විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී

එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

අපිට අවශ්‍ය සිංහලත්වයේ රාජ්‍යයක්ද නැතිනම් නූතනත්වයේ සිංහල රාජ්‍යයක්ද?

සිංහලත්වයේ රාජ්‍යයක් කියූ සැනින් කොහේ හෝ බක පණ්ඩිතයෙකු ඉදිරියට පැන අප දෙමළ සහ මුස්ලිම් ජනතාව ලංකාවෙන් පැන්නීමට කතා කරනවා යැයි පැවසිය හැකිය. නැත. සියලු පුරවැසියන්ට සමානව සැලකිය යුතුය යන්න අපගේ ස්ථාවරය වෙයි. (අද අසාධාරණකම් සිදු වී ඇත්තේ සිංහලයන්ටය. ඔවුන්ට උතුරු සහ නැගෙනහිර පළාත්වල (සහ මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශ වලද) නිදහසේ ජීවත් වීමට, අධ්‍යාපනය ලැබීමට හෝ රැකියා කිරීමට නොහැකිය. තේසවලාමෙයි නීතිය නිසා කිසිදු සිංහලයෙකුට යාපනයෙන් ඉඩමක් මිලදී ගැනීමට නොහැකිය).

නමුත් සියලු සංස්කෘතීන් සමාන කිරීමට කථා කිරීම හිතලුවක් වෙයි. එසේ සංස්කෘති දෙකක් හෝ කීපයක් සමානව සැලකෙන රටවල් ලොව නැති බැවිනි. ප්‍රධාන සංස්කෘතියක් හැම රටේම වෙයි. එසේ ප්‍රධාන සංස්කෘතියක් නැතිව ඒකීය (එක්සේසත්) රටක් හෝ ජාතියක් බිහි කර ගත නොහැකිය. එබැවින් අප සිංහලත්වයේ රාජ්‍යයක් ලෙස හදුන්වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ රාජ්‍යයකි. එහි දෙමළ, මුස්ලිම් හෝ වෙනත් ඕනෑම ජන වර්ගයක් තම අභිමතය පරිදි ජීවත් වීමේ කිසිදු බාධාවක් නැත. (ඇත්ත වශයෙන්ම ‍බෞද්ධ සංකල්ප ක්‍රියාත්මක වන එබදු රාජ්‍යයක ලොව අන් කිසිදු රාජ්‍යයකට වඩා සාධාරණත්වය සහ සමානත්වය ක්‍රියාත්මක වනු ඇත)

ඇ.එ. ජනපදය නමැති යුදෙව් ක්‍රිස්තියානි රාජ්‍යයේ හෝ එක්සත් රාජධානිය නමැති ඇන්ග්ලෝ සැක්සන් රාජ්‍යයේ විවිධ ජන වර්ග ජීවත් වන්නේද එපරිද්දෙනි. පඩියන්ට අවශ්‍ය ඊනියා සංස්කෘතික සමානත්වය නමැති මුට්ටිය දමා ලංකාවද යුදෙව් ක්‍රිස්තියානි රාජ්‍ය‍යක් බවට පත් කර ගැනීමය (අද ජපානයට, දකුණු කොරියාවට අත් වී ඇති සහ හෙට ඉන්දියාවට අත් වන ඉරණම මෙයයි).

ඇත්ත වශයෙන්ම මෙහිදී ‘ප්‍රධාන සංස්කෘතිය’ යන වදනට වඩා ‘ජාල සංස්කෘතිය’ (networking culture) යන වදනට අපි ප්‍රිය කරමු. විවිධ අවයව සංස්කෘති (node cultures) සම්බන්ධ කර ජාතික ඒකාග්‍රතාවක් ගොඩ නැගීමේ හැකියාවක් ජාල සංස්කෘතියට වෙයි. ජාල සංස්කෘතිය බවට පත් වන්නේද අවයව සංස්කෘති අතුරින් එක් සංස්කෘතියකි. එසේ ජාල සංස්කෘතියක් බවට පත් වීමට යම් අවයවීය සංස්කෘතියක් සුදුසුකම් ගණනාවක් සපුරාලිය යුතු වෙයි. බහුතරයේ සංස්කෘතිය වීම ඉන් එකක් පමණි. එසේම අවයවීය සංස්කෘතීන්වල බලපෑම නිසා ජාල සංස්කෘතියේද, ජාල සංස්කෘතියේ බලපෑම නිසා අවයවීය සංස්කෘතිවලද වෙනස්කම් සිදුවෙයි.

සිංහල බෞද්ධ සංස්කෘතිය ලංකාවේ ජාල සංස්කෘතිය වෙයි. අප එසේ කියන්නේ ඇයි. ඊට හේතු හතරක් ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.

1. සිංහල බෞද්ධ සංස්කෘතිය බහුතරයේ සංස්කෘතිය වෙයි.

2. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට පැරණිම සංස්කෘතිය වෙයි. Aborigines යන වදන අනුකරණය කර මෙරට වැදි ජනතාව ‘ආදිවාසීන්’ ලෙස හැදින්වුවද, වැදි ජනතාවද යක්ෂ, නාග ආදී ගෝත්‍ර එකතු වී සිංහල ජාතිය ගොඩනැගීමේදී එයට එක් නොවී කැඩී ගිය කොටසක් වෙති. වැදි ජනතාව Aborigines ‍ලෙස හැදින්වීම පිටුපස සිංහලයන් ‍මෙරටට පසු කාලීනව පැමිණි පිරිසක් බව ‍පෙන්වා සිංහල ‍බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන නැති කිරී‍මේ උවමනාව ‍වෙයි.

3. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටට අනන්‍ය සංස්කෘතියක් වෙයි. ‍‍‍‍ මෙරට ඇති දෙමළ හින්දු සංස්කෘතිය හෝ මුස්ලිම් සංස්කෘතිය මෙරට බිහිවූ මෙරටට අනන්‍ය වූ සංස්කෘති නොවෙයි. ඒවා හුදෙක් දකුණු ඉන්දීය දෙමළ හෝ මුස්ලිම් සංස්කෘතිම වෙයි.

4. සිංහල බෞද්ධ සංස්කෘතිය ලොව ඇති සහනශීලීම සංස්කෘතිය වෙයි. පෘතුග්‍රීසීන්ගෙන් හිරිහැර වන විට මුස්ලිම් ජනතාව ආරක්ෂා කර ගත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ බිහිවූ රජ කෙනෙකි. ලන්දේසීන්ගෙන් හිරිහැර වන විට කතෝලිකයන් බේරා ගත්තේද එවැනිම රජ කෙනෙකි. යටත් විජිතවාදීන් මෙරටට පැමිණීමට පෙර මුස්ලිම් සංස්කෘතිය මෙරට ආරක්ෂා විය. අවුරුදු දහස් ගණනක් තිස්සේ වැදි ජනතාවගේ සංස්කෘතිය ආරක්ෂා වූයේද ඒ ආකාරයටමය. අද වැදි ජනතාවගේ සංස්කෘතිය තර්ජනයට ලක්වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ (බටහිර සංස්කෘතියේ) ආධිපත්‍යයට මෙරට ලක්වීම නිසාය. වෙනත් ජන වර්ගයකට හෝ ජන වර්ගයකට තම අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින්ම සිංහල බෞද්ධ සංස්කෘතියට බද්ධ වීම ඉතාම පහසු කරුණක් වෙයි.

අතීත සිංහල බෞද්ධ සහජීවනය සහ සරල දිවි පෙවෙත (පින්තූරය: koslanda.org)

ජාල සංස්කෘතිය රටක ඇති සියලු සංස්කෘති මත ස්තරයක් (layer) ලෙස හිදිමින් ජාතික ඒකාග්‍රතාවය ගොඩනගයි. එය කිසි විටකත් එහි අවයවීය සංස්කෘති පාගා නොදමයි. ඉහත ජාල සංස්කෘතික ස්තරය ආවරණය කර ගනිමින් අවයවීය සංස්කෘති ආරක්ෂා වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය ලොව ඇති හොදම ජාල සංස්කෘතිය වෙයි. ඇත්ත වශයෙන්ම ජාල සංස්කෘතියට දිය හැකි හොදම උදාහරණයද සිංහල බෞද්ධ සංස්කෘතියයි.

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට කිසි දිනෙක ජාල සංස්කෘතියක් බවට පත් විය නොහැකිය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධිපතිවාදී සංස්කෘතියක් වෙයි. එයට පදනම් වී ඇති යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඇති අධිපතිවාදී ස්වභාවය ඊට හේතුව වෙයි. බටහිර රටවල ක්‍රිස්තියානි සංස්කෘතියට පරිබාහිර එකදු නිවාඩු දිනයක් හෝ ඇද්ද? එංගලන්තයේ ඉංග්‍රීසි භාෂාවට හෝ ප්‍රංශයේ ප්‍රංශ භාෂාවට හිමි තැනින් 1/10ක් වත් වෙනත් භාෂාවකට හිමි වී ඇත්ද?

සිංහලත්වයේ රාජ්‍යය යන්නෙන් අප අදහස් කරන දෙය පැහැදිලියයි සිතමු. එය සිංහල බෞද්ධ සංස්කෘතිය ජාල සංස්කෘතිය වන රටකි. එම ජාල සංස්කෘතිය සහ එහි අවයවීය සංස්කෘතීන් (දෙමළ හා මුස්ලිම් සංස්කෘතීන්ද ඇතුලුව) ආරක්ෂා වන රාජ්‍යයකි. එබදු රාජ්‍ය‍යක ජනාධිපතිධූරයට වෙනත් ජනවර්ගයක පුද්ගලයෙක් පත් වීම ප්‍රශ්නයක් නොවෙයි. සිංහලයන්ට ලංකාවේ සිංහල බෞද්ධ අනන්‍යතාවය ගැනි බියක් ඇති කර ගැනීමට එය හේතුවක් නොවිය යුතුය. මන්ද කවරෙකු ජනාධිපති වුවත් ජාල සංස්කෘතිය මගින් සිංහල බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා වන බැවිනි.

මෙය ඇ.එ. ජනපදයේ ජනාධිපතිධුරයට බරක් ඔබාමා පත් වීමට වඩා වෙනස් වෙයි. ඔහුට ඒ සදහා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය සම්පූර්ණයෙන් වැළද ගැනීමට සිදු විය. එහෙත් ජාල සංස්කෘතියක් ක්‍රියාත්මක වන රටක එබදු අවශ්‍යතාවයක් නැත. හුදෙක් ජාල සංස්කෘතියේ විශේෂත්වය පිළිගැනීම සහ එය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ප්‍රමාණවත් වෙයි. අතීතයේ නායක්කාර් වංශික රජවරුන් රට පාලනය කළේද එපරිද්දෙනි. ඔවුහු සිංහල බෞද්ධ ජාල සංස්කෘතිය ආරක්ෂා කිරීමටද පෝෂණය කිරීමටද කටයුතු කළ අතර, ඒට සමගාමීව තම අනන්‍යතාවයද ආරක්ෂා කර ගත්හ.

දැන් අපි නූතනත්වයේ සිංහල රාජ්‍යය යනු කුමක්දැයි සලකා බලමු. එය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සහ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වූ, එහෙත් සිංහලයන් නාමික ප්‍රධානත්වය දරන රාජ්‍යයකි. අද ජාතික ව්‍යාපාරය නියෝජනය කරන සමහර පාර්ශව (විශේෂයෙන්ම දේශපාලන තලයේ සිටින්නන්) මෙම මතවාදය නියෝජනය කරනු දැකිය හැකිය. ඔවුහු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට (විශේෂයෙන්ම එහි දැනුම් ආධිපත්‍යයට) විරුද්ධ නොවෙති. එ‍සේම ඔවුන්‍ ‍ගේ ජීවන රටාව සහ මතිමතාන්තර වඩා ආසන්න වනුයේ යු‍දෙව් ක්‍රිස්තියානි චින්තනයට මිස සිංහල ‍බෞද්ධ චින්තනයට ‍නො‍වේ. මෙය නම් යහපත් තත්වයක් නොවෙයි.

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට කිසි දිනෙක මෙරට ජාල සංස්කෘතිය විය නොහැකිය. එය මෙරට ජනතාවගේ චින්තනය (සිංහල බෞද්ධ චින්තනය හෝ වෙනත් ඕනෑම චින්තනයක්) මත පදනම් නොවීම ඊට හේතුවයි. යම් කිසි අයුරකින් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මෙරට අධිපතිවාදී සංස්කෘතිය වුවහොත් සිංහල ජාතිකයන් ඒ යටතේ නාමික ප්‍රධානත්වය ගැනීමට උත්සාහ දරන අතර දෙමළ සහ මුස්ලිම් ජන වර්ග ඔවුන් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ප්‍රධානත්වය ලබා ගැනීමට උත්සාහ කරනු ඇත. එමගින් ජාතික ඒකාග්‍රතාවය ඇති කිරීම වෙනුවට බෙදී වෙන් වීමට මග පාදනු ඇත. 20 වෙනි සියවසේ මුල් භාගයේදී ජාතිවාදී පදනමින් දේශපාලන පක්ෂ බිහිවීම ඇරඹුනේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය අධිපතිභාවය හොබවූ වාතාවරණයක් තුළදීය. එබදු රටකින් කිසිසේත්ම සමානාත්මතාවය හෝ සාධාරණත්වය බලාපොරොත්තු විය නොහැකිය.

අවසානයේදී සිදු වනු ඇත්තේ රට කැඩී වෙන්වී යන අතර සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක් නොව දෙමළ හින්දු සහ මුස්ලිම් සංස්කෘතීන්ද විනාශ වීමය. LTTE සංවිධානය ශක්තිමත්ව පැවති අවධියේ ඔවුහු සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක් නොව දෙමළ හින්දු සංස්කෘතියද නැති කිරීමට කටයුතු කළ බව මෙහිදී අමතක නොකළ යුතුය. ඒ බව යුධ ජයග්‍රහණයෙන් අනතුරුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ කථාවේදීද සදහන් ‍කළේය. LTTE සංවිධානය සෘජුවම බටහිර ක්‍රිස්තියානි නූතනත්වය නියෝජනය කළ සහ ඉන් පෝෂණය වූ සං‍විධානයක් වෙයි. ‍

මෙසේ රට බෙදා වෙන් කර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට තර්ජනයක් විය හැකි සිංහල බෞද්ධ සංස්කෘතිය හා අනිකුත් සංස්කෘතීන් විනාශ කර දැමීම බටහිරයන්ගේ සහ මෙරට සිටින ඔවුන්ගේ ඒජන්තයන්ගේ අරමුණ වෙයි. 13+ ගැන හඩ නැගීමේ සිට අවතැන්වූවන් ගැන කිඹුල් කදුළු හෙලීම දක්වාම ඇත්තේ වෙනත් අරමුණක් නොවේ. මෙය ලංකාවට පමණක් සීමාවූ තත්වයක් නොවන බවද සිහි තබා ගත යුතුය. ඉස්ලාම් සංස්කෘතීන් හා ථෙරවාද සංස්කෘතීන් ඇති රටවල මෙන්ම ජාතික රාජ්‍ය ඇති රටවල (රුසියාව, සර්බියාව වැනි) ඇති සියලුම බෙදුම්වාදය මත පදනම් වූ ත්‍රස්තවාදී (LTTE සංවිධානය වැනි) හෝ දේශපාලනික (13 සංශෝධනය වැනි) ක්‍රියාදාමයන් පිටුපස බ‍ටහිරයෝ සිටිති. ඇ.එ. ජනපදයේ සෙනට් සභාවේදී ලංකාවේ 13 සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බව යෝජනාවක් සම්මත කර ගැනීම අහම්බයක් නොවේ.

නූතනත්වයේ සිංහල රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින්නන් පිරිසක් දැන් ජර්මනියේ ගුරු කුලයක් බිහිකළ ‘හරිත වාදය’ කරපින්නාගෙන සිටිති. අන් සියලු බටහිර මතවාද ‍මෙන්ම හරිත වාදයද යු‍දෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ‍වෙයි. පරිසරය මිනිසා‍ගෙන් වෙන්කර සැලකීම යු‍දෙව් ක්‍රිස්තියානි චින්තන‍යේ වියුක්ත භාවය (abstraction) නිසා සිදු වන්නකි. එය සිංහල ‍බෞද්ධ සංස්කෘති‍යේ ඇති පරිසරය සමග සංහිදියා‍වෙන් ජීවත් වීමට පටහැනි ‍වෙයි. තව තවත් මිනිසුන් සහ පරිසරය සමග ගැටුමක් ඇති කරන හරිත වාදය මගින් පරිසර ප්‍රශ්න විසදිය ‍නොහැකිය. නමුත් ‍මේ පිරිස් මෙම මතවාදය සියලු ප්‍රශ්න නිවාරණය කරන ‍කෝකටත් ‍තෛලයක් ‍ලෙස හදුන්වති. ‍මෙය පැහැදිලිවම අනුකරණයක් ‍වෙයි.

සිංහල ‍බෞද්ධ චින්තන‍යෙන් බැහැරවූ ජාතික ව්‍යාපාරයකින් හානියක් මිස සිදුවන ‍සෙතක් නැත. එමගින් සිදුවනු‍යේ යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ත‍‍ව දුරටත් තහවුරු වීම පමණි. අපට අවශ්‍ය සිංහලත්‍‍ව‍යේ රාජ්‍යයක් මිස නුතනත්ව‍යේ සිංහල රාජ්‍යයක් ‍නො‍වේ.

මුල් ලිපිය:
http://www.facebook.com/topic.php?uid=71732050518&topic=9634
http://dharshana81.blogspot.com/2009_09_01_archive.html
~ දර්ශන කස්තුරිරත්න

1150
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

1 comment to අපිට අවශ්‍ය සිංහලත්වයේ රාජ්‍යයක්ද නැතිනම් නූතනත්වයේ සිංහල රාජ්‍යයක්ද?

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.