මැතිවරණ ප්‍රතිඵලය යහපත්. මැතිවරණ ප්‍රතිඵලයෙන් 205/234 ක් රජය ජය ගෙන තිබුණත්, වඩාත් සැලකිල්ලෙන් බැලීමේදී සාම්ප්‍රදායිකව එජාපයට හිතවත් හෝ එම පක්ෂයට ජය ගත හැකි එහෙත් පසුගිය කාලවකවානුවේ සිදුවූ මහා පෙරැළියත් සමඟ එජාපයෙන් ඈත්ව තිබූ ආසන යළිත් සෙමින්, සෙමින් එජාපය දෙසට නැඹුරු වන අයුරු දැකගත හැක. මෙයින් පෙනී යන්නේ “පාවෙන ඡන්ද” විපක්ෂය දෙසට නැවත තල්ලු වීමත්, ජනතාව බඩු මිළ ආදී කිසිවක් නොසිතා “Wholesale” රජයට ඡන්දය දුන් කාළය අවසන්ව ඇති බවත්ය.
![traffic_light_d1[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/03/traffic_light_d11-150x150.jpg)
මෙය මා ප්‍රාර්ථනා කළ පරිදිම රජයට සහ ජනාධිපතිවරයාට නිවැරදි අනතුරු ඇඟවීමේ එළි දැල්වූ මැතිවරණ ප්‍රතිඵලයකි. තව මැතිවරණයක් එන්නේ අවම වශයෙන් වසර පහක පමණ කාලයක් ගතවීමෙන් පසුවය. විපක්ෂය යළි හිස ඔසවන තැනක තබා මෙම මැතිවරණය අවසන් වීම නිසා ඒ වසර පහ තුළ විපක්ෂයට රජයට පැහැදිලි අභියෝගයක් වන තැනට ආ හැකි බවත්, එජාප අපේක්ෂකයෙකුට ජනාධිපතිවරයාට සෘජුවම තර්ජනයක් වීමේ හැකියාවක් වර්ධනය විය හැකි බවත් පාලකයන්ට පෙනී යාම ජාතියටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් සුබ දායී වනු ඇත.
දැන් ඉතින් මූනිච්චාවට හෝ යළිත් සිංහල ජාතිකත්වය කර පින්නා ගන්නටත්, සර්ව ආගමික වැනි වූ විකට වැඩසටහන් අත් හිටුවන්නටත් රජයට සිදුවනු ඇත්තේ, සිංහල බෞද්ධ ජාතිකත්වය පෙරට දමන විට මෙන් යළිත් ජයග්‍රහණය තහවුරු වූ සැහැල්ලු වටපිටාවක් නිර්මාණය කර ගැනීමට වෙන මොනවා කළත් නොහැකි බව පරිණත දේශපාලකයන් දන්නා නිසාය. රජයට ඇතිවී තිබෙන මේ සුළු තැති ගැන්ම සුළු දිය පහවීමක් වන්නට දැන් අවශ්‍ය එජාපයේ නායකත්වය වෙනස් වීම පමණි. එය සිදු වූ දාට රජයේ ඉහළ පෙල, සියළු විගඩම් පසෙක තබා සිංහයාගේ හිස අත ගා, කඨින චීවරයට අත තබා සාදු කාර දෙනු ඇත.
ප්‍රාදේශීම මට්ටමේ සිටිනා සමහරක් රජයේ මුග්ධ දේශපාලඥයින් සුපුරුදු පරිදිම පැජරෝ රැළි ගොස්, ශබ්ධ විකාශන දමා කෑ ගසා, රතිඤ්ඤා පත්තු කර තමන්ට මේ වතාවේ ඡන්දය දුන් විපක්ෂ වල උදවියට කල කිරවනු ඇත. ඒ අතරම සමහර මහත්මා දේශපාලඥයින් “මනාපයට ස්තූතියි” කියා තාප්ප වල කොළ අලවන අතර නියම දේශපාලඥයින් ඉදිරියේදී ප්‍රදේශයට සේවයක් කර පෙන්වනු ඇත. කෙසේ නමුත් ඉදිරියේදී සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ ඡන්ද ගැනීමටනම්, “අප දේශය එක්සත් කළ මහරජාණන්” ව “ප්‍රසිද්ධ වෙන්දේසියේ තැබීමට” වඩා රටට ජාතියට සහ බුදු දහමේ චිරස්ථිතියට විශාල කාර්යභාරයක් කිරීමට රජයට සිදු වනු ඇති.
මෙම ප්‍රතිඵලයේ තවත් සාධනීය ලක්ෂණයක් වන්නේ දෙමළ ජනයා බහුතරය වූ ප්‍රදේශයන්හි ඔවුන්ගේ දේශපාලනික ජන විඤාණය ඉතාම පැහැදිලිව පිළිඹිබු කරමින් ඔවුහු ප්‍රධාන පක්ෂ ද්විත්වය පසෙක ලා ඔවුන්ගේම සම්භවක්ත පක්ෂයක් වූ “ඉලංගෙයි තමිල් අරසුකච්චි” පක්ෂයට පළාත් පාලන ආයතන 12 ක් දිනවා තිබීමයි. කොපමණ “දුන්නත්” ඔවුහු ඡන්දය දෙන්නේ තම ජාතියට ඇදලාය යන යථාර්තය යළිත් වරක් මෙලෙස ඉස්මතු වීම මැනවි. එවිට සිංහල ප්‍රධාන පක්ෂ දෙකම සිංහල බෞද්ධ බහුතරයේ ඡන්ද ලබා ගැනීම විමුක්තියට ඇති එකම මඟ ලෙස දැක ඒ උදෙසා සිංහල ජන විඤාණයට සමපාත වන්නට උත්සාහ කරනු ඇත.
ජවිපෙ වැනි ජනතාවගේ හදගැස්ම නොදන්නා ගර්හිත පක්ෂයන්ගේ ඛේදාන්තය නිරූපණය වීමත් මෙහි තවත් වැදගත් ලක්ෂණයකි. “රැවටිල්ලට නිමාවක්” ම දෙමින්, බුදුදහම පවා ප්‍රතික්ෂේප කරන මාක්ස්වාදය සහ කටින් බතල හිටවීම තවදුරටත් ජනතාවට අනවශ්‍ය බවට ජවිපේ කලින් සිටි පාක්ෂිකයින්ම අගනා තීන්දුවක් දී ඇත. උතුරේත්, නැගෙනහිරත්, කඳු රටත් සිංහලයන් පදිංචි කරවීම මේ ප්‍රධාන පක්ෂ දෙකට කෙතරම් වැදගත්ද යන්න අප “මේ කලවම් කිරීමේ කාළයයි” සටහන තුළින් ගෙන හැර දැක්වූවෙමු. එහි දේශපාලනික වැදගත් කම ප්‍රධාන පක්ෂ දෙකටම මෙම ඡන්දයේදී වැටහෙන්නට ඇතැයි සිතමු. කැළණිය ප්‍රාදේශීය සභාවේදී නම් මම ජය පැතුවේ එජාපයටයි. එය එසේ වූවා නම් මේ පණිවිඩය වඩාත් අර්ථවත් වන්නට ඉඩ තිබිණි.
අවසාන වශයෙන් මෙය කියවන මිතුරන්ට පැවසීමට ඇත්තේ මේ කුමන පක්ෂය වුවද කරන්නේ දේශපාලනයක් බවත් දේශපාලනය යනු තම වැදූ මවව වුවද විකුනන් කන්නා වූ ගර්හිත දර්ශනයක් බවත්ය. මැතිවරණය දැන් අවසන් නිසා, පක්ෂ හා පාට වලට නොබෙදී ජාතියක් ලෙස සිතමින් ඉදිරියේදී සිංහල ජාතියට සහ බුදු දහමට එල්ල වෙන තර්ජන වලට මුහුණ දීමට අවශ්‍ය වටපිටාව සකස් කරගනිමින් රටට අවශ්‍ය ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය කරා යාමට අප අදිටන් කරගත යුතුය.
උපුටාගැනීම්:
[1] දමිත් කෙතක මහතා මුහුන්පොතේ තැබූ සටහනක්
[2] http://www.lankacnews.com/sinhala/
[3] http://www.slelections.gov.lk
Convert to PDF

නුදුරු සහෘද අදහස්