ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ශ‍්‍රී සම්බුද්ධත්වය දැක තවමත් දොහොත් මුදුන් තබා සාදු කාර දී හමාර කළා පමණි !!!

“අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසංතෝ – දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිටිඨොසි – පුන‍ ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරංගතං චිත්තං – තණ්හාණං ඛයමජ්ඣගා”

“නැවත නැවත ඉපදීම දුකකි, පඤ්චස්කන්ධය නැමැති ගෙය තනන වඩුවා සොයමින් මෙතෙක් සසර පුරා ඇවිද්දෙමි. තණ්හා වඩුව, මා විසින් තා දක්නා ලද්දේය. නැවත තා මට ආත්ම භව නැමැති ගෙය නොසාදනෙයිය. තාගේ සියලු කෙලෙස් නැමැති පරාළ හා අවිද්‍යා කැණි මඬල ම විසින් විනාශ කරන ලද්දේය. මගේ සිත නිවනට පැමිණියේය. තෘෂ්ණාක්ෂය වූ අර්හත්ඵලයට පත් විය.”

අදින් වසර දෙදහස් හයසියයකට පෙර සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේ දස දහසක් සක්වල දෙව් බඹුන්ගේ සාදුකාර මැද්දේ, සකල විශ්වයම බුද්ධාලම්භන ප්‍රීතියෙන් එකම්පිත කරමින්, ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත් වී සත්වයාට සසර දුකින් එතෙර වීමට නිර්වාණ මාර්ගය පාදා දෙනු ලැබූසේක. බෝධිසත්වයාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වීම මනුශ්‍ය ලෝකයේ වෙසෙන අපිට වසර දෙදහස් හයසීයක් වුනාට මනුශ්‍ය ලෝකයට සාපේක්ෂව අති විශාල කාලයක් ඇති බ්‍රහ්ම ලෝක වල සිටින බඹුන් එම විශ්මය දැක මහත් ශ්‍රද්ධාවෙන් යුතුව තවමත් දොහොත් මුදුන් තබා සාදු කාර දී හමාර කළා පමණි!

මේ අනන්ත වූ සංසාර සාගරයේ මහත් යස ඉසුරු ඇති දෙව් බඹ විහරණ ලබමින්ද තවත් වරෙක නිරයේ පැසෙමින්ද යත්දී මිනිසත් භාවය ලබා ගැනිම ඉතාමත් අපහසු කාර්යයකි. එයිනුත් බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබීම ඊට වඩා බොහෝ අපහසුය. එයිනුත් බුදු දහම සවන වැටීම මහත් පිනක් නිසාම සිදු වූවකි. එලෙස තෙවලා බුදු දම් දැනගෙන තෙරුවන් සරණ යාමට තරම් අප කොතරම් පින් කර ඇත්ද? නමුත් ප්‍රිය මිතුර, පිළිවෙතින් පෙළගැසීමට නොහොත් ප්‍රතිපත්තියෙන් තෙරුවන් සරණ යාමට අප අතර සිටින සමහරුන් කොතරම් දුරට කටයුතු කර තිබෙනවාද යන්න සිතා බැලිය යුතුය. ධනවාදී බටහිර චින්තනයේ ඉගැන්වෙන පරිහෝජනවාදී “ලෞකික” දිවියට පුරුදු වී ඇති ඔවුන් දන්සැල්, තොරන්, මාරක ළිඳ ආදිය වෙසක් දිනයේ මුදල් උපයන විධි බවට පත්කරගෙන ඇත්තේ බුදු දහමේ ඇති ආගමික නිදහස් භාවය වැරදියට යොදා ගනිමිනි.

මෙය ලිවූ මම මෙන්ම දැන් කියවන ඔබද ජීවිතයේ අනේක වාරයක් දුක් විඳ ඇති බවත්, සැපට වඩා දුක් විඳ ඇති බවත්, සමහර අවස්ථා වලදී දුකම ආහාරයද වී ඇති බවත් අළුතෙන් කිව යුතු නැත. ඒත් මේ දුකින් පිරුණු ලෝකයේ මනුශ්‍ය භවයක් ලබාගෙන ඉන්නේ පෙර පින් මහිමය නිසා අපි අමතක කළ යුතු නැත. ඉතින් සංසාර චක්‍රයෙන් නිදහස් වීමටනම් දැන් දැන්ම අපි දහමේ යෙදිය යුතුය. නැතහොත් පින් දහම් කර දෙව් ලොව ගොස් එහි ඇති සැප විඳ සසර දුක අමතක වී අවසානයේ පින් ඉවර වූ කල්හි පෙර පව් මතු වී අපාය ගාමී වීම හෝ, දුෂ්චරිතයේ යෙදී කෙළින්ම නිරයට යාම නොවැලැක්විය හැකිය. ඉතින් සත්වයාගේ සසරබිය නැති කිරීමේ එකම මාර්ගය හෙවත් නිර්වාණය මතු වුන එම පූජනීය අවස්ථාව වසර දෙදහස් හයසියයකට පසුව අපි සිහි කළ යුත්තේ ආමිසයෙන් පමණක් නොව ප්‍රධාන වශයෙන්ම ප්‍රතිපත්තියෙනි.

මෙරට සුර පුරයක් කිරීමට අපගේ දේශපලඥයින් කතා වුන බව සැබෑය. නමුත් සුර සැප ඇති කල්හි දුක නැති කළ ජීවිතයේ යථාර්තය අවබෝධවන්නේ කෙසේද? මහින්ද මාමේ, අනේ ඔය සුර පුරය අපිටනම් එපා, කාටවත් බරක් නොවී සරළ දිවියක් ගත කරන්න ආර්ථික තත්ත්වයක් ඇති කරනවානම් ඒ හොඳටම ඇති. පන්දහසක් වසරක් බුදු දහම තිබෙනවා කියන, දෙවි බඹුන් විසින් ආරක්ෂා කරනවා කියන මේ පින්වත් දිවයින කවදාවත් ඊනියා බටහිර දියුණුව අත්පත් කර නොගැනීමේ, පඬියන්ට නොතේරෙන හේතුවම එය විය නොහැකිද? අපගේ පැරැන්නන්ගේ ජීවිත සුන්දර වුවද අපි අද මනින මිමි වලින් මැන්නොත් ඒවා අන්ත දුක්ඛිතය. නමුත් ඔවුන්ද ජීවත් විය, ඔවුන්ගේ දුක් සහිත වුවත් සරල ජීවිතයේ සිටිමින් දහම අවබෝධ කරගත් බොහෝ උත්තමයන් නිවන්සැප ලැබූසේක. එදා හෙළ දිව ධර්මද්වීපය වූයේ එනිසාය. ඒත් ප්‍රිය මිතුර බටහිරයින්ගෙන් ඉගෙනගෙන අද අපි දුවන මේ “ප්‍රොෆෙශනල් කරීයර්” ලෙස පුම්බවා පෙන්වන වෘත්තිමය ජීවිතයේ කෙළවර කුමක්ද? මේ විදියට ගොස් කවදා හෝ අපිට සැනසීමක් ලබා ගත හැකිද? මුදල් සෙවීමෙන් සැනසුන අයව ඔබ දන්නවාද? නමුත් තවමත් අපි ප්‍රමාද නැත, එයට විසඳුම අපි ගාවම තිබේ. එසේ කී පමණින් රැකියාව, දරු පවුල් අතහැර දමා වණගත වීමට අවශ්‍ය නැත. ගිහි හෝ පැවිදි ජීවිතය මැදුම් පිළිවෙතට අනුව ජීවත් වෙමින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට මොහොතක් හෝ කාලය කැප කරනවානම් එයම නිර්වාණයට තවත් පියවරක් වනු ඇත.

මල් සුවඳෙන් මෙන්ම සිල් සුවඳෙන්ද සිරි ලක්දිව නැහැවී යද්දී තවත් කොටසක් මත් වතුර බොමින්, සතුන් මරමින්, සල්ලාල කම් වල යෙදෙමින්, මනුශ්‍ය ඝාතන කරමින්, මුසා බස් දොඩමින්, සොරකමේ යෙදෙමින් කෙළෙස් දියේ ගිලෙමින් සිටින්නේත් අප මව් බිම ලෝකයේ අධාර්මික රටක් බවට පත් වෙමින් තිබෙන්නේත් කොතනක හෝ වරදක් නිසාදැයි සමහරුන් ප්‍රශ්න කර තිබෙනු දුටුවෙමි. එලෙස ප්‍රශ්න කරන ඔවුන් නොදැනුවත්වම මහා සංඝරත්නයට පමණක් නොව බුදුරදුන්ටද අපහාස කර ආර්යෝපවාද කර්මයද කරගෙන ඇති තැන්ද දුටිමි. නමුත් ප්‍රිය මිතුර, ඊනියා චෝදනා කරුවන් නොදන්නා දේනම් ධර්මය වැටහීම මෙන්ම ධර්මයේ හැසිරීමද තම තම ණැන පමණින් කළ යුතු බවයි. බුදුරදුන් දවසද අල්ලපු වැටේ සිටි චුන්ද සූකර නම් මස්වැද්දා ඌරන්ව ඝාතනය කළානම් අද ඇති තත්ත්වය ගැන අපි බිය වෙන්නේ කුමට? බුද්ධකාලයේ උප්පත්තිය ලැබූවන් මහත් කුසල් ඇත්තවුන් නිසා එදා සමාජය මීට වඩා බොහෝ යහපත් විය, නමුත් කලි යුගය ගෙවෙත්ම සමාජය දුශ්චරිතය කරා යාමේ ධර්මතාවය සම්පූර්ණයෙන් නවතාලිය හැක්කේ කාටද?

බටහිරින් නූතන අධිරාජ්‍යවාදයේ බියකරු සීත සුළං හමද්දී එදෙසෙන්ම යුධ අපරාධ නම් අඳුරු වළාවන් ඇවිත් අහස් කුස වසා දැමුවේ වෙසක් පුන් සඳද තාවකාලිකව වසා දමමිනි. කාලයක් සයනයිඩ් කරල බෙල්ලේ එල්ලාගෙන සිටි දෙමළ තරුණයින් ශ්‍රී ලංකා හමුදාවේ තරුණයින් සමග ක්‍රිකට් ගසද්දී බටහිර එන්.ජී.ඕ වලින් යැපෙන, සුළු පිරිසක් නැවතත් දෙපාර්ශවය විසින්ම අමතක කර ඇති මිණී වලවල් හෑරීමට පටන් ගෙන ඇති සඳ වෙසක් සඳේ ආළෝකය මඳ වූ බව සැබෑය. නමුත් එවන් පීඩනයක් මැද්දේම මහින්ද රාජපක්ෂ ජනපති තුමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ පිරිසක් මෙන්ම කරු ජයසූරිය මන්ත්‍රී තුමා ඇතුළු එජාපයේ ඉතිරි බෞද්ධයින් කිහිප දෙනාද පෙහෙවස් සමාදන් වේවි. චම්පික රණවක ඇමතිතුමා, උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් දස සිල් සමාදන් විය. ඒ අතර ඇමති විමල් වීරවංශ සහෝදරයා, බෑන් කී මූන් ද සහභාගී වන නිව්යෝක් හි සම්බුද්ධත්ව ජයන්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙන්නේ බෞද්ධයන්ගේ අවෛරී සහගත භාවය ගැන ආදර්ශයක්ද සපයමිනි. මේවායින් එක් එක් පාර්ශවයන් දේශපාලන වාසි ගන්නා බව කිසිවෙක් කිව්වත් ඔවුන්ගේ චේතනාව අනුවම ඔවුන්ට කර්මය සිදු වන අතර සමස්ත ජාතියට බලපෑම වන්නේ ඔවුන්ගේ චේතනාව නොව ආදර්ශයයි. පවත්නා දේශපාලන සහ ආර්ථික විෂම චක්‍ර වලින් නිදහස් වීම එක් වර කළ හැක්කක් නොවෙන අතර ඉහත ක්‍රියා මගින්, බුදුරජාණන් වහන්සේ චක්කවත්තී සීහනාද සූත්‍රයේ දී වදාළ, ලේ බිඳක්වත් සෙලවීමකින් තොරව සමාජය යහමගට ගත හැකි ඉහළ සිට පහලට ඒමේ ක්‍රමවේදය අනුව ගමන් කිරීමට යම් තාක් දුරකට මුල පිරීමක් සිදු වේ. මන්ද යත් ඔවුන්ව ආදර්ශයට ගන්නා ඡන්ද දායකයා පවා අළුතෙන් ජීවිතය ගැන සිතීමට ඒවා හේතුසාධක කරගන්නා බැවිනි.

පස්පව් දස අකුසල් කරන දුදනන් කොතරම් සිටියත් පෙහෙවස් සමාදන් වී ඇත්තටම පිළිවෙතින් පෙළ ගැසී සිටින නියම බොදුනුවන් ද සිටින බවද කිව යුතුය. සමහර චීවරධාරීන් මුදල් පසුපස යද්දී, සසර කළ කිරී නිර්වාණය අවබෝධකරගැනීම පිණිසම බවුන් වඩන භික්ශූන්වහස්නේලා අදටත් මේ හෙළ දිවේ වැඩ වාසය කරයි. අපේ ඒ සැමටම නමස්කාර කළ යුතුය. ඔවුන්ට එලෙස දහමේ යෙදීමට හෙළය ආරක්ෂා කරගත් විරුවන්ට අපි අපගේ පින් අනුමෝදන් කළ යුතුය. මීට වසර දෙකකට විතර කළින් තම ජීවිතය පමණක් නොව තම සංසාරය පවා කැප කරමින් රුදුරු කොටි ත්‍රස්තයන් සමග මුලතිව්හ් මහ කැළෑ මැද අප රණවිරුවන් ගේ ලෙයින් බිම් තෙත් කරමින් ලබා ගන්නා ලද ජයග්‍රහණයේ ප්‍රතිඵල නෙලා ගැනීමට දැන් කාලය එළඹ ඇත.

මෙරට ආසියාවේ ආශ්චර්යය වුවත්, සුර පුරයක් වුවත් අවාසනාවකට හෝ බටහිර කොලනියක් වුනත් අපිට මේ සියල්ලම දමා යාමට දවසක් එනු ඇත. මුළුමහත් සර්වාංගයම සීතල වී වෙවුලුම් කා ඇවිදින කුණුපයක් බඳු ශරිරය සෑදී ඇති පංචමහා භූතයෝ එකිනෙකින් වෙන් වීමට ආසන්න බවත් අවසාන හුස්ම පොද විශ්වයට එක් වීමට සූදානම් බවත් දැනෙද්දී සිතට දැනෙන මරන බිය නැති කර ගැනීමට පිහිටට එන්නේ මාරපරාජය කළ, විශ්වයටම අසම සම වූ අප මහ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගැන ඇති ශ්‍රද්ධාව පමණි. එකල්හි ඉතිපිසෝ පාථය වෙවුලුම් කන තොල් වලින් තෙපලද්දී කළ හොඳ නරක සිහියට එනු ඇත. ඒ මොහොත සඳහා සූදානම් වීම වස් මෙවන් පින්වත් දිනයක හැකි අයුරින් බොදු පිළිවෙතේ යෙදෙමින් සසරෙන් එතෙර වීමට තවත් පියවරක් තබමු.

1598
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

2 comments to ශ‍්‍රී සම්බුද්ධත්වය දැක තවමත් දොහොත් මුදුන් තබා සාදු කාර දී හමාර කළා පමණි !!!

  • Priyantha Liyanage

    “ ඔවුන් නොදැනුවත්වම මහා සංඝරත්නයට පමණක් නොව බුදුරදුන්ටද අපහාස කර ආර්යෝපවාද කර්මයද කරගෙන ඇති තැන්ද දුටිමි”
    අගනේය මිතුර,ඔබ අප සමාජය මනා ලෙස සම්පින්ඩනය කල අයුරු. ඔබ කී ලෙසම ස්වාමීන්වහන්සේලා ගෑන වපර ඈසින් බලන බොහෝ දෙනෙක් උන්වහන්සේලාව දන්නේ රූපවාහිනියෙන් පමනි.බයිස්කෝප් පෙට්ටියෙන් කලකට ඉහත දක්නට ලෑබුනු එක් හිමි නමක් මාගේ බුදු පියානන් අපට අනුකම්පාවෙන් දෙසූ දහම විළිලෑජ්ජාවක් නෑතුව එක් දෙසුමකට රු.50000 +petrol වලට විකුනනවිට අපේම අයෙක් මුළු සඝ පරම්පරාවම ඒ ගොඩට දමනු දෑක ඈතිමි.ඔවුන් සිතනුයේ ටීවී එකේ දකිනුයේ සඝ පරම්පරාවේ සෑබෑ පෑතිකඩක් ලෙසය. මාධ්යඉයෙන් අලෙවි නොවන මහත් ධර්මධර විනයධර ස්වාමීන්වහන්සේලා අප කොතෙකුත් දෑක ඈත. ඔවුන් ගමේ විහාරයේ මෙන්ම නගරයේ විහාරයේද වෑඩ හිදී.සමහරුන් වන ගත වී රුක් මුල් වල,ගල් ලෙන් වල, ආරන්යිගතව බවුන් වඩයි. ත්‍රිපිටකයම කට පාඩමෙන් සජ්ජායනා කල හෑකි කොම්පියුටර් මෙන් දහම් දෑනුමෑති අග්ග මහා කම්මට්ටනාචාරීන් වහන්සේලා අද ලක් දෙරනේ වෑඩ හිදී.
    ඔබගේ ඉහත සටහනට එතරම් අදාල නොවුනත් මේ බවත් ලියා තබන්නට මට අවසර.

    Thumb up 3 Thumb down 0

    • එයට සම්පූර්ණයෙන්ම අදාලයි මිතුර.
      ඔබගේ කතාව සහතික ඇත්ත. වර්තමානයේ බොහෝ බ්ලොග් ලියන තරුණයින් රූපවාහිනිය සහ අන්තර්ජාලයෙන් තොර කිසිවක් දන්නේ නෑ. ඒකයි ඔවුන්ගේ මුලාවට හේතුව.

      Thumb up 3 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.