භක අරමුණ කුමක් වුනත් එය නිර්වාණයෙන්ම කෙළවර වන්නේය, ලේ හලාගන්නා රක්ත වර්ණ විප්ලව මෙන් නොව සකල විශ්වයටම ශාන්තියක්ම වන්නේය.
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

නුදුරු සහෘද අදහස්