කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම

මහාවංශයේ සඳහන් විජයාවතරණය ප්‍රතික්ෂේප කරන සමහරුන් එක්කෝ එය සම්පූර්ණයෙන්ම මුසාවක් යැයි කියන අතර, තවත් උදවිය සිංහබාහුගේ පියා සිංහයෙක් නොව සිංහ වංශිකයෙක් යැයි තර්ක ගොඩ නගයි. නමුත් එක් එක් උදවියගේ විවිධාකාර මතවාද වලින් සිදු වන්නේ ද්විත්ව සහේතුවකව (මහාවංශය ආදී ලිඛිත මූලාශ්‍ර වලින් සහ ශිලා ලේඛන වලින් ඒකමතිකව) සනාථ කළ හැකි අපගේ නිරවුල් සිංහල ඉතිහාසය අවුල් ජාලාවක් වීමකි. (මේ ගැන ඊළඟ ලිපියෙන් විස්තර කරමු.) මීට ආරම්භයක් ලෙස ප්‍රස්තුතය සම්බන්ධයෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා “සිංහබාහුගේ පියා” නමින් ලියා ඇති අගනා ලිපිය අප සහෘදයන් සමග මෙලෙස බෙදා ගනිමු.

සිංහබාහුගේ පියා
===========

සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම කියා නිමකළ නොහැකි ය. බටහිරයන් අනුකරණය කරන කසිකබල් ඇංකරයන්ට නම් සිංහබාහු ප්‍රවාදය මිථ්‍යාවකි. සිංහයකුට දාව මිනිස් ස්ත්‍රියකට මිනිස් දරුවන් දෙදෙනකු නොව එක් කෙනකු වත් ඉපදිය හැකි නොවේ. සිංහබාහු ප්‍රවාදයෙහි සඳහන් අන්දමට සිංහබාහු තම නැගණිය වූ සිංහ සීවලී විවාහ කරගෙන ඇත. පඬුවන්ට අනුව එය සදාචාරයට එකඟ නොවේ. මේ කරුණු සලකා බලන කල සිංහබාහු ප්‍රවාදය ප්‍රතික්‍ෂෙප කළ යුතු යැයි ඇංකරයෝ පවසති. එහෙත් කබරගොයා තලගොයා කරගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ඔවුහු සිංහලයන්ට මඩගැසීමට අවශ්‍ය වූ කල සිංහබාහු ප්‍රවාදය යොදාගනිති. එවැනි අවස්ථාවල ඔවුන් කියන්නේ සිංහලයන් තිරිසනකුගෙන් පැවත එන බවත් විජයගේ දෙමව්පියන් නොසිදුවිය යුතු විවාහයක් කරගත් අශීලාචාරයන් බවත් ය.

එහෙත් අපට සිංහබාහු ප්‍රවාදය සමග අපේ ජාතිය ගැටගැසී ඇත. සිංහබාහු ප්‍රවාදය නැතහොත් කතන්දරය මුලින් ම නිර්මාණය කෙළේ කවුදැයි කීමට නොහැකි ය. එවැනි කතාවක් භාරතයේ ඇත් ද යන්න ද කිව නොහැකි ය. ඒ කුමක් වුවත් අඩුම තරමින් හතරවැනි සියවසේ සිට සිංහබාහු ප්‍රවාදය සිංහලයන් අතර තිබී ඇත. මේ ප්‍රවාදය ජනප්‍රවාදයක්, එනම් මහජනයා විසින් ගොතන ලද කතන්දරයක් විය හැකි ය. මේ ප්‍රවාදයට ද මුල ප්‍රශ්නයකි. පොල් ගෙඩි වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට නිව්ටන් විද්වතා පිළිතුරු දුන්නේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය මගිනි. සිංහබාහු ප්‍රවාදය සිංහලයාගේ සම්භවය කෙසේ සිදුවිණි ද යන්නට දෙන ලද පිළිතුරකි. මෙහි වැදගත්කම ඇත්තේ පිළිතුරෙහි මෙන් ම ප්‍රශ්නයෙහි ය.

දෙමළ ජනයාගේ සම්භවය පිළිබඳ කිසිදු කතාවක් මෙතෙක් ගොඩ නැගී නැත. දෙමළ ජනයා අතර දෙමළ ජනයාගේ සම්භවය පිළිබඳ ප්‍රශ්නය පැන නොනැගීමට හේතුව කුමක් ද? ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද දෙමළ ජනයාගේ සම්භවය පිළිබඳ කතාවක් ගෙතී ඇතැයි නොසිතමි. ලෝක ඉතිහාසයෙහි කිසි දිනෙක කිසිම රටක දෙමළ රාජ්‍යයක් තීබී නැත. එකල දකුණු ඉන්දියාවේ තිබුණේ චෝල, පල්ලව, චේර, පාන්ඩ්‍ය ආදී රාජ්‍ය මිස දෙමළ හෝ අඩුම තරමින් ද්‍රවිඩ හෝ රාජ්‍යයක් නොවේ. දකුණු ඉන්දියාවේ දෙමළ ජාතික අනන්‍යතාවයක් තබා දෙමළ ජනවාර්ගික අනන්‍යතාවයක් වත් තිබී නැත. ලංකාවේ ද කිසිම දවසක දෙමළ රාජ්‍යයක් හෝ දෙමළ අනන්‍යතාවයක් තිබී නැත. යාපන අර්ධද්වීපයේ තිබූ ආර්ය චක්‍රවර්තී රාජ්‍යය දෙමළ හෝ ද්‍රවිඩ හෝ රාජ්‍යයක් නොවී ය. එහි රජු කවරකු වුවත් (ඔහු ද්‍රවිඩයෙක් නොව කාලිංග වංශිකයෙක් විය. ඒ කෙසේ වෙතත් රාජ්‍යයක් කිනම් ජනවර්ගයක ද යන්න තීරණය වන්නේ රජු මත නොව වැසියන් මත ය. මහනුවර රාජ්‍යයෙහි අවසන් භාගයෙහි නායක්කාර් වාංශිකයන් රජ කළ ද එය සිංහල බෞද්ධ රාජ්‍යයක් වූයේ ඒ පදනමින් ය.) එහි විසුවෝ කේරලයෙන් පැමිණි මලයාලම් බස කතා කරන දෙමළ නොවන ද්‍රවිඩ ජනයා හා සිංහල ජනයා වූහ. පසුකලෙක ලන්දේසීන් විසින් ආනනයන කරන ලද දෙමළ ජනයා යාපන අර්ධද්වීපයේ පදිංචි වීමෙන් මේ ජන සංයුතිය වෙනස් විය. එහෙත් දෙමළ ජනයාට තිබූ මලයාලම් බලපෑම ඉවත නොගියේ ය. ඇතැම් දෙමළ උගතුන්ට අනුව අද පවා දකුණු ඉන්දියානු දෙමළ වැසියන් ලංකාවේ දෙමළ වැසියන් කතාකරනු ඇසුවහොත් කියන්නේ ලංකා දෙමළ උච්චාරණයෙහි මලයාලම් ඌරුවක් ඇති බව ය. ලංකා දෙමළ බසෙහි ඇතැයි කියන එහෙත් දකුණු ඉන්දියානු දෙමළ බසෙහි නැති ඇතැම් පැරණි සංගම් කාලීන දෙමළ වචනවලට ද හේතුව මේ මලයාලම් සම්බන්ධය යැයි සිතිය හැකි ය. මලයාලම් බස යනු දෙමළ බසෙන් කැඩී වෙන් වූ බසකි. එබැවින් මලයාලම් බසෙහි පැරණි දෙමළ බසෙහි තිබූ ඇතැම් වචන ආරක්‍ෂා වී ඇත. ලංකාවේ දෙමළ යනු ආර්යචක්‍රවර්තී යුගයෙහි මෙහි පැමිණි මලයාලම් බස කතා කළ කේරළ කුලී හමුදාවේ පුද්ගලයන්ගෙන් පැවත එන්නන්ගේ ද ඒ යුගයෙහි එහි විසූ සිංහලයන්ගෙන් පැවත එන්නන්ගේ ද ලන්දේසි යුගයෙහි දුම්කොළ වගාව සඳහා මෙරටට ගෙන්වන ලද පුද්ගලයන්ගෙන් පැවත එන්නන්ගේ ද බස බැවින් එහි ඇතැම් පැරණි දෙමළ වචන තිබීම පුදුමයක් නොවේ.

දෙමළ රාජ්‍යයක් හෝ දෙමළ ජනවර්ගයක් හෝ දෙමළ ජාතියක් හෝ නොමැතිව දෙමළ නමින් අනන්‍යතාවයක් ඇති නොවේ. භාෂාව කෙතරම් වැදගත් වුව ද එකම භාෂාවක් කතා කළ පමණින් ජනතාවක් තුළ තමන් ජනවර්ගයක් ය යන විඥානයක් හෝ අනන්‍යතාවයක් හෝ ඇති නොවේ. එබැවින් එකම දෙමළ භාෂාව කතා කළ ද දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වූ ජනතාවට දෙමළ නමින් අනන්‍යතාවයක් තිබී නැත. දෙමළ අනන්‍යතාවයක් නැති විට දෙමළ ජනවර්ගයක හෝ දෙමළ ජාතියක සම්භවය පිළිබඳ ප්‍රශ්න ඇසීමට ඉඩක් නැත. මේ කරුණ අප අවධාරණය කරන්නේ අඩුම තරමින් විවේචනය කිරීමට වත් මෙරට දෙමළ ජාතිවාදීන්ට දෙමළ සම්භවයක් පිළිබඳ කතාවක් ලංකාවෙන් නොව ඉන්දියාවෙන් වත් ඉදිරිපත් කළ නොහැකි බැවිනි.

ගාමිණී අභය (දු‍ටුගැමුණු) මහරජතුමාගේ කොඩිය. මෙහි සිංහයෙක් ඇත්තේ සිංහයෙක්ගෙන් ආරම්භ වූ බවට මතයක් ඇති සිංහල ජාතිය සංකේත්වත් කිරීමටයි. අද දක්වා සිංහල ජාතිය නිරූපනය කරන ධජ වල සිංහයෙක් සිටියි.

සිංහලයන්ට සිංහලයන්ගේ සම්භවය පිළිබඳ ප්‍රවාදයක් අඩුම තරමින් හතරවැනි සියවසේ සිට තිබීමෙන් පෙන්නුම් කරන්නේ සිංහලයන් තමන් සිංහලයන් ලෙස අඩුම තරමින් ඒ යුගයේ සිට හඳුන්වාගෙන තිබීම ය. ඒ කාලයෙහි රටෙහි ඒකීය රාජ්‍යයක් ද (එක් සේසත්) තිබූ බැවින් සිංහලයන් ජනවර්ගයක් ලෙස නොව ජාතියක් ලෙස තමන් හඳුන්වාගෙන ඇති බව පැහැදිලි ය. සිංහබාහු ප්‍රවාදය නිර්මාණය කෙරී ඇත්තේ එසේ ජාතියක් ලෙස අනන්‍ය වූ සිංහලයන් තම සම්භවය පිළිබඳ ව ප්‍රශ්න කිරීමේ දී ය. ඒකීය රාජ්‍යය හා ජාතිය යනු දහසයවැනි සියවසෙන් මෙපිට යුරෝපයේ ඇති වූ සංකල්ප යැයි කියන්නන්ට අප ප්‍රකාශ කරන්නේ එක්සේසත් යන වචනය හා සිංහලයන් යන වචනය ඒ අදහස් ප්‍රකාශ කරන බව ය. සිංහබාහු ප්‍රවාදය පිළිතුරක් ලෙස මෙන් ම ප්‍රශ්නයක් ලෙස ද වැදගත් වන්නේ ඒ ප්‍රශ්නය අසන්නට සුදුසු වාතාවරණයක් එකල බිහි වී තිබීම හේතුකොටගෙන ය.

සිංහබාහු ප්‍රවාදය පිළිබඳ ව ඇතැම් ඊනියා උගත් සිංහලයෝ ම ලජ්ජාවට පත්වෙති. ඒ ප්‍රවාදය ගොඩ නගන ලද සිංහල භික්‍ෂූන්වහන්සේගේ හෝ සිංහල ගිහියාගේ හෝ ප්‍රඥාව නොමැති මේ අද බාල උගත්තු සිංහයාට විවිධ අර්ථකථන දෙති. එමගින් තම අඳ බාලකම හේතුවෙන් ප්‍රවාදයෙහි අගය අඩුකරති. මේ අඳ බාලයන්ට අනුව සිංහයකුට දාව මිනිස් ස්ත්‍රියකට මිනිස් දරුවන් ලැබිය නොහැකි ය. මොවුන්ගේ විශ්ලේෂණාත්මක බුද්ධියේ ආනුභාවයෙන් සිංහයා තිරිසන් අත්බවින් මිදී මිනිසකු බවට පත්වෙයි. මේ බොරු පණ්ඩිතයන්ට අනුව මෙහි සිංහයකු ලෙස දැක්වෙන්නේ සිංහයකු මෙන් ශක්තිය තිබූ මිනිසෙකි. ඇතැම් විට මේ මිනිසා චන්ඩියකු වන්නට ඇත. කෙසේ වෙතත් විශාල ජවයක් තිබූ මේ මිනිසා සුප්පා දෙවිය පැහැර ගෙනගොස් ඇය සමග කැලයේ ජීවත් විය. එසේත් නැත්නම් සිංහයකු වැනි මේ මිනිසාගේ හැඩි දැඩි සිරුරට ලොල් වූ සුප්පා දේවිය ඔහු සමග පැන යන්නට ඇත. ඒ කුමක් වුවත් පණ්ඩිතයන් ලෙස පෙනී සිටින මේ අඳ බාලයන්ට අනුව සුප්පා දේවිය දීග ගොස් ඇත්තේ සිංහයකු සමග නොව සිංහයකු මෙන් වූ මිනිසකු සමග ය.

සිංහයාට දෙන ඒ අර්ථ විවරණයත් සමග බටහිර ජීව විද්‍යාවේ විවේචනයෙන් මිදීමට පණ්ඩිතයන්ට හැකිවෙයි. මිනිසකුට දාව මිනිස් ස්ත්‍රියකට මිනිස් දරුවන් ලැබිය හැකි බැවින් සිංහබාහුට හා සිංහ සීවලීට දැන් හොඳ උප්පැන්න සහතිකයක් ලැබෙයි. එහෙත් ඒ උප්පැන්න සහතිකය සමග සිංහල ජාතියේ උප්පැන්න සහතිකය ඉරා දැමෙයි. සිංහබාහු ගේ පියා මිනිසකු නම් සිංහල ජාතියේ ආරම්භය සංකේතවත් කරන ආදි පියා කවු ද? සිංහයා ද මිනිසකු වන විට ඒ මිනිසාට ද තවත් මිනිස් පියෙක් වෙයි. ඔහුට ඔහුගේ මිනිස් පියා වෙයි. මෙහි කෙළවරක් නැත. සිංහල ජාතියේ ආරම්භයේ වු ආදී පියා සොයා යෑම කෙළවරක් නැති ගමනක් බවට පත්වෙයි.

වර්තමානයෙහි ජීවත්වන කසිකබල් පඬිවරුන්ට වඩා ප්‍රඥාවක් එකල වැඩ විසු සංඝයා වහන්සේට හා එකල ජීවත් වූ ගිහි බෞද්ධයන්ට තිබූ බව පැහැදිලි ය. තම ජාතියේ හෝ ජනවර්ගයේ හෝ ආදිතමයා සත්ත්වයකුගෙන් පැවත එන්නකු බවට ප්‍රවාද, බොහෝ උගතුන් කියන ආකාරයට ජනප්‍රවාද, හෙවත් කතන්දර නිර්මාණය කර ඇත්තේ සිංහලයන් පමණක් නොවේ. බොහෝ ආසියානු අප්‍රිකානු ජනවර්ග තම ආදි මුත්තා සිවුපාවකුගෙන්, එසේත් නැත්නම් පක්‍ෂියකුගෙන් හෝ ඇතැම් විට ජීවයක් ඇති එහෙත් බෞද්ධයන් සලකන අයුරින් පණක් නැති ගස් කොළන්වලින් පැවත එන බවට කතා හෙවත් ප්‍රවාද නිර්මාණය කර ඇත. මෙයට හේතුව කුමක්දැයි දැනට වසර ගණනාවකට ඉහත දිවයින දිනපතා පුවත්පතට මා විසින් ලියන ලද සිංහබාහු ප්‍රවාදය නම් ලිපියෙහි විස්තර කෙරී ඇත.

සවිඥානික ව තමන් ජනවර්ගයක් හෝ ජාතියක් හෝ ලෙස හඳුනාගත් ජනකොටසක් තම ආදිතමයා ගේ බිහිවීම පිළිබඳ ව ප්‍රවාද ගොඩනගන්නේ කිනම් හෝ ජීව විද්‍යාවකට අනුව නොවේ. එවැනි ප්‍රවාද අයත්වන්නේ ද කිසියම් ජීව විද්‍යාවකට නොව සමාජ හෝ මානව විද්‍යාවකට ය. මේ ප්‍රවාද ගොඩනගන්නේ එකම එක අරමුණකිනි. ඒ අරමුණ අන්කිසිවක් නොව තම ජනවර්ගයේ හෝ ජාතියේ හෝ අනන්‍යතාවය ප්‍රකාශ කිරීම ය. තම අනන්‍යතාවය ප්‍රකාශ කිරීම හෝ තහවුරු කිරීම මගින් තමන් අන්‍ය ජනවර්ගවලින් හා ජන කොටස්වලින් (අප සඳහන් කරන කාලයේ ලෝකයේ පැවතී ඇත්තේ ජාති දෙකක් පමණකි. එක් ජාතියක් සිංහල විය. අනෙක් ජාතිය වූයේ චීන ජාතිය ය. සෙස්සෝ එක්කෝ ජනවර්ග වූහ. එසේත් නැත්නම් හුදු ජන කොටස් වූහ.) වෙන් වූ සුවිශේෂ වර්ගයක් බව පෙන්වීම අදාළ ප්‍රවාද මගින් පැරැන්නෝ බලාපොරොත්තු වූහ. අප මේ ප්‍රවාද විමසිය යුත්තේ මේ අරමුණ සාක්‍ෂාත් කිරීමේ දී ප්‍රවාද නිර්මාපකයා කෙතරම් සංගත භාවයක් දක්වා ඇත්ද යන කරුණ මත පදනම් ව මිස කිසියම් ජීව විද්‍යාවක් මත පදනම් වී නොවේ.

සත්ත්වයකුගෙන් පැවත එන්නකු එම ආදිතමයා කරගත් වහාම ඒ ආදිතමයාට අනෙක් මිනිසුන්ගෙන් වෙන් වූ අනන්‍යතාවයක් ලැබේ. ඔහු තවදුරටත් පිය පාර්ශ්වයෙන් මිනිසකුගෙන් පැවත නොඑන බැවින් අනෙක් මිනිසුන්ගෙන් වෙන්වෙයි. ඔහු නව මිනිස් පරපුරක ආරම්භකයා වෙයි. සිංහබාහු ප්‍රවාදයේ පමණක් නොව මෙවැනි බොහෝ ප්‍රවාදවල සොහොයුරා සොහොයුරිය විවාහ කර ගැනීමක් ද සිදු වෙයි. සිංහබාහු ප්‍රවාදයේ සිංහබාහු තම නැගණිය වූ සිංහ සීවලී විවාහ කර ගනියි. මෙහි තේරුම කුමක් ද? සොහොයුරා මෙන් ම සොහොයුරිය ද සත්ත්වයකුගේ දරුවෝ වෙති. ඔවුන් දෙදෙනාට ම පිය පාර්ශ්වයෙන් වෙනත් මිනිසුන් සමග සම්බන්ධකමක්, නෑදෑකමක් නැත. වෙනත් අයුරකින් කියන්නේ නම් ඔවුන් දෙදෙනාම පිය පාර්ශ්වය වශයෙන් ගත් කල “ශුද්ධ“ වෙති. එවිට ඔවුන්ගෙන් උපදින දරුවෝ තවත් පරම්පරාවක්වත් “අශුද්ධවීමෙන්” වළකියි.

ඉන්දියාවේ අජන්තා සිතුවම් වල විජයාවතරණය සිතුවමට නගා ඇත. එනම් විජයාවතරණය යනු 2 වැනි සියවසේදී ඉන්දියානුවන් පවා දැනගෙන සිටි සත්‍ය සිදුවීමකි.

විජය රජුගේ පියා මෙන් ම මව ද අපේ වංශ කතාවලට අනුව සිංහයකුගේ දරුවන් වීමෙන් මේ ශුද්ධ බව තහවුරු කෙරී ඇත. සිංහබාහු ප්‍රවාදය ගොඩ නැගූ තැනැත්තාට අවශ්‍ය වූයේ සිංහලයන්ගේ සම්භවය වෙනත් මිනිසුන්ගෙන් වෙන් කර දැක්වීම ය. ප්‍රවාදකරු ඉතා මැනවින් හා දක්‍ෂ ලෙස තම කාර්යය ඉටුකර ඇත. ප්‍රවාදයක් ගොඩ නැගීමේ දී අරමුණට අදාළව සංගත වීමක් අපේක්‍ෂා කළ යුතු ය. සිංහබාහු ප්‍රවාදයේ වටිනාකම ඇත්තේ සිංහබාහුගේ පියා සිංහයකු කිරීම තුළ ම ය. සිංහබාහුට වෙනත් උප්පැන්නක් සාදා ඔහු තවත් මිනිසකුගේ පුතකු කිරීමෙන් සිංහබාහුට බොරු සෙතක් අත්විය හැකි නමුදු සිංහලයන්ගේ අනන්‍යතාවය ඒ සංශෝධිත ප්‍රවාදයෙන් වැනසී යයි. වත්මන් සිංහලයන්ගේ බොරු පණ්ඩිතකම්වලින් සිංහල ජාතියට කිහිප අතකින් ම අවැඩක් ම සිදුවෙයි.

~ මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලිපියකි
උපුටාගැනීම: http://www.kalaya.org/files/v0​72.pdf

1900
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

9 comments to විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම

  • Thilaka Randeni

    අප විජය ඒමට පෙර බෙදී වෙන්වී සිටියේ නෑ. අප විශේෂ ප‍්‍රාගුණ්‍ය මත බෙදී රැුකියා කළා. රාක්‍ෂ කිව්වේ යකඩින් වැඩ කළ රටේ ආරක්‍ෂාව භාර අයටයි. නාග කිව්වේ නැවියන්ට. ඔවුනගේ කාර්යභාරය වූයේ නැව්වලින් ගොස් විදෙස් වෙළ\ම කිරීමයි. අසුරයන් කළේ රට අස් වැද්දීමයි. අප එකම ජාතියක් වග පැහැදිලි වෙනවා බුදු හිමියන්ගේ ලංකාගමනයෙනුත්. මහියංගනයේ යක්‍ෂ සමාගමට ආ සුමන සමන්මයි කැලණියේ මණි අක්‍ඛික රජුගේ මාළිගයේදී බුදු හිමිට සමනල කන්දට එන්න කියන්නෙත්.කොහොමද ඉන්‍දීය සාධකය අපව ජාතියක් හැටියට එකතු කළේ. ශිර්ෂපුරයේ කාළසේන රජු ප‍්‍රමුඛ නිරායුධ යකුන්ව ඝාතනය කරලාද?
    කකුල් හතරේ සිංහයකුගේ ප‍්‍රවාදය ලංකාවට ඇති කළාම ඉතිරි සිංහ පැටව් 33 දෙනා හිටියේ ඉන්‍දියාවේ කියා වංසකතාකරුවන්ට අමතක වුණා. එහෙම බලනකොට ලංකාවට වඩා සිංහලයන් ඉන්න ඔ්න ඉන්‍දියාවෙනේ.
    සිහ කොඩියෙන් ජාතකයක් නෙමෙයි කියන්නේ. සිංහයා නායකත්‍වයේ ප‍්‍රතිමූර්තය.ඊළගට ශක්තියේ පතිමූර්තිය. කවුරුත් අහලා ඇතිනේ සිංහයාට අලියෙක් වුණත් මරන්න පුඵවන් කියා.
    මෙහෙම බලනකොට එංගලන්ත රාජ්‍ය ලාංඡුනයේ සිංහයන් දෙදෙනකුම ඉන්නවා. සුද්දා එතකොට සිංහලයන්ගේ අඩ සහෝදරයන් වෙන්න ඇති.(step brothers)
    එතකොට මහාචාර්යතුමාගේ පැහැදිලි කිරීම තුළින් බුදු දහමෙන් තොර සිංහලයන් නැත. එතකොට අපේ කි‍්‍රස්තියානි සහෝදරයන් සිංහල නෙමෙයි. අනේ පව් ඒ සිංහලයන්ටත් අප ප‍්‍රවාදයක් ගොඩ නංවලා දෙමු. වැඩේ කියන්නේ වංසකතා ලියන කාලේ ඔය යක්කු හිටියේ නෑනේ මෙහේ. නැතිනම් මහානාම හිමටම ඔය වැඩේ කරලා දෙන්න තිබුණා. අපි එයාලට විශේෂ සත්‍වයෙක් නිර්මානය කරලා දෙමු. අපි නරා බූරුවෙක් හදමු. ඔබ හිතන්නේ ඉනෙන් ඉහළ කොටස බූරුවෙක් කළොත්ද හොඳ පහළ කොටස බූරුවෙක් කළොත්ද හොඳ? කොහොම කෙරුවත් ප‍්‍රශ්ණයක් නෑ. අපේ ගොන් යක්කු තාක්‍ෂණය මෙච්චර දියුණු කාලෙත් සිංහ ප‍්‍රවාදයක් අරගෙන යනවානේ පරම්පරාවෙන් පරම්පරාවට.
    අපව ඉන්‍දියානු ගැති කළේ කාලිංගයෙන් ආ වංසකතාකරුවන්. දීන ඉන්‍දියානු මානසිකත්‍වය නිකන් නැති කරන්න බෑ. ඒක කරුණු සහිතව ඔප්පු කරන්න ඔ්න මේ මං කරනවා වගේ. මා තමයි ලෝකෙට පළමුවෙන්ම හෙළි කළේ සහ ඔප්පු කළේ අශෝකට විදේශාධාර යවා අපේ දේවානම්පියතිස්ස රජ ඉන්‍දියාවේ සංකේතාත්මකව රජ වූ බව. අද වනතුරු ඉතිහාසඥයන් එක්කෙනකුටවත් ඒක එහෙම නෙමෙයි කියන්න බැරි වුණා.
    මා කැලණිය විශ්වවිද්‍යාලයේදී එයට අදාළ ලිපියක් ඉදිරිපත් කරද්දී එය අසා සිටි ජ’පුර එිටපු උප කුලපතිවරයකු කීවේ එතුමන්ට වෙනත් මතයක් ඉදිරිපත් කරන්න බැරි තරමට තර්කාණුකූලව මා එය ඉදිරිපත් කර ඇති බවයි.
    ඔ්නෑම ජන වර්ගයකට විතරක් නෙමෙයි ඔ්නෑම ජාතියකට වුණත් තව වර්ගයක් එක්ක එකතු වෙන්න පුඵවන්. ලංකාවට ආ අරාබි වෙළෙන්ඳන් ගෑණු ගෙනාවේ නෑ. මෙහේ සිංහල ගෑණු විවාහ කරගෙන මුස්ලිම් පැටව් බෝ කළා. අපේ සිංහයාට බැරි වුණාට සිංහ වලිගයක් තියෙන එක පැටියෙක් ජාතක කරගන්නට. ආ මට අමතක වුණා. ඒක ප‍්‍රවාදයක්නේ. දැන් ඔ්කම තමා සිංහල ජාතියේ ප‍්‍රමාදයටත් හේතු වෙලා තියෙන්නේ.
    මතක තිාගන්න එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුාරයා ඉංගි‍්‍රසි ජාතිකයෙක් නෙමෙයි. ජර්මන් ජාතිකයෙක්. එයාගේ තාත්තාගේ නම පිලිප් මවුන්ට්බැටන් නෙමෙයි පිලිප් ගුටන්බර්ග්. ලෝක යුද්ධය වෙලාවේ තමයි පිලිප්ගේ මාමා මවුන්ට්බැටන් සාමිවරයා ඔය නම වෙනස් කලේ.

    Thumb up 1 Thumb down 1

  • මිලාන් ලවන්ප්‍රිය

    ඕගොල්ලෝ ඔක්කොම පටලවාගෙන. සිංහල ජාතිය (race ) කියල දෙයක් නැහැ. තිබිලත් නැහැ.
    සිංහල කියන්නේ ජන වර්ගයක්. හැබැයි යුරෝපියන් කියන්නේ ජාතියක්. ප්‍රංශ කියන්නේ ජන
    වර්ගයක්. ඒ කියන්නේ යුරෝපිය ජන වර්ගයක්. දැන් වෙනස තේරෙනවද? සිංහලුන් කියන්නේ ජන වර්ගයක් නිසා තමයි මේ ඔක්කො ප්‍රශ්න. ඒ කියන්නේ මේ සින්හබාහුයි, අරවයි, මේවයි ඕගොල්ලෝ ගෙනල්ල තර්ක දාන්නේ.
    හැබැයි ඉතින් ඕගොල්ලන්ට ඕකට මුකුත් කියන්ඩ බැහැ. මොකද ජන වර්ගයක් වුනාම හරියට
    ඕවගේ ප්‍රශ්න එනවා. ඕකට විසඳුම්උත් නැහැ. හැමදාම මොන තර්ක ගෙනාවත් සිංහල ජන වර්ගය කියන්නේ මොක්කක්ද කියල කරුණු ලියල කියන්ඩ බැහැ, මොකද එහෙම කෙනෙක් නැහැ හින්ද.
    අපි බෙදිලත් ඉන්නේ අපි ජන වර්ගයක් හින්ද. මොකද මිනිස්සු එක එක කොන්දේසි හදාගෙන බෙදිලා. කුල ක්‍රමයත් ඒ වගේ එකක්.

    Thumb up 0 Thumb down 1

    • ජාතියක් සහ ගෝත්‍රයක් පැහැදිලිවම වෙනස්ය. සිව්හෙළ වහාහී “ගෝත්‍ර” වේ. සිංහල වනාහී “ජාතියක්” වේ.

      ස්වාභවික හෝ දේශසීමා මගින් වෙන්නකරණ ලද භූමියක් තුළ ජීවත් වෙමින් තමන්ට අනන්‍ය භාෂාවක් ආර්ථිකයක් සංස්කෘතිය ක් නිර්මාණය කළ සහ ගෝත්‍ර ගණනාවක විවිධත්වයෙන් යුත් ජනතාවක් වේද එම ජනතාව ජාතියක් වශයෙන් හැඳින්වේ.

      කිසියම් නිශ්චිත ලේ නෑකමක් සහිතව, එකම සංස්කෘතියක්, එකම ආගමක් පිළිපදින සහ අනෙක් අයට මිශ්‍ර විය නොහැකි ජන කොට්ඨාශයක් වේද ඔවුන් ගෝත්‍රයක් ලෙස හැඳින්වේ.

      මෙ අනුව යක්ෂ නාග දේව රාක්ෂ පිෂාච කුම්භාණ්ඩ ගන්ධබ්බ ආදී එදා සිටි ජන කොට්ඨාශ “ගෝත්‍ර” වේ. (එහෙත් ඒමගින් ඔවුන් නොදියුණු ගෝත්‍රියකයන් යැයි නොකියවේ, ගෝත්‍රියයන් සහ ගෝත්‍ර යන පද පටලවා ගන්න එපා).

      එහෙත් සිංහල ජාතිය යනු ජාතියක් බව ඉහත “ජාතිය” දැක්වෙන නිර්වචනයෙන් පැහැදිලි වේ.

      ඒ අනුව නිශ්චිත අනන්‍යතාවයක් සහිතව, නිශ්චිත ලාංඡනයක් සහිතව, ස්වාභාවිකව වෙන් වූ දේශසිමා සහිතව සියළුම ගෝත්‍ර එක් වී “සිංහල ජාතිය” බිහි වුනේ විජයාවතරණයෙනි. එමගින්ම සිංහල ජාතිකත්වය බිහි විය. සිංහල ජාතිය වෙනුවෙන් අද භාවිතා කරන සිංහයාගේ ලකුණ එම සිද්ධිය සංකේතවත් කරන්නකි.

      ඊට අමතරව කාලයක් තිස්සේම ඉන්දියාවෙන් පැමිණි ජනතාව සිංහලයින් හා එක් වී තිබේ. සිංහල යනු ජන වර්ගයක් නම් එලෙස වෙනත් ජනතාවකට තවත් ජන වර්ගයකට එක් විය නොහැකියි.

      Thumb up 1 Thumb down 0

      • මිලාන් ලවන්ප්‍රිය

        ඕනෑම සිංහල සබද කෝෂයක් අරන් බලන්ඩ ජාතිය කියන වචනයේ තේරුම. ජාතිය = රට. ඒ කියන්නේ සිංහල ජාතිය
        කියන්නේ ශ්‍රී ලංකාව කියන දේශසීමා මගින් වෙන්නකරණ ලද භූමියක් තුළ ඉපදුනු සිංහල දෙමවු පියන් ඇති පුද්ගලයෙක්ට.

        මම ඕගොල්ලන්ට හොඳ උදාහරණයක් දෙන්නන්. මේ කෙල්ල http://www.sundayobserver.lk/2010/10/03/fea20.asp සිංහලද ඕගොල්ලන්ගේ නිර්වචනය අනුව?

        මොකද මෙයාව මාස හතරේදී තමයි සුද්දා ස්වීඩන් ගෙනිහිල තියෙන්නේ. දැන් මෙයා.
        (1.) සිංහල කතා කැරෙන්නේ නැහැ.
        (2.) සිංහල නමක් නැහැ.
        (3.) සිංහල සංස්කෘතියේ මොනවත් දන්නේ නැහැ. සිංහල
        (4.) සිංහල සංස්කෘතියට අනුව නෙමෙයි ජිවත් වෙන්නේ.
        (4.) සිංහල විදියට මුකුත් කරන්නේ නැහැ.

        හැබැයි එත් මෙය සිංහල හැටියට තමයි මේ රටේ බහුතරය සලකන්නේ. හැබැයි ඕගොල්ලෝ මෙයා සිංහල හැටියට ගණන්
        ගන්ඩ බැහැ. මොකද මෙයාට සිංහල මුකුත් නැති නිසා සහ සිංහල සංස්කෘතියට අනුගත වෙලා, ඒ අනුව ජිවත් වෙන්නේ නැති නිසා. මේ වගේ 1000 ගණනක් සිංහල මිනිස්සු ඉන්නවා.

        දැන් කියන්ඩ බලන්ඩ රංග මේ ගර්ල් ඔයාටල අනුව සිංහලද නැද්ද? මේ කෙල්ල ඕගොල්ලන්ට අනුව යුරෝපියන්ද කෙනෙක්ද?

        දැන් තේරෙනවද මෙතන තියෙන ප්‍රශ්නේ බරපතල කම.

        Thumb up 0 Thumb down 1

        • එම දැරිවිය ගැන කිවහොත්, ඇයගේ අනාගත ක්‍රියාකාරකම් අනුව ඇය සිංහලද නැද්ද යන්න තීරනය වේවි. ඇය යුරෝපීය සංස්කෘතියට යොමු වුනොත් ඇය යුරෝපීයයෙක් වේවි. එසේ නැතිව ඇය සිංහල භාෂාව කතා කළොත්, සිංහල බෞද්ධ හෝ අඩුම තරමින් සිංහල ක‍තෝලික සංස්කෘතියට යොමු වුනොත් ඇය සිංහලයෙක් වේවි. උදාහරණ ලෙස අද සිටින ඇමරිකන් කළු ජාතිකයින්, අප්‍රිකානු නීගෝවරුන් නොවේ. ඔවුන් ඇමරිකන්ස් ලාය.

          Thumb up 2 Thumb down 0

        • ඔබ ජාතිය යන්න තේරුම් අරගෙන තිබෙන්නේ බටහිර දැණුම මත පිහිටමිනි. බටහිර දැණුම යනු පරම සත්‍යය නොව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමවේදයක් පමණි. ජාතිය ගැන හොඳ ලිපියක් තිබෙන අතර මෙහි දක්වන්නම්.

          අප ‘ජාතිය’ යන්න ඉංගිරිසියේ යන්නේ පරිවර්තනය ලෙස භාවිත කරමු. සැබැවින්ම Nation යනු ජාතියද?

          සිංහල භාෂාවේ ජාතිය යන වචනය හැගවෙන්නේ ‘සිංහල ජාතිය’, ‘ඉංගිරිසි ජාතිය’ යන අර්ථයෙන්ම නොවේ. ‘එක ජාතියේ පළතුරු’, ‘එක ජාතියේ මල්’ වැනි යෙදුම් අපි භාවිත කරමු. ‘ඒ දෙන්නාම එක ජාතියේ’ කියමු. එහෙත් ඉංගිරිසියෙන් Nation of flowers වැනි කීමක් අසන්නට නැත.

          සිංහලෙන් ‘ජාතිය’ යන වචනය ඉංගිරිසියේ Nation යන්නට පරිවර්තනයක් ලෙස භාවිත කළත් ඒ වචන දෙකින් එකම සංකල්පය හැගවේයැයි අප නොසිතමු. අඩුම තරමින් ජාතිය යන වචනය ඇසුන විට සිංහල මිනිසෙකු තුළ හට ගන්නා හැගීමත් Nation යන්න ඇසෙන විට ඉංගිරිසි මිනිහෙකු තුළ ඇතිවන හැගීමත් එකම නොවේ. ඉහත යෙදුම් අනුව බැලීමේදී සිංහලෙන් ‘ජාතිය’ යන වචනය භාවිතා කරනුයේ සමාන හැසිරීමක්, සමාන ස්වරූපයක් හෝ සමාන සිතුම් පැතුම් ඇති කණ්ඩායමකටය. ‘ඒ දෙන්නා එක ජාතියේ’ කියන විට හැගෙවන්නේ බාහිර ස්වරූපයකට වඩා දෙදෙනාගේ සිතුම් පැතුම්ය. හැසිරීමය. ‘සංස්කෘතිය’ය. එබැවින් සිංහල බෞද්ධ සංස්කෘතියේ ජාතිය නිර්ණය කිරීමේදී සංස්කෘතියට වැදගත් තැනක් හිමිවෙයි. සිකීම් රට උපන් එස්. මහින්ද හිමි ‘ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහලුන්නේ’ කියන විට උන් වහන්සේ සිංහලයෙක් වෙයි (උපතින් සිංහලයෙකු නොවුනත්).

          අනිත් අතින් බටහිර Nation යන සංකල්පය ඊට වඩා භෞතිකයට නැඹුරු වූවක් වෙයි. බටහිර සමාජ විද්‍යාවට බටහිර ජීව විද්‍යාව මත යැපීමට සිදුවෙයි. ජීව විද්‍යාව රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව මත යැපීමට සිදු වෙයි. එනයින් බටහිර Nation නිර්ණය කිරීමේදී ‘ජානමය’ පසුබිම ඉතා වැදගත් වෙයි. හිට්ලර් තම ව්‍යාපාරය හැදින්වූයේ ‘national socialism’ නමිනි. මෑතකදී රූපවාහිනී සාකච්ඡාවකදී නිර්මාල් රංජිත් මහතා පැවසුවේ කෝට්ටේ රාජධානිය සහ නුවර රාජධානිය ගොඩනැගීමට ඉන්දියාවෙන් පැමිණි පිරිස් දායක වූ බවය. වර්තමානයේ සිංහල යැයි හදුනා ගන්නා පිරිස් සිංහල නොවන බව කීම ඔහුගේ අරමුණ විය. එවැනි අර්ථකථනයක් දිය හැක්කේ බටහිර Nation සංකල්පය උඩය. මන්ද ‘ජානමය පවිත්‍රතාව’ බටහිර Nation සංකල්පයට වැදගත් වන හෙයිනි. එහෙත් ජානමය පසුබිමට වඩා සංස්කෘතියට වැදගත් තැනක් දෙන සිංහල බෟද්ධ සංස්කෘතියට අනුව අද ඔවුන් සිංහලයන් වෙති. ඊට හේතුව රටේ අනිත් පළාත්වල සිටින සිංහලයන් හා එසේ ඉන්දියාවෙන් පැමිණි පිරිස පොදු සංස්කෘතියක කටයුතු කිරීමය. ඒ නිසා ඒ අය ‘එක ජාතියේය’.

          මෙතෙක් අපට අවශ්‍ය වූයේ බටහිර Nation සහ සිංහලයන් අතර ඇති ‘ජාතිය’ සංකල්ප දෙකක් බව කීමය. බටහිර ජාතිය ජානමය පසුබිම (භෞතිකය) මත බැදී ඇති අතර සිංහල බෞද්ධයන්ගේ ජාතිය සංස්කෘතිය (සිතුම් පැතුම්, හැසිරීම රටා, භාෂාව) ආදිය මත බැදී ඇත. යුදෙව් ක්‍රිස්තියානි සංස්තෘතිය දැඩි ලෙස ආත්මවාදී සහ වාස්තවික යථාර්තවාදී සංස්කෘතියක් වීමත්, සිංහල බෞද්ධ සංස්කෘතිය අනාත්මවාදී සහ සාපේක්ෂතාවදී සංස්කෘතියක් වීමත් මේ වෙනසට බලපායි.
          http://jathikachinthanaya.blogspot.com/2011/05/blog-post.html

          Thumb up 2 Thumb down 0

  • Thilaka Randeni

    “සිංහබාහු ප්‍රවාදයේ වටිනාකම ඇත්තේ සිංහබාහුගේ පියා සිංහයකු කිරීම තුළ ම ය. සිංහබාහුට වෙනත් උප්පැන්නක් සාදා ඔහු තවත් මිනිසකුගේ පුතකු කිරීමෙන් සිංහබාහුට බොරු සෙතක් අත්විය හැකි නමුදු සිංහලයන්ගේ අනන්‍යතාවය ඒ සංශෝධිත ප්‍රවාදයෙන් වැනසී යයි”

    මේ කියන්නේ මොකක්ද? මේක අප තේරුම් ගත යුත්තේ කෙසේද? විජයගේ අම්මා තාත්තා දෙන්නම සිංහයකුගේ පැටව් කියලා නෙමෙයිද?
    ඔයාගේ වෙබ් ුඩවිය නිර්වචනය කරලා තියෙනවා හරි නෑ. ‘‘සිංහල බෞද්ධ ජාතිකත්‍වය මත පදනම් වූ’’ – කොහේද ඒ ජාතිය ඉන්නේ?
    එය විය යුත්තේ සිංහල ජාතිකත්‍වය මත පදනම් වූ බෞද්ධ සංස්කෘතිය කියා හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය කියාය.
    නියම බෞද්ධයා යනු විශ්ව මිනිසෙකි.

    Thumb up 0 Thumb down 0

    • දැන් ඔබ කියන හෙළයින් කවුද? යක්ෂ නාග දේව රාක්ශ ගන්ධබ්බ කින්නර අසුර ආදී … සිව් හෙළයින් යන නම හෙළ හවුලෙන් හඳුන්වා දුන් එකක්. ගෝත්‍ර 4 කට වඩා ඒ කාලයේ තිබුනා.

      ඉතින් ඒ ගෝත්‍ර සියල්ලම එක්සේසත් වුනේ සිංහල නම් ජාතියටයි. අතීතයේ සිටි හෙළ ගෝත්‍ර වලට අයත් ජනතාවත් වර්තමානයේ සිටින සිංහලයින් මෙන්ම ඉන්දියන් ගැත්තන් බව අපිට සිතාගැනීමට සිදු වෙනවා. එනිසයි බෙදී වෙන් වී සිටි ගෝත්‍ර එක් සේසත් කර “ජාතියක්” බවට පත් කිරීමට ඉන්දීය සාධකය ඉවහල් වුනේ.

      වර්තමානයේ සිංහලයන් වනාහී ඉන්දියන් ගැත්තන් නොවන බව ඔබ කියනවානම් ඒ ගැන මම වෙනම ලියන්නම්… අපිට අවශ්‍යත් මේ ඉන්දියන් ගැති කම නැති කිරීමටයි.

      එලෙස ඉන්දියාවට සම්බන්ධව තමන්ගේ ජාතිය අළුතෙන්ම ගොඩ නැගූ නිසා , සිංහල නමින් නව ජාතියක් බිහි වුනා. නමුත් ඉන් අදහස් වෙන්නේ නෑ විජයාවතරනයට පෙර සිංහලයින්ට ලේ නෑ වෙන උදවිය මෙරට නොසිටි බවක්.

      ඔබතුමියගේ දෙවැනි ප්‍රශ්නයට නලින් සිල්වා මහතා පිළිතුරු දී තිබෙන නිසා මට අලුතෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ.

      ජාතිය යනු පැහැදිලිවම සම්මුතියකි. සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ජාතිකත්වය අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි. ජාතිකත්වයෙන් සංස්කෘතිය ආරක්ෂා වන අතර සංස්කෘතියෙන් ජාතිකත්වය පෝෂණය වෙයි. මේ කරුණුවලින් සිංහල බෞද්ධ ජාතිකත්වය බටහිර ජාතිකවාදයෙන් (nationalism) වෙනස් වෙයි (ජාතිකවාදයේදී ජාතිය මූල හේතුව වෙයි. යම් පද්ධතියක මුල් එක් හේතුවක් හදුනාගැනීම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ලක්ෂණයකි. බුදු දහම මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියට නා නා හේතුවාදී වෙයි. තවත් පිරිසක් මේ බටහිර ජාතිකවාදය මත පිහිටා සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බුදු දහම ගලවා සිංහලයන් පටු ජාතිකවාදයකට හිර කිරීමට සැරසෙති. මේ තවත් වියුක්තකරණයකි. මේ පිරිස වියුක්ත බෞද්ධයන්ගේ විලෝමය වන අතර මේ දෙපිරිසෙන්ම වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය කඩා බිද දැමීමය. සිංහලත්වයෙන් තොරව ලක්දිව බුදු සසුනක්වත් බුදු දහමෙන් තොර සිංහලත්වයක්වත් නැත. ඕල්කොට් බෞද්ධයන් සහ වියුක්ත බෞද්ධයන් සිංහල බුද්ධාගමෙන් ජාතිකත්වය ඉවත් කිරීමට වළි කන්නේ ඇයිදැයි පැහැදිලි වියු යුතුය. එය සිංහල බුද්ධාගමේ ආරක්ෂකයා විනාශ කිරීමට සමානය. ආරක්ෂකයා මිය ගිය විට ආක්‍රමණිකයන්ට ඉතා පහසුවෙන් සිය අරමුණු ඉටුකර ගත් හැකිය. එනයින් බලන කල වියුක්ත බෞද්ධයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ ආක්‍රමණිකයා වෙනුවෙන් කාඩේ යාමකි.

      Thumb up 3 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.